විශේෂාංග

අනිසි ලෙස ගැබ්ගත් 61 දෙනෙකුගේ බඩවල්වලට වගකියූ මංජුල

ව්‍යාජ පෙම්වතුන්ට රැවටීමෙන් සහ ලිංගික අපයෝජනයන්ට ලක්වීමෙන් අනිසි ගැබ්ගැනීම්වලට ලක්වූ කාන්තාවන් සුවසේ රැකබලාගෙන, දරුවන් බිහිවූ පසු හදා වඩාගැනීම සඳහා වෙනත් පාර්ශවයකට ලබාදෙන ‘CSC නේෂන් ලංකා’ නම් ආයතනයක් ගැන පසුගිය කාලයේ මාධ්‍යවල දැඩි කතාබහකට ලක්විය. සමාජ සුබසාධන ආයතනයක් ලෙසින් හැඳින්වූ මෙහි ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම, අධ්‍යක්ෂවරයා වූයේ 47 හැවිරිදි මංජුල උක්වත්ත නමැත්තෙකි. මංජුලට අනුව ‘නේෂන් ලංකා’ යනු අධ්‍යාත්මික සමාජයක් උදෙසා වන සමාජයීය පරිවර්තනයේ ජාතික ආයතනයයි.

කෙසේ වෙතත් සමාජ සේවා ආයතනයක මුවාවෙන් පවත්වාගෙන ගිය, මේ ආයතනය මුදලට දරුවන් අලෙවි කරන ‘බේබි ෆාම්’ එකක් බවටයි බොහෝ අය චෝදනා කළේ.

ඒ අනුව පොලිස් ළමා කාන්තා කාර්යාංශය සිදුකරනු ලැබූ දීර්ඝ විමර්ශනයකින් පසු 2020 දෙසැම්බර් 21 වනදා රාත්‍රියේ මංජුල උක්වත්ත පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ ඔහුගේ මාතලේ උකුවෙල පිහිටි නිවසේදීය. ගැබිනි මව්වරුන් ගිවිසුමකට යටත් කර ඔවුන්ගේ දරුවන් අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන යාම සැකකරුට විරුද්ධව තිබූ චෝදනාවයි. පොලිසිය සඳහන් කළේ සැකකරු විසින් විවිධ අතවරයන්ට පත්ව ගැබ්ගත් කාන්තාවන් අදාළ ස්ථානයට ගෙන්වාගෙන ඇති බවත්, පසුව ඔවුන්ගේ දරුවන් තුන්වැනි පාර්ශවයකට විකුණා ඇති බවත්ය. ඒ වනවිටත් ගැබිනි කාන්තාවන් 12 දෙනෙකු පමණ සැකකරුගේ ආරක්ෂාව යටතේ සිට ඇත.

අනතුරුව මෙම සැකකරුව 2020.12.22 වන දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, එහිදී ඇප කොන්දේසි කිහිපයක් මත නිදහස් කර යවා තිබුණි. එහෙත් දෙවන නඩු වාරය යෙදි තිබූ ජනවාරි 04 වනදා ඔහුව දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ අධිකරණයේ ඇප කොන්දේසි කැඩූ බවට වන චෝදනාවටය. 2021 ජනවාරි 18 වන දින නිදහස ලබා පැමිණි මංජුල උක්වත්ත කලක් නිහඬව සිටියත් පසුගිය දිනක ඔහු කී ආන්දෝලනාත්මක කතාවක් නිසා නැවතත් මාධ්‍ය උණුසුම් වෙන්නට පටන්ගෙන තිබුණේය. තම ආයතනයේ රැකවරණය ලබමින් සිටි සියලුම තරුණියන් අනාථ මව්වරුන් බවට පත්කර තිබුණේ සමාජයේ නම් දරා සිටින උසස් පිරිසක් විසින් බවත්, ඒ බව ඔහුට සියලු සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවත් ඔහු එහිදී කියා තිබුණේය. මේ ඔහු අපට ඒ ගැන කියූ කතාවයි.

