විශේෂාංග

පිටේ කැළලෙන් වටේටම පාඩම් උගන්නපු එලිසබෙත්ගේ මිණිබිරී

රටවල් දෙකක ජීවත්වෙන විදෙස් තරුණියෝ දෙන්නෙක් මේ දිනවල සෑහෙන්න ජනප්‍රියයි. එක් තරුණියක් එංගලන්තයේ එලිසබෙත් රැජිනගේ මිණිබිරියක් වෙන ඉයුජිනි කුමරිය. අනෙක් තරුණිය නවසීලන්තයේ රූපවාහිනී මාධ්‍යවේදිනියක් වෙන ඔරියිනි කයිපරා. මේ දෙන්නා අතරින් ඉයුජිනි කුමරිය ප්‍රසිද්ධ වෙන්නේ ඇගේ සිරුරේ ඇති කැළලක් නිසා. එතකොට ඔරියිනි ප්‍රසිද්ධ වෙන්නේ සිරුරේ තියෙන පච්චයක් නිසා. ඉතින් අපි දැනගත්තා මේ කැළල සහ පච්චය නිසා හදිසියේ ප්‍රසිද්ධියට පත්වුණු මේ දෙන්නගේ ජීවිතේ සැඟවුණු කතාවකුත් තියෙනවා කියලා. ඒ නිසා ඒ කතාව ඔබටත් දැනගන්න මෙහෙම ලියන්න හිතුවා.

විසිඅට හැවිරිදි ඉයුජිනි කුමරිය ප්‍රසිද්ධ වෙන්නේ ඇගේ විවාහ මංගල්‍යයත් එක්ක. එදා ඇය මංගල දින රාත්‍රියට අඳින්නේ තමන්ගේ පිට ප්‍රදේශය නිරාවරණය වූ සුදු පැහැති සාමාන්‍ය ගවුමක්. බැලූ බැල්මට එය රාජකීය පරම්පරාවක තරුණියක් තම විවාහ මංගල්‍යයට අඳින විදිහක අලංකාර ගවුමක් නම් නෙවෙයි. මොකද එහි කිසිම මෝස්තරයක් වගේම කිසිම එළියක් නෑ. හැබැයි විවාහයට එන මාධ්‍යවේදීන් එදා ටිකක් වෙනස් දෙයක් දකිනවා. ඒ තමයි ගවුමට නිරාවරණය වූ ඉයුජිනිගේ පිටේ තියෙන එක්තරා කැළලක්. බැලූ බැල්මට ඒක සැත්කමකින් පසු ඉතිරි වූ එකක්. ඉතින් දෙසැරයක් නොහිතාම ඔවුන් ඒ ගැන රූමත් ඉයුජිනි කුමරියගෙන් ප්‍රශ්න කරනවා.

‘‘කුමරිය ඔබේ පිටේ විශාල කැළලක් පේන්න තියෙනවා. ඇයි ඔබ මේ කැළල පෙනෙන විදිහට ගවුමක් අඳින්න හිතුවේ? කුමරියට තිබුණා මේක වැහෙන විදිහට ගවුමක් තෝරගන්න. නැත්නම් තිබුණා ප්ලාස්ටික් සැත්කමක් කරලා මේ කැළල මකලා දාන්න. ඔබ එහෙම නොකළේ ඇයි?’’

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීමත් එක්ක ඇයට අතීතය මතක් වෙනවා. එතකොට ඉයුජිනි කුමරියට වයස අවුරුදු දොළහයි. ඇගේ දෙමාපියන් දකිනවා ඇගේ කොන්දේ යම්කිසි ඇදයක්. ඇය ඇවිදින වෙලාවට ඒක පැහැදිලිව පේන්න ගන්නවා. කුමරියගේ දෙමාපියන් තවත් බලාගෙන ඉන්නේ නෑ. ඔවුන් තීරණය කරනවා පුංචි ඉයුජිනි වෛද්‍යවරයෙකුට පෙන්නන්න. එතැනදී ඔහු තීරණය කරනවා ඇයට සැත්කමක් කළ යුතු බව. ඒ අනුව ඇයට ඇගේ පුංචි වයසෙදි කොඳු ඇට පෙළේ සැත්කමකට මුහුණදෙන්න වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහටයි ඇගේ පිටේ කැළලක් ඇතිවෙන්නේ. මෙදා මාධ්‍යවේදීන් දකින්නේ ඒක. පස්සේ ඇය ඔවුන්ට මේ වගේ උත්තරයක් දෙනවා.

