විශේෂාංග

අත්වැරදීමකින් අතක් අහිමිවුණු අචලා දැන් නීතීඥවරියක්

දෝතම පා පිළිගන්නට බලාසිටි ලස්සනම සිහින ගොන්නක් විජේසිංහ කංකානම්ලාගේ අචලා ප්‍රියදාර්ශනීටද තිබිණි. ඇය ඒ වනවිට සිටියේ උත්සාහයෙන් ධෛර්යෙන් ආ ඉගෙනුම් මගේ එක්තරා සන්ධිස්ථානයකය. එනම් මතුයම් දිනක නීතීඥවරියක වීමේ සිහිනයට පියවරෙන් පියවර ළංවෙමිනි.

‘‘මම එතකොට නීති විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක්. අවසන් විභාගයට තිබුණෙත් මාස හතරක් පහක් වගේ. මම හොස්ටල් එකේ නැවතිලයි හිටියේ. ඔය අතරේ වෙලාවක් ලැබුණ ගමන් මාතර ඌරුබොක්ක මගේ ගමේ අම්මා, තාත්තා, අයියා බලන්න එනවා. ඒ ඇවිත් ඉන්න දවසක මාව ගෙදර පඩිපෙළෙන් ලිස්සලා වැටිලා වැලමිටේ අස්ථී බිඳීමක් වුණා. ඒ වෙලාවේ ගෙදර අය මාව මාතර මහ රෝහලට අරගෙන ගියා.’’

මේ සිදුවීම වන්නේ 2013 ජනවාරි මාසයේ දිනකය. ඒ මොහොත සිහිපත් වෙද්දී ඒ දැනුණ වේදනාව කොතරම් වුවත් අත නැතිව ගෙදර එන්නට වේ යැයි ඕ සිහිනෙන්වත් සිතුවේ නැත. එහෙත් අතපසුවීම් බොහොමයක් සිදුවෙමින් තිබුණි. රෝහලේදී බදාම ප්ලාස්ටරය දැමූ විට ඇයගේ අත දැඩිව වේදනා දෙද්දී ඒ බව වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට කිව්වද ඔවුන්ගේ පිළිතුර වූයේ ‘‘ඔහොම රිදෙනවා තමයි කාටත්’’ යන්න පමණි.

‘‘මට ඒ වේදනාව දරාගන්නම බැහැ. මට තේරුණා ඒ ප්ලාස්ටරය තද වැඩියි කියලා. මම ඇඬුවා. වේදනාවෙන් කෑගැහුවා. අත රිදෙනවා කිව්වත් එයාලා ලොකුවට ගත්තේ නෑ. ඊටපස්සේ මට එන්නතක් දුන්නා නින්ද යන්න. මම ඒ වෙනකොට හිටියේ පියවි තත්ත්වයක නෙවෙයි. ඒ තරමට වේදනාව උත්සන්න වෙලා තිබුණේ. පස්​සේ ප්ලාස්ටරය ටිකක් කපලා ඉවත් කළා ඇඟිලි හරියෙන්. එදා හවස් වෙද්දි අත නිල් වුණා. එතකොට තමයි තේරුණේ කොතනහරි එයාලට වැරදුණා කියලා.’’

අචලා අතීත මතකය අලුත් කළේ එදා ඒ දැනුණ වේදනාවේ තවමත් නොමැකි මතක අතරිනි. ඇයව එදිනම කරාපිටිය රෝහලට මාරු කර හැරියද රෝහල ඇයව භාරගත්තේ නැත. අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇයව ඇතුළත් කරගත්තද අතට වෙන්නට වූ හානියෙන් බාගයක්ම ඒ වනවිට වී අවසන්ය. එහිදී බදාම ප්ලාස්ටරය කපා ඉවත් කළ අතර, අත පලා මාංශපේෂි ලිහිල් කිරීම ඊළඟ පියවර වී තිබුණි. එහෙත් සියල්ල ව්‍යර්ථ කරමින්, සිදුවිය හැකි නරකම දේට මුහුණ දෙන්නට අචලාට සිදුවිය. ඒ ඇයගේ අත වැලමිටෙන් කපා ඉවත්කිරීම හැර වෙන විකල්පයක් නොවුණි.