‘‘මම තමයි 2014 අවුරුද්දේ ජාතික තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් සම්මේලනයේ සභාපතිත්වය දැරුවේ. ඒ නිසා මට ඕන වු‍‍ණේ මේ රටට යම්කිසි සේවයක් කරන්න. මොකද දේශපාලන පක්ෂවලින් කියන කරන දේවල් ගැන මහජනතාව තුළ වැඩි කැමැත්තක් නෑ. ඒ නිසා සමාජයේ අධ්‍යාත්මික වෙනසක් ඇති කරන්න ඕන කියලා මට හිතුනා.’’

මංජුල CSC නේෂන් ලංකා නමින් ආයතනයක් ආරම්භ කරන්නේ ඔහුගේ ඒ අදහස ඉටුකරගන්නටය. එමෙන්ම ඒ හරහා 2020 සිට 2030 දක්වා වූ දස අවුරුදු සමාජ සේවා වැඩපිළිවෙලක්ද සැලැසුම් කර තිබූ බවයි මංජුල අපට කීවේ. ඒ අතරින් අනපේක්ෂිත ගැබ්ගැනීම් අවම කර ගැනීමටත්, නිකරුණේ විනාශ කර දමන කළල සුරක්ෂා කරගැනීමටත්, පවුල් කුටුම්භය අරක්ෂා කරගැනීමටත් මූලික තැනක් දුන් බව ඔහු කියා සිටියේය. මංජුලගේ මෙම ක්‍රියාදාමයට රටේ පිළිගත් ආචාර්ය මහාචාර්යවරුන් පිරිසකගේ සහ පූජ්‍ය පක්ෂයේ කිහිපදෙනෙකුගේත් සහයෝගය ලැබී තිබිණි. එමෙන්ම මෙහි සියලු වැඩකටයුතු රජයේ අනුමැතිය ඇතිව ඉදිරියට ගෙන ගිය බවට සාක්ෂිද තමා සතු බව ඔහු අපට කීවේය.

‘‘ඔය අතරෙදි තමයි අපේ රටේ අනිසි විදියට ගැබ්ගත්ත කළල අවුරුද්දකට දෙලක්ෂය ​ඉක්මවා ගබ්සා වෙනවා කියලා අපිට තොරතුරු ලැබුණේ. විශේෂයෙන්ම ඒ අය අතරින් බහුතරය අවුරුදු 18-30ත් අතර අවිවාහක තරුණියන් වීම ඉතාමත් සෝචනීය තත්ත්වයක් වුණා. පස්සේ අපි මේ තොරතුරුවල ඇත්ත නැත්ත තහවුරු කරගන්න රාජ්‍ය අංශවල තොරතුරු සහ දත්ත වාර්තා ඉල්ලගෙන බැලුවා.’’

පසුව මෙම නීතිවිරෝධී ගබ්සාවන් පිළිබඳ තොරතුරු ජනාධිපතිවරයාටද දැනුම්දුන් බව මංජුල කියයි. එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති අතිරේක ලේකම්වරියක් ඔහු අමතා ඒ ගැන තොරතුරු විමසා සිටියද ඉන් ඉදිරියට ඒ පිළිබඳව කිසිඳු වැඩපිළිවෙලක් යෝජනා කර නැත. එම ඇමතුමෙන් පසුවත් 34 වතාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපි යොමු කළද ඉන් පළක් වී නැත.

‘‘කොහොමත් ලංකාවේ ගබ්සාව නීතිවිරෝධියි කියලා කවුරුත් දන්නවා. ගබ්සාවට විරුද්ධව නීතිරීතිත් සම්පාදනය කරලා තියෙනවා. අන්න ඒ නිසා මට මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න සහයෝගය ලබලා දෙන්න කියලා රජයෙන් පැහැදිලිවම ඉල්ලීමක් කළා.’’

මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන්තියට අනුව ගබ්සාවක් කළ හැක්කේ කළලයෙන් මවගේ ජීවිතයට හානියක් වන අවස්ථාවකදී පමණි. මෙරට ගබ්සාව සම්බන්ධව පවතින දැඩි නීතිරීති හේතුවෙන් අනපේක්ෂිත ගැබ්ගැනීමකදී කළලය ඉවත් කරගැනීමට නොහැකිව කාන්තාවන් විවිධ ගැටලුවලට මුහුණදෙන තත්ත්වයක් ඇත. එනිසාම නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානවලට යාමෙන් සහ සැර අධික පෙති වර්ග පානය කිරීමෙන් මව්වරුගේ ජීවිතවලට අනන්ත අප්‍රමාණ හානි සිදු වූ අවස්ථා අප අසා ඇත.

‘‘ඊටපස්සේ මම මගේ නීතීඥවරිය වුණු සසිකා ප්‍රේමනායක මහත්මියගෙන් ඇහුවා රජයෙන් උදව්වකුත් නැත්නම්, බලධාරින්ගෙන් සහයෝගෙකුත් නැත්නම් මේ ගබ්සා වෙන ජීවිත ටික බේරගන්න අපිට කිසිම විකල්පයක් නැද්ද කියලා. එතකොට තමයි එතුමිය මට ඇඩොප්ෂන් පනත (දරුවන් කුලවැද්දීම) ගැන පහදලා දුන්නේ.’’

වැදූ දෙමව්පියන් හැර වෙනත් අයෙක් විසින් දරවෙකු දරුකමට හදාගැනීම හඳුන්වන්නෙ දරුවෙකු කුලවද්දා ගැනීම ලෙසය. මේ සම්බන්ධයෙන් දරුවා මෙන්ම දරුවා හදාගැනීමට ගන්නා අයද සපුරාලිය යුතු සුදුසුකම් කිහිපයක් ඇත. මූලිකවම දිසා අධිකරණයක් හරහා පෙත්සම් ගොනුකර එහි වගඋත්තරකරුවන් ලෙස ඉල්ලුම්කාර පාර්ශවයත්, දරුවාගේ නමත් සඳහන් කළ යුතුය. මන්ද මෙරට නීතියට අනුව දරුවන්ගේ ඉහළම භාරකරු වශයෙන් කටයුතු කරන්නේ දිසා අධිකරණය නිසාවෙන්ය.

‘‘ඊටපස්සේ අපි ගර්භණී සුරක්ෂා මධ්‍යස්ථානයක් ආරම්භ කළා. අසරණ වෙච්ච ගර්භණී මව්වරුන් මාස 10ක් පුරාම රැකබලාගන්න වැඩපිළිවෙලකුත් දියත් කළා. හැබැයි අපි ඒ අයව රැකබලාගන්නවා කියලා අපි එයාලගෙ දරුවාව හොරකම් කරගන්න ගියේ නෑ. දරුවො ලැබුණාට පස්සේ අරන් යන්න ඕන කියපු අයට අපි යන්න නිදහස ලබලා දුන්නා. ඊටපස්සේ භාරකරුවන් නැති අම්මලගෙ දරුවන්ව ඇ​ඩොප්ෂන් (කුලවැද්දීම) පනත යටතේ සුදුසු භාරකරුවන්ට ලබලා දෙන්නත් කටයුතු කළා.’’

එතැන් සිට ගබ්සාවේ ඇති භයානකත්වය සහ නීතිවිරෝධීභාවයද පෙන්වා දෙමින් එවැනි දරුවන් නොමරා ගර්භණී සුරක්ෂා මධ්‍යස්ථානයට ගෙනැවිත් භාරදෙන ලෙසත්, අසරණභාවයට පත්වුණු ගර්භණීයන්ට ගර්භණී සුරක්ෂා මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බව මංජුල අපට කීවේය.

‘‘එතැන ඉඳලා තමයි හොඳම හරිය සිද්ධ වු‍ණේ. අපි කවදාවත් හිතපු නැතිතරම් අසරණ ගැබිනියෝ අපට කතා කරලා පිහිට ඉල්ලුවා. ඒ හැමෝම වගේ සල්ලාල කපටි පිරිමින්ට රැවටිලා කුසට දරුවෙක් ලැබුණු අය. ඒ පැත්තෙන් අනිත් එක ඒ අය එහෙම කතා කරද්දි ළමයි නැතුව අවුරුදු 10-15 දුක් විඳින දෙමව්පියනුත් දවසකට තුන් හාරදාහක් විතර අපිට කතා කළා.

