යස අගේට තියෙන පවුල කඩාගන්න ඕන නම් පිට මිනිස්සුන්ට ප්‍රශ්න කියන්න
මේ මෑතකදී මාව හම්බෙන්න බොහොම තරුණ යුවළක් ආවා. ඒ වෙනකොට ඒ දෙපළ විවාහ වෙලා අවුරුදු දෙකක්වත් නැහැ.
මේ බිරිඳ වත්පොහොසත් පවුලක එකම දෝණියැන්දෑ. බිරිඳගේ පවුලට තරමටම නැති වුණත් ඒ සැමියත් යමක්කමක් තිබුණු පවුලක දරුවෙක්. ඉතින් ඔහු විවාහයෙන් පස්සේ මේ දෙන්නට වෙනම ජීවත්වෙන්න නිවසක් පවා මිලදීගෙන තිබුණා.
හැබැයි විවාහවෙලා වෙනම ඉන්නවට මේ බිරිඳගේ දෙමව්පියන්ගේ වැඩි කැමැත්තක් තිබිලා නැහැ. ඒ නිසා බෑණන්ඩියට බින්න බහින්න කියලා බල කළාට ඔහුත් ඒකට කැමති වෙලා නැහැ. ඒ නිසා විවාහ වුණු හැටියේම මේ මාපිය යුවළ බෑණා එක්ක පුංචි නෝක්කාඩුවක් ඇති කරගෙන තියෙනවා.
විවාහ වුණ අලුතම දරුමල්ලෝ හදන්නේ නැතිව අවුරුද්දක් දෙකක් ගිය තැන දරුවෙක් හදමු නේද කියලා දවසක් මේ සැමියා බිරිඳගෙන් අහලා තියෙනවා. ඊටපස්සෙ ඇය කරලා තියෙන්නේ ඒ ගැන ඇගේ මවට කියන එක.
‘‘පිස්සුද ළමයෝ… අපි තව කොයි කාලයක් ජීවත්වෙයිද කවුද දන්නේ? ඔයාගේ පුංචි එකෙක්ගේ හුරතල් බලන්නේ නැතුව අපි සැනසිල්ලේ ඇස් පියාගන්නෙවත් කොහොමද?’’
ඔන්න ඒකෙනුත් බෑණා ගැන තිබ්බ ආරෝව තව ටිකක් වැඩි වුණා.
මේ බිරිඳ උදේ පාන්දර නැගිටපු හැටියේම කරන්නේ අම්මට කොල් එකක් අරන් ‘‘අම්මේ අද මොනවද උයන්න ඕනේ?’’ කියලා අහන එකලු. රෑටත් පැයක දෙකක කෝල් එකක් ගන්නවලු. මෙයා අම්මලා එක්ක මේ තරම් කතා කරන්නේ මොනවද කියලා දවසක් මේ සැමියා අහගෙන ඉඳලා තියෙනවා. කතාවෙන් බාගෙට බාගයක්ම කිව්වේ මේ සැමියයි බිරිඳයි අතර වෙන ප්‍රශ්න, ගැටලු ගැනලු. සැමියගේ වැරදි ටික සේරම අම්මලාගේ කනේ තියෙන එක තමයි මෙයා කරලා තියෙන්නේ. හැබැයි මේ සැමියා ඒකට මුකුත් කියන්න ගිහිල්ලත් නැහැ. ඔහොම ටික දවසක් යද්දි මේ බිරිඳ සැමියගේ වැඩවලට උදව් කරන එක සහ නිවසේ වැඩපල කරන එකත් ටික ටික කරඅරින්න පටන් අරන්.
‘‘අපි ඔයාව බන්දලා දුන්නේ ලොකු දෑවැද්දක් එක්ක. ඔයා එයාට ඕනවට වඩා බාල්දු වෙන්න යන්නේ නැතුව ඔයාගේ තැන තියාගෙන ඉන්න.’’
ඒ අමුතු හැසිරීම පිටිපස්සේ තිබුණු උපදේශය තමයි ඕක. ඔය එක එක කතා දුරදිග ගිහිල්ලා අන්තිමට දික්කසාද වෙන්න යන තැනටම මේ ප්‍රශ්නේ ආවා. එතැනදිත් අර වැඩිහිටි යුවළ දියණියට දික්කසාද වෙන්න රුකුල් දීලා තිබුණා. සැමියගේ පාර්ශවයේ කීමට තමයි මේ යුවළ මගේ උපදේශනයට ආවේ.
