විශේෂාංග

මයිකල් ජැක්සන් එක්ක හොඳටම නටපු ලංකාවේ කෙල්ල

ඒ මීට හරියටම අවුරුදු විස්සකට කලින් එක දවසක්. අද වගේම එදත් ඇමෙරිකාවේ සුදු කළු වර්ගවාදය ලොකුවටම තිබුණා. ඒ කාලේ තමයි ඇමෙරිකාවේ ප්‍රධාන නගරයක් වෙන ලොස් ඇන්ජලිස් නුවර සුදු කළු ජාතිකයන් අතර වර්ගවාදී ගැටුමක් ඇතිවෙන්නේ. එදා එහි ප්‍රතිඵලය වුණේ සුදු ජාතිකයින් සිව්දෙනෙක් අතින් රොඩ්නි කින්ග් නම් කළු ජාතිකයෙකු ඝාතනය වීම. ඒත් සමඟම එරටේ වර්ගවාදී ගැටුම් දරුණු වුණා. හැබැයි ඒ හැම අවස්ථාවකදිම අසාධාරණය වුණේ කළු ජාතිකයින්ට. ඔවුන්ට ඒ සමයේ සුදු ජාතිකයින් අතින් බෝහෝ හිරිහැර සිදුවෙමින් තිබුණා.

මේ වර්ගවාදී ගැටුම් දිහා එක්තරා ජනප්‍රිය පුද්ගලයෙක් බලාගෙන හිටියා. ඒ තමයි යුගයක් වසඟ කළ ඇමෙරිකානු සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්. ඔහුට ඕනේ වුණා මේ ගැටුම්වලට තිත තියන්න. ඒකට ඔහු යොදාගත්තේ තමන්ට හොඳටම පුළුවන් සංගීතය. එහි ප්‍රතිඵලය වුණේ 1991 වසරේදී ජැක්සන්, ඇමෙරිකාවේ සුදු කළු වර්ගවාදය අළලා ගීතයක් නිර්මාණය කිරීම. ඒ තමයි ‘බ්ලැක් ඇන්ඩ් වයිට්’ (Black and White) කියන ගීතය. ඔහු එය නිර්මාණය කරන්නේම තමන්ගේ රටේ මිනිස්සු වෙනුවෙන්. ඒ ගීතය කොච්චර මිනිස්සු අතරට ගියාද කිව්වොත් දින කීපයක් ඇතුළත ඒක ලෝක ප්‍රසිද්ධ ගීතයක් වෙනවා. ඒත් වර්ගවාදී ගැටුම සම්පූර්ණයෙන් අවසන් කරන්න ඒ ගීතයට බැරිවෙනවා.

ඊටපස්සේ ජැක්සන් තීරණය කරනවා ‘බ්ලැක් ඇන්ඩ් වයිට්’ ගීතයට වීඩියෝවක් නිර්මාණය කරන්න. මොකද ඔහු හිතනවා රූප රාමු හරහා මිනිස්සුන්ට ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන් කියලා. අන්තිමේ ඔහු විවිධ රටවල නර්ථන ශිල්පීන් රැසක්ම යොදාගෙන ගීතයට වීඩියෝවක් හදන වැඩේට අතගහනවා. ඔහු ඒකට නර්ථන ශිල්පීන් තෝරගන්නේ කුසලතා පරීක්ෂණයකින්. ඒ වෙනකොට මයිකල් ජැක්සන් කිව්වොත් තරුණ තරුණියෝ පණ දෙන්න වුණත් ලෑස්තියි. ඒක නිසාමදෝ කුසලතා පරීක්ෂණයට තුන්දහසකට එහා පිරිසක් සහභාගි වෙනවා. ඔය පිරිස අතර හරි අපූරු තරුණියකුත් ඉන්නවා. ඇය ශ්‍රී ලාංකීය තරුණියක්. ඇයත් මයිකල් ජැක්සන්ගේ කුසලතා පරීක්ෂණයට යන්නේ තමන්ට අවස්ථාවක් ගන්න.

මොහොතකින් නර්ථන කුසලතා පරීක්ෂණය පටන් ගන්නවා. ඊළඟ අවස්ථාව තියෙන්නේ ශ්‍රී ලාංකීය තරුණියට. ඇගේ නර්ථනය දැකලා ජැක්සන්ට පුදුම හිතෙනවා. ඔහුට දෙපාරක් හිතන්න දෙයක් නෑ. කෙළින්ම ඔහු තීරණය කරනවා ‘බ්ලැක් ඇන්ඩ් වයිට්’ ගීතයේ වීඩියෝවට ඇයවත් අරගන්න. විවිධ නර්ථනාංග සහිත ඒ ගීතයේ ඉන්දීය නර්ථනාංගය වෙනුවෙන් තමයි ඇයව තෝරගන්නේ. දින කීපයකින් එන්නේ වීඩියෝව රූගත කරන දිනය. ඒක තියෙන්නේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර. අවසානේ පැය 14ක් පුරාවට ගීතයේ වීඩියෝව එළිමහනේ රූගත කරනවා. ගීතය එළිදක්වලා දින කීපයක් ඇතුළත ලෝකයේ ජනප්‍රියම ගීතයක් බවට එය පත්වෙනවා.

එදා මයිකල් ජැක්සන් එක්ක නර්ථනයේ යෙදුනු ශ්‍රී ලාංකීය තරුණිය තමයි එවකට නර්ථන ශිල්පිනියක් වූ යමුනා ශංගර්ශිවම්. ඇගේ පියා ශ්‍රී ලාංකික දමිළ ජාතිකයෙක්. එතකොට මව මැලේසියානු දමිළ ජාතික කාන්තාවක්. යමුනා ඉපදෙන්නේ ලංකාවේ. ඒත් ඇයට වයස අවුරුදු නවයක් වෙනකොට ඇගේ පියා ඔවුන් එක්ක ඇමෙරිකාවේ පදිංචියට යනවා. ජැක්සන් එක්ක නර්ථනයේ යෙදෙන්න ඇයට අවස්ථාව ලැබෙන්නේ ඇය එරට කැල්ෆෝනියා විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ. 1990 වසරේ යමුනා සංගීතය සහ පියානෝ වාදනය පිළිබඳ මුල් උපාධිය සම්පුර්ණ කරනවා. ඒ මිනසෝටා විශ්වවිද්‍යාලයෙන්. අනතුරුවයි ඇය 1992 වසරේ කැල්ෆෝනියා විශ්වවිද්‍යාලයෙන් නර්ථනය සහ මානව විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරන්නේ. 2000 වසරේ ඇය මානව විද්‍යාව අංශයෙන් දර්ශනපති උපාධියත් සම්පූර්ණ කරනවා. දැන් ඇය ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි නසරෙත් විශ්වවිද්‍යලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් බවයි ආරංචි.

රුවන් එස්.සෙනවිරත්න