ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනද?
ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කළාය. ඉතාම සුළු පිරිසක් ඒ අදහස සම්බන්ධව සුබවාදීව කතා කළ අතර වැඩි හරියක් ඊට විරෝධය පළකළහ. මේ අතරතුර අප මන්ත්‍රීවරියට කතා කළේ ගල් මුල් වදින බව දැන දැනත් එවැනි ප්‍රකාශයක් කිරීමට විශේෂ කරුණක් හේතු වූවාද යන වග සොයා බලන්නටයි. මේ ඇය සමඟින් කළ එම සංවාදයේ සටහනයි.
‘‘ලෝකයේ බොහෝ රටවල් මේ වෙද්දි ගණිකා වෘත්තිය නීතිගත කරලයි තියෙන්නේ. නමුත් අපේ රටේ තියෙන සංස්කෘතියත් එක්ක එකපාරම මේක කරන්න අමාරුයි. මම ඉන්නෙ මේ වෘත්තිය නීතිගත කරලා ඕනම කෙනෙකුට මේකෙන් මුදල් හම්බ කරගන්න දෙන්න කියන තැන නෙවෙයි. ඒ වගේම මේක නීතිගත කරලා වැඩි වැඩියෙන් කාන්තාවන්ව ඒකට යොමු කරන්න කියලත් නෙවෙයි මම කියන්නේ. ලිංගික ශ්‍රමය සපයන කාන්තාවන්ටත් යම් නීතිමය රැකවරණයක් තිබිය යුතුයි කියන එක.’’
ඇය කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම යන කාරණාවේදී තමන් අදටත් සිටින්නේ එදා සිටි ස්ථාවරයේම බවයි.
‘‘මොකද කෙනෙකුට තමන්ගේ ශාරීරික අවශ්‍යතාවන් සපුරගන්න තියන උවමනාවට සීමා දාන්න අපිට බෑ. නමුත් ඒ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ගියපු මිනිස්සුන්ට වඩා උසාවි පොලිසි ගානේ අසරණ වෙන්නෙ අර කාන්තාව. කැමැත්තෙන් ගණිකා වෘත්තියේ නියැලෙන එහෙම කාන්තාවො පොලිසියට ගිහිල්ලා දඩේ ගෙවාගන්න බැරි වුණාම අකමැත්තෙන් දූෂණයට ලක්වෙනවා. උසාවිවලදි දාහක් දෙනා ඉස්සරහ වාචිකවත් දුෂණයට ලක්වෙනවා.’’
මෙම වෘත්තියේ නියැලෙන වැඩි හරියක් දෙනා ස්වාමි පුරුෂයා අතහැර ගිය හෝ මියගිය අය බවයි ඇය කියන්නේ. එවැනි වටපිටාවකදී මව රිමාන්ඩ් බන්ධනාගාරගත වූ විට දරුවන්ගේ ආරක්ෂාව ගැනද ගැටලු මතුවිය හැකිය. එනිසා ඉතිහාසයේ පටන් පැවත එන මෙම වෘත්තිය නීතිගත කර ඔවුන්ව එම දුක්ඛිත තත්ත්වයෙන් මුදලා ගන්නවා හැර මෙය සහමුලින්ම නවතාලිය නොහැකි බවද ඇය කියන්නීය.
‘‘විශේෂයෙන්ම මේක නීතිගත කරහම මේ කාන්තාවන් සායනවලට යොමු කරලා සමාජ රෝග තියෙනවද කියලා පරීක්ෂා කරන්න පුළුවන්. අනික තමයි මේ අය මේ රැකියාව කරගෙන යන ආකාරය සොයා බලලා, අවශ්‍ය නම් උපදේශන සේවා ලබලා දීලා නිවැරදි මාර්ගයට අවතීර්ණ කරගන්නත් පුළුවන්. සමහරවිට ඒ උපදේශන සේවාවලින් දැනුවත් වෙද්දී බොහෝ අය මේ රැකියාව අතහැරලා දාලා යහමගට එන්න පුළුවන්. අන්න ඒ නිසයි මේකට නීතිමය රැකවරණයක් ලබලා දෙන්න අවශ්‍ය වෙන්නේ.’’
වෘත්තිය නීතිගත කළහොත් ගණිකාවක් ලෙසින් එළිපිට සමාජයට මූණදීමට බියක් ඇතිවී එනයින් බොහෝදුරට මෙම වෘත්තියේ නියැලෙන කාන්තාවන් අවම විය හැකි බව ඇගේ අදහසයි. එමෙන්ම ගණිකා වෘත්තිය නීතිගත නොකළ ජපානය වැනි රටවල්වල වුවද තම තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් ඉටු කරගැනීම සඳහා ඒ සඳහාම වෙන්වූ හෝටල් පවා ඇති බවයි ඇය අපට කීවේ.
‘‘මේ කියන්නේ අපේ රටත් එතැනට ගෙනියන්න ඕන කියලා නෙවෙයි. ඔවුන්වත්, ඔවුන්ගෙන් සමාජයත් රැකෙන විදියට යම් නීතිමය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා. මොකද මේ අය රහසිගතව, අපිරිසිදුව මේක කරන තරමට සමාජ ගැටලු වගේම සමාජ රෝගත් එන්න එන්නම වැඩි වෙනවා.’’
ඩයනා මන්ත්‍රීවරිය විසින් කංසා වගාව නීතිගත කිරීමට පාර්ලිමේන්තුවේදී හඬ නැගූ විට බොහෝදෙනා ඇයට කංසා බීමට අවශ්‍යව ඇති බවක් කීවාක් සේම, ගණිකා වාත්තිය නීතිගත කළ යුතු බව කියද්දී ඇතැමුන් තමන්වද ඒ තත්ත්වයට ඇද දමා කතා කරන බව ඇය කියන්නීය.
‘‘මොනවා වුණත් මට ලෙකු උවමනාවක් තියෙනවා මේ අදහස පාර්ලිමේන්තුව ඇතුළට ගේන්න. නමුත් තමන්ට තියෙන මනාප ටික අඩුවෙයි කියන බයට ගොඩක් අය මේකට සහයෝගය දක්වන්න ඉදිරියට එන්නෙ නෑ. මොන තත්ත්වයක් උදා වුණත් මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වටපිටාව මේ වෙනකොට මම ක්‍රම ක්‍රමයෙන් හදමින් ඉන්නවා. මොකද මේක අපි හැමෝම සානුකම්පිතව බලන්න ඕන ප්‍රශ්නයක්.’’
මෙවැනි වෘත්තියක යෙදෙන්නියන්ගේ ජීවිත ගැන බාහිරින් බලා තීරණ ගැනීමට අපහසු බැවින් එවැනි අයෙකු මුණගැසී කතාබහ කිරීමට අප සිතුවෙමු. පසුව අපට දන්න අඳුනන අයෙකු මාර්ගයෙන් එවැනි කාන්තාවක හා කතාබහ කිරීමට හැකියාව ලැබිණි. නමුත් ඇගේ පුද්ගලිකත්වය හෙළිකරීම සුදුසු නැති බැවින් නම් ගම් සඳහන් කිරීමක් නොකරමු.
‘‘කසාද බැඳපු මනුස්සයා මාව දාලා ගියේ දරුවා ලැබෙන්න ඉද්දි. එදා ඉඳලා මම මහපාරට වැටුණා. මම ගොඩක් ආසාවෙන් උඩ පැන පැන මේ රස්සාව කරන්නෙ නෑ. අද කාලේ හාල් කිලෝ එකක් ගන්නවත් බෑ රුපියල් සීයට දෙසීයට. හැබැයි ඒ වගේ ගණන්වලට නොදන්න පිරිමින්ව සන්තෝස කරලා ඇවිත් මම දාස් වාරයක් විඳවනවා. කොච්චර කිව්වත් අඩුම තරමේ ගෙදරක වැඩකාර රස්සාවක්වත් දෙන්නෙ නෑ. මොකද මේ රස්සාව කරපු නිසා එතන ගිහිල්ලත් පුරුද්දට වැරදි කරයි කියලා ඒ ගෙවල්වල මිනිස්සු බයයි. අනික ගොඩක් මිනිස්සු අපි වගේ අයව ළංකරගන්න බය සමාජ රෝග ඇති කියලා.’’
අප අසා සිටිද්දී ඇය එක හුස්මට කතා කළාය. ඒ කතා විලාසය කියාපෑවේ ඇයට අප සමඟ කතා කිරීමට තවත් බොහෝ දේ ඇති බවය.
‘‘පාරවල් ගානේ මේ රස්සාව කරන මං වගේ ගෑනු විනෝදෙට මේක කරන්නෙ නෑ කියලා මං දන්නවා. මමත් මේ රස්සාව කරන්නෙ බත් කටක් කාලා දරුවගෙ බඩ පුරවන්න. හැබැයි පොලිසි උසාවිවලට යන්න උනාමත් ඉතින් ලේසි වෙන්නෙ නෑ.’’
මෙම ලිපිය මගින් එම වෘත්තියේ නිරත කිසිඳු කාන්තාවක් සාධාරණීකරණය කිරීම අපේ අරමුණ නොවේ. නමුත් ගණිකා වෘත්තිය සම්පූර්ණයෙන් තහනම් කළ නොහැකි නම් එය විධිමත් ක්‍රමයකට සිදුකරගෙන යාමට එය නීතිගත කළ යුතුය යන අදහසට අපත් එකඟය.
ලිහිණි මධුෂිකා