‘‘අත් දෙකම ඇතිව ඉපදිලා, ඒ විදියට එක අතක් අහිමි වෙනවා කියන්නේ ඒක දරාගන්න අමාරුයි. කාලයක් මට මාව කණ්ණාඩියෙන් බලන්න බැරි වුණා. මානසිකව මම හොඳටම කඩා වැටුණා. වමතින් ලියන්න හුරුවෙලා හිටපු මට ලෙක්චර්ස්වලට ගිහින් ලියන්නේ කොහොමද කියලා හිතලා හඬා වැටුණු වාර අනන්තයි. විභාගයට තිබුණෙත් මාස කිහිපයයි. ඒත් කාලයක් යද්දි මම හිත හදාගන්න මහන්සි ගත්තා.’’

එය හිත හදාගැනීමකටත් එහා හිත හයිය කරගැනීමකි. ඇය කියනා පරිදි ඊට සවියක් වන්නට ඇයට කල්‍යාණ මිත්‍ර සම්පත්තියද අඩුවක් නැතිවම ලැබුණි. අකුරක් ලියාගත නොහැකිව සිටියදී ඇය ළඟ තනි රකිමින්ද, සටහන් ගෙන දෙමින්ද යෙහෙළියෝ ඇගේ හිත හදන්නට එදා කටයුතු කළේ දයාබරත්වයෙනි. කලක් නාවින්නේ නැවතී සිටියද යළි හොස්ටල් එකටම ආවේ ජීවිතය සවිකොට ගැනීම කෙසේ හෝ කළ යුතුම වූ බැවිනි.

‘‘ඇත්තටම යාළුවෝ වගේම එවකට මගේ පෙම්වතා වුණු, අද මගේ සැමියා වන ප්‍රේශා එදා මගේ ළඟ ඉඳන් මගේ හිත හදපු හැටි හරිම පුදුමයි. ඔහු නාවික හමුදාවේ කළ රැකියාවෙනුත් ඉවත් වෙලා මං වෙනුවෙන් කැපවුණා. ඒ ආදරය සෙනෙහස ඇතුළු යහළු යෙහෙළියෝ, මගේ ගෙදර අය තමයි මගේ ජීවිතයට සවියක් ගෙනාවේ.’’

ඒ සවිය නිසාම ඇය පසුකලෙක නීතීඥවරියක වීමේ සිහිනය ජයගත්තාය. එහෙත් ඒ මග ලෙහෙසි නොවුණි.

‘‘ඇත්තටම ප්‍රැක්ටිස් කරන දවස්වල හිතින් හරියට කඩා වැටුණා. හදාගෙන හිටපු හිත බින්දුවටම වැටුණා කිව්වොත් හරි. එක අතක් තියන් ප්‍රැක්ටිස් කරලා කොහොම නඩු කතා කරන්නද කියනවා වගේ තමයි මිනිස්සුන්ගේ ඇස්වල තිබුණු හැඟීම. ඒත් ඒවා මම දරාගත්තා. කෘත්‍රිම අතක් දැම්මත්, ඒ දාද්දිම කිව්වා, ශරීර බර වෙනස් වුණොත් අත දැම්මට වැඩක් වෙන්නෑ කියලා. පසුව මම ටිකක් මහත් වුණා. එතකොට කෘත්‍රිම අත ඉවත් කරන්න වුණා. පස්සේ ෂෝල් එකක් දාලා තමයි මම අදත් බාහිර සමාජයට යන්නේ.’’

2016 වසරේ සිට ඇයට පෞද්ගලික මූල්‍ය ආයතනයක නීති කටයුතු භාර නිලධාරිනියක ලෙස කටයුතු කරන්නට ලැබුණද කොරෝනා හමුවේ 2020දී ඇයට එම රැකියාව අහිමිව ගියාය.

‘‘එදා මට ඒ රැකියාව ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් තිබුණේ නෑ. ඒත් මම සම්මුඛ පරීක්ෂණයෙන් තේරුණා. ඒ ආයතනයේ ප්‍රධානියෙක් මේ බලන්න එක අතක් නැතිව වැඩ කරන හැටි කියලා, එක අතක් පිටුපසට තියාගෙන වැඩ කරන හැටි පෙන්නුවා. ඇත්තටම මනසින් වැටිලා හිටිය මට එය ලොකු ශක්තියක් වුණා. ඒ ආයතනයේ සියලු දෙනාම ගොඩක් හොඳ විදියට මට සැළකුවා. තවත් තැනකදී මගේ කනටම ඇහිලා තියෙනවා මේ තියෙන වැඩවල හැටියට අතක් නැති කෙනෙක් ආවොත් කොහොම හිටීවිද කියලා කතා වෙනවා.’’

මේ සියල්ල මැද කාලය අවුරුදු කිහිපයක් පියඹා ගොස් තිබේ. රෝහලේ නොසැළකිල්ල නිසා ශල්‍යකර්මයක් අතරතුර අතේ කොටසක් අහිමිවීම හේතුවෙන් වන්දි ඉල්ලා නඩු මගට බසින්නටද අචලා ඇතුළු පවුලේ ඥාතීන්ට සිදුවිය. ඒ අනුව ඇය කොළඹ දිසා අධිකරණයේ නඩු පවරන්නේ 2014 වසරේදීය. ඒ මිලියන සියයක වන්දියක් ඉල්ලමිනි. වසර කිහිපයක් එම නඩුව ඇදීගිය අතර දෙවසරකට පෙර එය සමථයකට පත් කරමින් රුපියල් ලක්ෂ හැත්තෑවක වන්දි මුදලක් ලබාදීමට එකඟව ඇත. ලේඛගත නීතීඥ ජී.ජී.අරුල් ප්‍රකාශම් මහතා ඇයගේ නඩු කටයුත්ත වෙනුවෙන් පෙනී සිට ඇත්තේ කිසිඳු මුදලක් අය නොකරමින් බවද ඇය කෘතවේදීව සිහි කළාය. එමෙන්ම අධිනීතීඥ රොමේෂ් ඩී. සිල්වා මහතාවද ඇය සිහිකළේ ගෞරවයෙනි.

‘‘මේ නඩුව සමථයකට පත්වෙලා නම් වසර දෙකක කාලයක් වෙනවා. ඒ දවස්වල කිව්වා, කැබිනට් පත්‍රිකාවක් දාලා අනුමැතිය අරන් (සෞඛ්‍ය අමාත්‍යංශය මගින්) වන්දි මුදල ලබාදෙන්න කටයුතු කරනවා කියලා. ඒත් කාලයක් ඒ ගැන මුකුත්ම කතාවක් තිබුණේ නෑ. පසුගියදා මාධ්‍යයෙන් දැක්කා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න නියමිතයි කියලා.’’

නීතීඥ අචලා ප්‍රියදර්ශනී කියන්නීය.

ඇය දැනට රැකියා කිහිපයකට ඉල්ලුම් කර ඇතත්, තවමත් ඊට හොඳ ප්‍රතිචාර ලැබී නැත. තම වම් අත අහිමිවීමෙන් ඇයට නොයෙකුත් දුෂ්කරතා විඳින්නට සිදුවිය. වෘත්තීය ජීවිතයේදීත්, බාහිර රූපය සැළකීමේදීත් මානසික බිඳවැටීම්වලට නොයෙක්වර ලක්වූවාය. සෞඛ්‍ය අමාත්‍යංශය ඇයට ලක්ෂ හැත්තෑවක වන්දියක් ලබාදීමට තීරණය කරන්නේ මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමිනි. එය කඩිනමින් ලබාදීම නම් ඇයට සහනයක් වනු නොඅනුමානය.

ඒ වාගේම උපතින් ආබාධිත හෝ පසුව අනතුරක් හේතුවෙන් ආබාධිත වන පුද්ගලයින් දෙස සමාජය බලන බැල්ම, ආකල්ප වෙනස් විය යුතු බව ඇය කියන්නීය.

‘‘ඇත්තටම ආබාධිත හැම කෙනෙක් වෙනුවෙන්ම මම එක දෙයක් ඉල්ලනවා. මට මතකයි මම ගොඩක්වෙලාවට ඇඬුවේ මගේ ආබාධිත අත නිසා නෙවෙයි. මිනිස්සු ඒ දිහා බලන වෙනස් විදිය නිසයි. සමහර වෙලාවට එයාලා කියන වචන දරාගන්න බෑ. ඇත්තටම අපි වගේ අයට අනුකම්පාව එපා. අවස්ථාව දෙන්න. මම ෂෝල් එක දාගෙන අත වහන් යන්නේ ඒ වෙනස් සැළකිල්ල දරාගන්න බැරි අවස්ථා තියෙන නිසයි. ඒත් මම දන්නවා මගේ හිත දැන් ශක්තිමත්.’’

ඇය කියන්නීය.

මනුස්සකම් පිරුණු ලