විශේෂාංග

පිරිමින්ව යක්කු කරගන්නෙත් ගෑනුම තමයි

එදා පියුමි හිටියෙ තද ඔලුව කැක්කුමකින්. වෙනදාටනම් ඇය උදේම නැගිටලා උයනවා. ඒත් එදා නම් පියුමිට ඇඳෙන් නැගිටින්නවත් හිතුනේ නැහැ. ඒ තරමට ඒ ඔලුවෙ කැක්කුම ඇයට පීඩා ගෙන දුන්නා. ටික වෙලාවකට පස්සේ කවුරුහරි ඔලුව යන්තමට අතගාන බව දැනිලා හැරිලා බලද්දී ඒ ආසිරි.

‘‘සනීප නැද්ද?’’ ආසිරි ඇහුවා.

‘‘ඒකනෙ ඔලුව රිදෙනවා ගොඩක්.’’ පියුමි කිව්වේ කෙඳිරිලි හඩකින්.

‘‘මම හිතුවා. ඊයේ එපා කියද්දිම නෑවනේ. ඉන්නකො මම තේ එකක් ගේන්නම්. ඒක බීලා පැනඩෝල් දෙකක් බොමු.’’ ආසිරි කිව්වා.

පියුමි එහෙමම කොට්ටෙ ඔලුව තද කරගත්තා.

ටිකකින් ආසිරි හදාගෙන ආපු තේ එක පියුමි අතට දුන්නා.

‘‘අපෝ මේ මොකක්ද? ඇයි මෙච්චර සීනි දාලා? මෙහෙම බොන්න පුළුවන්ද මනුස්සයෙක්ට? ගිහින් මේකට තව වතුර ටිකක් දාගෙන එන්න. හදිස්සියට තේ එකක්වත් හදාගන්න බැරි මනුස්සයෙක්වනේ මාත් කසාද බැඳගෙන තියෙන්නේ.’’ පියුමි තරහෙන් කියාගෙන ගියා.

ආසිරිගේ මුහුණ ඇද වුණා. සද්ද නැතුවම පියුමිගේ තේ කෝප්පය අරගෙන ගිහිල්ලා තව වතුර ටිකක් දාලා ආසිරි තේ එක පියුමිට ගෙනත් දුන්නා.

‘‘ඔයා නිදාගන්න.’’ ආසිරි කිව්වා.

‘‘හා. කඩෙන් මොනව හරි ගෙනත් කන්න එහෙනම්.’’ පියුමි කිව්වේ ආයෙමත් ඇඳට වැටෙන ගමන්.

‘‘හරි හරි මම ඒක බලාගන්නම්.’’ ආසිරි කියනවා පියුමිට හීනෙන් වගේ ඇහුනා.

ඇයට එහෙමම නින්ද ගියා. පැයකට විතර පස්සෙ පියුමිගේ ඔලුව කැක්කුම අඩුවෙලා තිබුණා. පියුමි ඇඳෙන් නැගිට්ටේ කලින්ට වඩා සවියක් ගතට දැනෙන නිසා. කුස්සියේ සද්ද බද්ද ඇහෙනකොට පියුමි ගිහින් කුස්සියට එබිලා බැලුවා.

කුස්සියේ බිම පුරාම වතුර. කවුන්ටර් එක උඩ ලූනු පොතු, සුදුලූනු පොතු ගොඩගහලා.

‘‘මොනාද මේ කරන්නේ?’’ පියුමි ඇහුවෙ සැරෙන්.

අපිළිවෙළ, අපිරිසිදුකම පියුමිට කවදත් පේන්න බැහැ.

‘‘ආ මම මේ නූඩ්ල්ස් ටිකක් හදනවා.’’ ආසිරි පියුමි දිහාවට හැරිලා කිවුවා.

පියුමි සද්ද නැතුවම කුස්සියට ඇතුළු වෙලා පැත්තක තිබුණ හට්ටියක් ඇරලා බැලුවා. එහි තිබුණේ කරවුණු පරිප්පු එකක්.

‘‘මේ මොන විකාරයක්ද මේ?’’ පියුමි ඇහුවා.

‘‘අනේ ඔයා ගිහිං සාලයට වෙලා ඉන්නකෝ. නැත්නම් තව ටිකක් නිදාගන්න. මම මේවා ඉවර කරලා කතා කරන්නම්.’’ ආසිරි කිව්වා.

‘‘නැහැ නැහැ. ඕනෙ නැහැ. මේ මොකක්ද?’’ පියුමි ආයෙමත් අහුවා.

‘‘මම නූඩ්ල්ස් කන්න පරිප්පු කරියක් හදන්න හැදුවා. ඒ උනාට ඒක කර වුණානේ. කමක් නැහැ මම අලුත් පරිප්පු කරියක් හැදුවා. ඒකනම් ගානට ආවා.’’ ආසිරි කිව්වා.

‘‘අනේ මේ මම ඔයාට කිව්වේ කඩෙන් කෑම ගේන්න කියලා නේද? මෙතන මේ විකාර කර කර හැමදේම නාස්ති කරනවා. ඒ මදිවට මේ කුස්සියේ හැටි විතරක්. දැන් මේවා අස් කරන්න මමනේ නහින්න ඕනේ. බැරි වැඩ නොකර පැත්තකට වෙලා හිටිය නම් ඉවරයිනේ.’’ පියුමි කියාගෙන කියාගෙන ගියා.

ආසිරිගේ මුහුණ වෙනස් වෙන හැටි පියුමි දැක්කේ නැහැ.

ඔහු කරබාගෙන නූඩ්ල්ස් තෙම්පරාදු කළා.

ඊළඟ දවසේ පියුමි මේ සිදුවුණ සිදුවීම් ගැන ඇගේ මව දැනුවත් කළා.

‘‘බලන්න අම්මේ මට නම් එපා වුණා. ඔලුව රිදෙන නිසා කඩෙන් කෑම එකක් ගේන්න කිව්වා. මේ මනුස්සයා කුස්සිය වනසලා. තේ එකක් හදනවා කියලා සීනි වැඩියෙන් දාලා. කිසිම වැඩක් හරියට කරගන්න බැහැ.’’ දුරකතනයෙන් පියුමි එහෙම කියද්දී අම්මා මදකට නිහඬ වුණා.

‘‘දුවේ සමහර පිරිමි ඉන්නවා තමන්ගේ ගෑනිට මොන අසනීපෙ තිබුණත් උයන්න කියලා කරදර කරනවා. තව සමහර පිරිමි ඉන්නවා තමන්ගේ ගෑනි අසනීප වෙලා මැරෙන්න වැටිලා හිටියත් ඇහැක් ඇරලා බලන්නෙ නෑ. එහෙම පිරිමි අතරේ ආසිරි වෙනස් කියලා දුවට හිතෙන්නේ නැද්ද?’’

අම්මා අහද්දී පියුමිට වරදකාරී හැඟීමක් දැනෙන්න ගත්තා.

‘‘ඒ දරුවගෙ එකම අරමුණ වෙන්න ඇත්තේ දුවට අසනීප වෙලාවේ උදව් කරන එක. ඉතින් ඔහොම බැණපු එක හොඳ නැහැ නේද?’’

‘‘අනේ අම්මේ ඔලුව කැක්කුම වැඩි නිසාද කොහෙදෝ මට එදා හොඳටම තරහ ගියා.’’ පියුමි කිව්වෙ පසුතැවිලි වන හඬකින්.

‘‘දුව සමහර පිරිමින්ව විහින් නරක් කරගන්නේ ගෑනු අපිමයි. ඔයාම හිතන්න ඔයා හැමදාම ඔය විදිහට හැසිරෙන්න ගියොත් ආසිරි ආයේ කිසිම දවසක ඔයාට උදව් කරන්න එන එකක් නැහැ නේද? ඔයාට අසනීප වුණත් ඒ ළමයා මග ඇරලා යන්න පටන් ගනීවි. ඔයා ගැන හොයලා බලන එකක් නැහැ. මිනිස්සුන්ට තමයි වැරදීම් වෙන්නේ. මොකද ආසිරි නිතරම උයන පිහන කෙනෙක් නෙවෙයිනේ. ඉතින් එයාගේ අතින් වැරදීම් වෙන්න පුළුවන්. මොන දේ සිද්ධ වුණත් ඒක එයාගේ ආදරේ පෙන්වපු ක්‍රමයක් විදිහට බාරගන්න. එයාගේ ආදරයට ඔයත් ආදරයෙන් පිළිතුරු දෙන්න. එයා ඔයාට කරුණාවන්තව සළකන එක ගැන ඔයා එයාට ස්තුතිවන්ත වෙන්න. එහෙම නැතුව ඔහොම ඇඟට කඩාගෙන පැන්නොත් නම් ඔය ආදරේ නැතිවෙලා යන දවස දුර නැහැ දුවේ.’’ අම්මා කරුණාවෙන් පහදද්දී පියුමිගෙ ඇස් දෙකට කඳුළු ඇවිල්ලා තිබුණා.

එදා හවස ආසිරි වැඩ ඇරිලා එනකම් බලාගෙන හිටපු පියුමි ආසිරිගේ ඉස්සරහට ගියේ හිනාවීගෙනමයි.

‘‘ඊයෙ මම අසනීප වෙලා ඉද්දි ඔයා මම වෙනුවෙන් කරපු හැමදේටම ස්තුතියි. ඊයෙ ඔලුව කැක්කුම නිසා මට පොඩ්ඩක් තරහා ගියා තමයි. හැබැයි ඔයා මම වෙනුවෙන් කරපු දේ නම් මට ගොඩක් වටිනවා.’’ පියුමි කියද්දී ආසිරි ඇය දිහා බලාගෙන හිටිය පුදුමයෙන් වගේම සතුටෙන්.

‘‘වොෂ් එකක් දාගෙන එන්න. මම රසම රස කේක් එකක් හැදුවා. අපි තේ බීලා කේක් කමු.’’ පියුමි කියද්දි ආසිරිගේ මුහුණේ සිනහවක් ඇඳුනා.

සමාධි ඩයස්