‘‘මේ පොඩි කැළලෙන් මට ඕනේ වු​ණේ ශාරීරික ගැටලු ඇති සියලු මිනිසුන්ට බලාපොරොත්තුවක් දෙන්න. පුද්ගලයෙකුගේ සුන්දරත්වයට, පෙනුමට ශාරීරික ගැටලු කිසිම සම්බන්ධයක් නෑ. කෙනෙක්ගේ සැබෑ සුන්දරත්වය තියෙන්නේ ඒ පුද්ගලයාගේ සදාචාරය, සාධරණත්වය, අවංක බව, මනුෂ්‍යත්වය, කරුණාව සහ මිනිස්සුන්ට සළකන ආකාරය මත. මං උපාධිය ලබාගත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන්. මගේ ආචාර්ය උපාධිය මං විවිධ ක්ෂේත්‍ර තුනකින් කළා. මට දැන් භාෂා පහක් කතා කරන්න පුළුවන්. ඒ ගැන මට සතුටුයි. ඉතින් පිටේ කැළල පෙනුණා කියල මට කිසිම ලැජ්ජාවක් නෑ.’’

නම්බුව රකින්නට නිකටේ පච්චයක් කෙටූ මාධ්‍යවේදිනිය ඔර්යිනි කයිපරාගේ කතාවත් මීට තරමක් සමානයි. බැලූ බැල්මට ඇය ඉතා සුන්දර රූමත් තරුණියක්. පුංචි කාලේ ඉඳන්ම ඇය හීන දකින්නේ මාධ්‍යවේදිනියක් වෙන්න. හැබැයි ඇයට ඒ හීනය ගොඩාක් දුරවෙන්නේ නෑ. මොකද තරුණ වයසේදිම ඇයට හැකියාව ලැබෙනවා නවසීලන්තයේ ජාතික රූපවාහිනී නාළිකාවක මාධ්‍යවේදිනියක් වෙන්න. ඔය විදිහට කාලයක් ගතවෙනවා.

මේ අතරතුරේ තමයි ඇය දැනගන්නේ තමන් එරටේ ‘මඕරි’ (Maori) කියන ගෝත්‍රයට අයත් තරුණියක් කියලා. ඒක නවසීලන්තයේ සෑහෙන්න ප්‍රසිද්ධ ගෝත්‍රයක්. ඒ ගෝත්‍රයේ සිරිතක් තමයි එම ගෝත්‍රයේ සියලුදෙනාම සිරුරේ කොතැනක හෝ පච්චයක් කොටා තිබීම. ඒ සිරිත ‘ටා මොකො’ (Ta Moko) කියලයි හැඳින්වෙන්නේ. එහිදී ‘මඕරි’ ගෝත්‍රයට අයත් කාන්තාවක් තමන්ගේ පච්චය කොටාගන්නේ මුහුණේ තැනක. ගොඩාක් දුරට ඒකට භාවිතා කරන්නේ නිකට ප්‍රදේශය. මේ සිරිත අදටත් ඒ විදිහටම ඔවුන් රකිනවා.

තමන් ‘මඕරි’ ගෝත්‍රයේ කියලා දැනගත්තු ගමන් ඔර්යිනි කයිපරාත් තමන්ගේ ගෝත්‍රයට ආවේණික සිරිතට ගරු කරන්න දෙපාරක් හිතුවේ නෑ. ඇයත් තීරණය කරනවා තමන්ගේ වෘත්තිය ගැනවත් නොසිතා තම නිකටේ පච්චයක් කොටන්න. ඒක ඇගේ සුරූපී රූපයට කරගත්ත හානියක් වගේ පෙනුණත් ඇය සඳහන් කරන්නේ ඇයට රූපයට වඩා ගෝත්‍රයේ සිරිත වැදගත් කියලයි. ඒ අනුව දැන් ඇය රූපවාහිනී මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කරන්නේ තමන්ගේ නිකට ප්‍රදේශයේ සම්ප්‍රදායික පච්චයක් එක්ක. එහෙම මාධ්‍යවේදිනියක් ලෝකයේ තවත් නෑ. ඒක නිසාම ඇය ගැන දැන් ලෝකයම කතා කරනවා. මේ අතර තමන් කරපු දේ ගැන ඇය මෙහෙමත් කියනවා.

‘‘මං මඕරි ගෝත්‍රයට අයත් තරුණියක් කියලා දැනගත්තම මට ඕනේ වුණා ඒ ගෝත්‍රයේ සිරිත් එක්ක ජීවත්වෙන්න. ඒක නිසයි සංස්කෘතියට ගරු කරලා මං නිකටේ පච්චයක් කොටාගත්තේ. සෑම මනුස්සයෙක්ම තමන්ගේ සංස්කෘතියට ගරුකරන්න ඕනේ. හැබැයි මේ වෙනකල් ඒක මගේ මාධ්‍ය වෘත්තියට බලපාලා නෑ.’’

රුවන් එස්.සෙනවිරත්න