විදියට අසරණ වෙලා අපි ළඟට මුලින්ම ආවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඒත් ඒ දරුවවත් ගබ්සා කරගන්න බැරිවෙලා තියෙන්නේ කොරෝනාවලට රට වහපු නිසා. අන්තිමට රටට ලෝකෙට මූණ දීගන්න බැරුව මැරෙන්න ගිය ඒ දැරිවි අපි ළඟට වෙලා ඉඳලා එයාගෙ දරුවව බිහි කළා. ඒ 2020 ජූලි 13 වෙනිදා. ජූලි 14 වෙනිදා එයාගෙ දරුවව ව්‍යාපාරිකයෙකුට හදාගන්න භාරදෙන්න අපි නීතිමය වශයෙන් කටයුතු කළා.’’

මංජුල විසින් ‘CSC නේෂන් ලංකා ආයතනය’ සහ ගර්භණී සුරක්ෂා මධ්‍යස්ථානය යන මේ දෙකම පවත්වාගෙන ගිහින් තිබුණේ මොරටුව ප්‍රදේශයේය. එම නිසා මෙහි කෙරෙන වැඩපිළිවෙල ගැන මොරටුව ප්‍රා​දේශීය ලේකම්වරයා සමඟ සාකච්ඡා කළ පසුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත්, රාජ්‍ය නොවෙන සංවිධාන මහලේකම් කාර්යාලයේත් ලියාපදිංචි කිරීමට කටයුතු සුදානම් කළ බව ඔහු කියා සිටියේය.

එහෙත් ඊට පළමුව මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මේ ගැන ළමා රක්ෂණ අධිකාරියට ලිපියක් මගින් දන්වා ඇත. ආරක්ෂක අංශ, බුද්ධි අංශ, පොලිස් බුද්ධි අංශයේ මෙන්ම ගල්කිස්ස පොලිසියේදී අවධානය මේ ගැන යොමුවීමට පටන්ගෙන ඇත්තේ ඊට පසුවය.

‘‘වෙද්දි සෙන්ටර් එකේ අම්මලා වැඩිවෙලා තිබුණෙ. ඒක නිසා මට එයාලව බලාගන්න රෝහල්වලට යවලා ප්‍රතිකාර කරන්න මුදල් ප්‍රතිපාදන තිබුණෙ නැහැ. ඒක නිසා විශ්විවද්‍යාල ශිෂ්‍යාවගේ දරුවව හදාගන්න ගත්ත ව්‍යාපාරික මහත්තයා එයාගේ කැමැත්තෙන් ගර්භණී සුරක්ෂා අරමුදලට රුපියල් එක්ලක්ෂ පනස්දාහක් පරිත්‍යාග කළා. එතැන ඉඳලා දරුවන් භාරගන්න දෙමව්පියන්ට කැමති නම් විතරක් අපේ අරමුදලට ලක්ෂ එකහමාරක මුදලක් පරිත්‍යාග කරන්න කියලා යෝජනාවක් ඉදිරිපත් කළා. එහෙම දීපු අය පරිත්‍යාගශීලීන්ට රිසිට්පතක් පවා ලබලා දෙන්න අපි කටයුතු කළා.

අන්තිමට අපේ ආයතනයේ වැඩි හොඳට දීපු රිසිට් ටික අල්ලගෙන තමයි ලක්ෂ ගණන්වලට පිටරට ජාවාරම්කරුවන්ට දරුවෝ 30දෙනෙක් විකුණලා කියලා මඩ ගැහුවේ. ලක්ෂ ගණන් සල්ලි තියා කොවිඩ් කාලේ සෙන්ටර් එකේ හිටපු අම්මලාට කන්න දෙන්න හාල් ඇටයක් අපි ළඟ තිබුණෙ නෑ. අපි ගැන ටිකක් හරි හොයලා බැලුවෙ දරුවො හදාගන්න ගත්ත දෙමව්පියොයි, පරිත්‍යාගශීලීනුයි විතරයි.’’

එපමණක් නොව රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා, යුනෙස්කෝ ආයතනයේ සභාපතිවරයා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන් පවා එහි පැමිණ මව්වරුන්ට මනෝවිද්‍යා උපදේශන ලබාදුන් බව මංජුල අපට කීවේය.

ඊට ටික දිනකට පසුව ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ගර්භණී සුරක්ෂා මධ්‍යස්ථානයේ හදිසි වැටලීමක් කළ බවත්, එහෙත් එයින් ඔවුන්ට කිසිඳු නීතිමය බාධාවක් නොපැමිණි බවයි මංජුල අපට කීවේ. ඊටපසු දෙසැම්බර් 8 වන දින කාන්තා හා ළමා අපයෝජන පොලිසියෙන්ද එහි ගොස් තිබු‍ණේ ඔවුන්ට ලැබුනු පැමිණිල්ලකට අනුවය. ඒ අවස්ථාවේදී ඔවුන්ගේ රාජකාරි කටයුතුවලට තමන් උපරිම සහයෝගය ලබාදුන් බව මංජුල කියයි. එහිදී එහි සිටි සියලුම ගැබිනි මව්වරුන්ගෙන් කටඋත්තර සඳහන් කරගෙන පරිගණක දත්ත පරීක්ෂාවක්ද සිදුකර ඇත.

‘‘අපි ළඟට අම්මා කෙනෙක් ආවම අපි එයාලගේ සත්‍ය පාපොච්චාරණයක් සටහන් කර ගන්නවා. එයාලව අසරණ කරපු පිරිමියාගේ ෆො​ටෝ එකක් පවා ලිපිගොනු එක්ක තියාගන්නවා.’’

මංජුල පවසන්නේ, එම ඡායාරූපවල සිටින්නන් අතර ආරක්ෂක අංශ නිලධාරීන් එකොළොස් දෙනෙකු, පූජ්‍ය පක්ෂයේ හතරදෙනෙකු, සබරගමු පළාතේ ප්‍රධාන දේවාලයේ තෙවැනි මට්ටමේ නිලමේවරයෙකු, ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදියෙකු, ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු, ගුරුවරයෙකු සහ ඉහළ පැලැන්තියේ තවත් බොහෝ අය සිටින බවයි.

පසුව ළමා හා කාන්තා කාර්යාංශයෙන් මංජුලට නැවතත් දෙසැම්බර් 18 වන දින පැමිණ කටඋත්තර ලබාදෙන ලෙස කියා ඇතත් රාජකාරී කටයුත්තකට අනුරාධපුරයේ ගොස් තිබූ නිසා ඔහුට පැමිණීමට නොහැකි වී ඇත. එනිසා ඔහුට ඒ වෙනුවෙන් 23 වැනි දින පැමිණෙන ලෙස කියූවද මංජුල අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙසැම්බර් 21 වන දිනය. පසුව සිදුවූ පරීක්ෂණ කටයුතුවලට අදාළව දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත වීමට මංජුලට සිදුවිය.

‘‘අද වෙනකොට මේ රටේ අසරණ ගෑනු අනාථ වෙන එක නැවතිලත් නෑ, හොර ගබ්සාව නැවතිලත් නෑ. ඒත් අවුරුද්දක් ගානේ මැරෙන ඒ අසරණ දරු පැටවුන්ගේ ජීවිත බේරපු මංජුල උක්වත්තට ‘බේබි ෆාම්කාරයා’ කියලා නඩුවක් වැටිලා තියෙනවා.’’

CSC ආයතනය මගින් පළමු දරුවා දරුකමට භාරගත් ව්‍යාපාරික ප්‍රභාත් අනුරුද්ධ ඒ ගැන කියන්නේ මෙවැනි කතාවකි.