බුද්ධ සාසනයේ අග්‍රදායිකාව වෙච්චි විශාකා සිටු දියණිය විවාහ වෙලා සැමියගේ නිවසට යද්දිත් ඇගේ පියා පවුල් ජීවිතේ සාර්ථක කරගන්න හරි අපූරු උපදෙස් දහයක් දුන්නලුනේ.
‘ඇතුළත ගිනි පිටට දෙන්න එපා. පිටත ගිනි ඇතුළට ගන්න එපා’ කියන එකත් ඒ අතර තිබුණු උපදේශයක්.
තමන්ගේ දරුවෝ විවාහ වෙනකොට අන්න ඒ වගේ උපදෙස් දෙන එක තමයි දෙමාපියන්ගේ වගකීම. එහෙම නැතුව දරුවන්ගේ කූඩු කඩන තැනට වැඩ කරනවා නම් එතැන සැබෑ දෙමාපිය ආදරයක් මම දකින්නේ නැහැ.
විවාහපත් අඹු-සැමි යුවළක් තමන්ගේ පවුල ඇතුළේ වෙන ප්‍රශ්න බාහිර සමාජයට නොදිය යුතුයි සහ බාහිර ප්‍රශ්න තමන්ගේ ගෙට වද්දා නොගත යුතුයි කියන එකනේ ඔය උපදේශයේ තේරුම. තමන්ගේ සැමියගේ බිරිඳගේ වැරදි අම්මටයි, තාත්තටයි, නෑදෑයන්ටයි, යාළුවන්ටයි නැත්නම් හත්මුතු පරම්පරාවටයි කියන්න යන එක හරියට හත්පොළේ මඩ ගාගන්නවා වගේ වැඩක්.
බහුතරයක් දෙනා තමන්ගේ සැමියගේ බිරිඳගේ වැරදි වෙනත් කෙනෙක්ට කියන්නේ අනිත් පර්ශවයෙන් උපදේශයක් බලාපොරොත්තුවෙන්. හස්බන්ඩ්ගේ වැරදි තමන්ගේ හොඳම යාළුවොත් එක්ක කියන්න ගිහින් රටේ නැති ප්‍රශ්න ඇති කරගත්තු බිරින්දෑවරු මට හම්බෙලා තියෙනවා.
තමන්ගේ එදිනෙදා ප්‍රශ්න ගැටලු රස කර කර අනිත් අයත් එක්ක කියන එකේදි ඉදිරියෙන්ම ඉන්නේ ගෑනු උදවිය. ඒක ගෑනුන්ට ජීවවිද්‍යාත්මකව ලැබුණු දෙයක්. මම කියන්නේ පිරිමි අය සුදනෝ කියලා නෙවේ. එහෙම උදවියත් ඕන තරම් ඉන්නවා.
පුංචි කාලේ ඉඳලා අම්මා තාත්තා තුරුලෙම හැදෙන ස්වාධීනත්වය අඩු කෙනෙක් මේ වගේ දේවලට යොමු වෙනවා වැඩියි. මොකද ස්වාධීනව තීන්දු තීරණ ගන්න නොදැනුවත් නිසා ඒ අය තමන්ගේ ප්‍රශ්න සේරම අනිත් අයට කියලා අනිත් අයගෙන් විසඳුම් හොයන්න උත්සාහ කරනවා.
සැමියගේ වැරදියි, පවුලේ වෙන පුංචි පුංචි දේවලුයි හැමදේම අම්මලට කියන්න යන්නේ ඇයි කියලා මම අර බිරිඳගෙන් අහලා බැලුවා.
‘‘අම්මයි තාත්තයි අවුරුදු ගාණක් සතුටින් පවුල් කෑවා. ඉතින් පවුල ගැන උපදෙස් ගන්න ඊට වඩා හොඳ අය ඉන්නවද?’’
විවාහ වෙනවා කියන්නේ අලුත්ම ජීවිතයක් පටන්ගන්න එකට. විවාහය කියන්නේ නැවත ඉපදීමක් කියන්නේ ඒකනේ. දෙමාපිය වැඩිහිටියන්ගෙන් නොදන්නා දෙයක් ගැන අහගත්තට කමක් නැහැ. හැබැයි විවාහ ජීවිතයක හැමදේම අම්මලාට නැත්නම් යාළු මිත්‍රයින්ට කියන්න ගියාම විවාහ ජීවිතයක ස්වාධීනත්වය ගොඩනගාගන්න අමාරුයි. අනිත් දේ අම්මයි, තාත්තයි, ඔයයි, ඔයාගේ සැමියයි කියන්නේ එකනෙකට වෙනස් චරිත හතරක්. ඉතින් ඒ පවුලේ හැමදේම මේ පවුලට ආදේශ කරන්න යන එක ප්‍රායෝගික නැහැ. අනික දැන් ඉන්න අයගෙයි වැඩිහිටි පරපුරෙයි අදහස්වල පැහැදිලි වෙනස්කමක් තියෙනවා. ඉතින් පවුලක සාර්ථකත්වයට ඒ හැමදෙයක්ම බලපාන්න පුළුවන්.