‘‘මමයි මගේ නෝනයි අවුරුදු 45ක් වෙනකම්ම දරුවො නැතුව දුක් වින්දා. පස්සේ ලක්ෂ 15ක් වියදම් කරලා IVF සැත්කමකින් දරු පැටියෙක් හදාගත්තා. ඒ දරුවත් දවස් 2ක් ජීවත් වෙලා අපිව දාලා ගියා. ඒකෙන් අපි දෙන්නම පුදුම විදියට මානසිකව කඩන් වැටිලා ඉන්නකොට තමයි ඉන්ටනෙට් එක හරහා CSC ආයතනය ගැන දැනගන්න ලැබුණෙ. මම එතැනට ගිහිල්ලා මංජුල මහත්තයට මගේ ප්‍රශ්නෙ කිව්වම එතුමා මට කෙළින්ම කිව්වා ‘අනුන්ගෙ දරුවො ඉල්ලන්නත් එපා. එහෙම දෙන්නෙත් නෑ’ කියලා. ඒත් මම ඒ ආයතනයට ගිහිල්ලා එතැන හිටපු අම්මලට දරුවන්ට උදව් කළා. ස්වේච්ඡාවෙන් ආධාර කළා. එහෙම කළේ මගේ නැතිවුණ දරු පැටියට පින් සිද්ධවෙන්න.

ඔහොම ඉන්නකොට අර විශ්වවිද්‍යාල සිසුවිය එයාගේ දරුවව ගෙනියන්න තැනක් නෑ කියලා මට හදාගන්න දෙන්න කැමති වුණා. ඒ දරුවා ඉපදු‍ණේ ජූලි 13. මම භාරගත්තෙ ජූලි 14. ඒත් මංජුල මහත්තයා දරුවා දීලා මගෙන් සල්ලි සතයක් ගත්තේ නෑ. නීතීඥ සසිකා ප්‍රේමනායක මහත්මියගේ උපදෙස් අනුව කළුතර දිසා අධිකරණයේ නඩුවක් ගොනු කරලා නීත්‍යානුකූල විදියට තමයි ඔවුන් මට දරුවව භාරදුන්නේ. ඒත් මංජුල මහත්තයාව අත්අඩංගුවට ගත්තම පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කිව්වා එතැන හිටපු සියලු ළදරුවන්ව විදෙස් ජාවාරම්කරුවන්ට විකුණලා කියලා. මම එතුමගෙන් අහනවා එතකොට මමත් විදෙස් ජාවාරම්කරුවෙක්ද කියලා. මම එතුමලාගෙන් ඉල්ලීමක් කරනවා මගේ ගෙදරට ඇවිල්ලා රජ පැටියෙක් වගේ හැදෙන දරු පැටියා දිහා හොඳට ඇස් ඇරලා බලලා කතා කරන්න කියලා.’’

ප්‍රභාත් දරුකමට හදාගත්තේ අප පෙර කී විශ්වවිද්‍යාල සිසුවිය වූ නදීගේ දරුවාය. ඇයටද මේ ගැන කියන්නට කතාවක් තිබුණි.

‘‘මට දරුවා ලැබෙන්න ඉද්දි මගේ පෙම්වතා මාව දාලා ගියා. ඒ වෙද්දි මට කරකියාගන්න දෙයක් නැතුව අසරණ වෙලා හිටියේ. මොන ලෝකෙක ගිහින් හරි ඒ දරුවව ඇබෝෂන් (ගබ්සා) කරනවා එහෙමත් නැත්නම් මම මැරෙනවා කියලමයි ඒ වෙද්දි මම හිතාගෙන හිටියේ. මොකද මගෙ අම්මා ඒ ගැන දැනගත්ත නම් අනිවාර්යයෙන්ම මට කලින් වහ කාලා මැරෙනවා. අන්තිමට පෙර පිනකට ඉන්ටනෙට් එකෙන් CSC නේෂන් ලංකා ආයතනය ගැන දැනගන්න ලැබුණා. මම මංජුල මහත්තයට කතා කරහම එතුමා මාව CSC කාර්යාලයට ගෙන්නගෙන නවාතැන් දීලා කළුබෝවිල ඉස්පිරිතාලෙ ක්ලිනික් පවා යැව්වා. පස්සේ එතැනට ආපු ගියපු ප්‍රභාත් අනුරුද්ධ මහත්තයා මගේ දරුවව දරුකමට හදාගන්න කැමති වුණා. දරුවගෙ මූණ දැක්කට පස්සේ ‘අනේ මම මරන්න හැදුවෙ මේ දරු පැටියවනේ’ කියලා දුක හිතුනා. මගේ ළඟ ඉඳලා අවජාතක ලේබල් ගහගෙන දුක් විඳිනවට වඩා හොඳ නිසයි සහ ඒ දරුවාත් එක්ක මට රටට ලෝකෙට මූණදෙන්න බැරිකම නිසායි මම දරුවව ප්‍රභාත් මහත්තයට හදාගන්න දුන්නේ. ඒක මම කැමැත්තෙන් ගත්තු තීරණයක්. එහෙම නැතුව මංජුල උක්වත්ත මහත්තයා මගේ දරුවව සල්ලිවලට වික්කෙ නෑ.’’

පසුව අප නීතීඥ සසිකා ප්‍රේමනායක මහත්මියවද සම්බන්ධ කරගත්තේ ඔය කියනා ආකාරයටම එහි නීතිමය කටයුතු සිදුවූවාද යන්න දැනගැනීමටය.

‘‘ඇත්තම කිව්වොත් එතැනදී මංජුල මහත්තයා කළේ දරුවො ලැබෙන්න ඉන්න අම්මලවයි, දරුවො නැති දෙමව්පියන්වයි මුණගස්වන්න අතරමැදියෙක් වෙච්ච එක. එහෙම නැතුව මම දන්න තරමින් නම් එතැන දරුවන් මුදලට විකිණීමක් සිද්ධ වුණේ නෑ. අනිත් එක තමයි එතුමා භාරකරුවෝ හොයලා දීපු හැම දරුවෙක් වෙනුවෙන්ම ඊට අදාළ දිසා අධිකරණවල නඩු ගොනු කරලයි තියෙන්නේ. මට මතක විදියට නඩු පනහකට ආසන්නව තිබුණා. ඊට අදාළ පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණමය නඩු පැවරීමේ කටයුතු මාත් තවත් නීතීඥවරුන් දෙදෙනෙකුත් විසින් සිදුකරලා තියෙනවා. මේ වෙනකොට ඒ නඩුවලින් බහුතරයක දරුකමට හදාගන්න ආඥාවන් ලැබෙන අවසන් නියෝග ලැබිලා අවසන්. ඉතිරි නඩුවලටත් අතුරු නියෝග ලබාගෙන තියෙනවා. අවසන් නියෝග ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වෙද්දි කෙරීගෙන යනවා.

අනික ඔය අන්තර්ජාලයේ දැන්වීම් පළකරලා දරුවෝ විකුණුවා කියන්නෙ බොරුවක්නේ. එතුමා පළකරලා තිබුණෙ දරුවො ගබ්සා කරලා මරන්නෙ නැතුව නැති කෙනෙකුට හදාගන්න දෙන්න කියලනේ. මේ ගැන සැකයක් තියෙන ඕනැම කෙනෙකුට නීත්‍යානුකූල ලියකියවිලි බලන්නත් පුළුවන්.’’

යමෙකු මේ දෙස සුබවාදීව බලද්දී තවත් අයෙකු චෝදනා කරන්නේ CSC වැනි ආයතන නීතියේ යල්පැනගිය සිදුරු අස්සෙන් රිංගාගෙන ඇඟ බේරාගෙන ඇති බවටය. මංජුල උක්වත්ත මෙය ආරම්භ කළේ ඔය කියනා ආකාරයට සද්ධා සිතින් නම් එය මෙලොවටත්, පරලොවටත් හොඳ බවට කිසිඳු සැකයක් නැත. එහෙත් තම තමන්ගේ කිල්ලෝටවල ඇති හුණුවල තරම දන්නේ තමන්මය.

කෙසේ නමුත් අවසානයේ මැරෙන්නට යන දරුවෙකුගේ පණ නළ රැකේනම් එහි හොඳ නරක ගැන කිසිඳු වාද විවාදයක් අවශ්‍ය වනනේද නැත.

ලිහිණි මධුෂිකා