තමන්ගේ දරුවන්ට දරුවෝ ලැබෙන්න ඕන කාලය, හදන්න ඕන දරුවෝ ගණන, කොටින්ම දරුවට තියන නම මොකක්ද කියලත් තීරණය කරන වැඩිහිටියෝ ඉන්නවා. මේ විදියට අනිත් පාර්ශවයේ වැඩිහිටියෝ පවුලට ඕනවට වඩා ඇඟිලි ගහනවා කියලා සැමියාට හෝ බිරිඳට දැනුණම ඔන්න ඉතින් එතැනත් ප්‍රශ්නයක්. ඒ නිසා පවුල් ජීවිතේට ඕනවට වඩා අතපත දාන දෙමාපිය වැඩිහිටියන්ව හිත් නොරිද්දාා ගෞරවණීය විදියට මහඅරින්න විවාහක යුවළක් බුද්ධිමත් වෙන්න ඕනේ.
දෙන්නා දෙමහල්ලොන්ගේ රණ්ඩු තියෙන්නේ බත් හැලිය ඉදෙනකල් විතරයි කියලා කතාවක් තියෙනවනේ. හැබැයි තමන්ගේ බිරිඳගේ සැමියාගේ වැරදි ටික වටේම කිය කිය යන්න ගියොත් ගෙදර බත් හැලිය රොස් වෙන්නත් බැරි නැහැ කියන එක මතක තියාගන්න.
අනික දැන් හිතන්නකෝ බිරිඳ ගැන වැරැද්දක් තව කෙනෙක්ට කියනවා. ඔන්න පස්සේ දෙන්නගේ ප්‍රශ්නේ විසඳිලා කිරි-පැණි වගේ ඉන්න ගන්නවා. හැබැයි අපි ප්රශ්නය කිව්ව කෙනා සැමියා බිරිඳ ගැන හිතේ ඇති කරගත්තු ආකල්පය නැති වෙන්නෙ නැහැ නේද? සැමියගේ බිරිඳගේ පුංචි පුංචි වැරදි තියෙන්න පුළුවන් තමයි. හැබැයි එහෙමයි කියලා කොයිම වෙලාවකවත් සැමියා/බිරිඳ ගැන වැරදි චිත්‍ර සමාජගත කරන්න එපා.
සමහර කාන්තාවන් කරන තවත් ලොකු වැරැද්දක් තමයි පිටස්තර අය එක්ක නැත්නම් රාජකාරි ස්ථානයේ අයත් එක්ක සැමියගේ වැරදි කියන එක. දැන් හිතන්නකෝ රාජකාරි ස්ථානයේ කෙනෙක්ට සැමියගේ වැරදි කියනවා. ඔය ප්‍රශ්න කටින් කට ගියොත් එතැනදි ඔයාගේ පෞද්ගලිකත්වයට වගේම රැකියාටවත් ඒක බලපාන්න පුළුවන්. අනික අවුල් තියෙන පවුල් හොය හොය ඒවා අස්සට රිංගන්න මාන බලන අනංගයෝත් මේ සමාජයේ ඉන්නවා කියන එක මතක තියාගන්න.
සැමියගේ බිරිඳගේ හදාගන්න බැරි වරදක් තියෙනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි ඔවුන්ව නිසි උපදේශනයකට යොමු කරන එක. උපදේශනයට යොමු කරපු නිසා මේ කියපු බිරිඳ සැමියගේ වැරදි අම්මලාට කියන එක නතර කළා. ඒ වගේම සැමියා එක්ක එකතු වෙලා ස්වාධීන විදියට අලුත් ජීවිතයක් පටන්ගත්තා. ඒ වගේම අම්මලා තාත්තාලාගේ හිත් නොරිද්දා ඔවුන්ට කරුණු කාරණා තේරුම් කරන්නත් මේ බිරිඳට පුළුවන් වුණා.
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි
සෙව්වන්දි හෙට්ටිආරච්චි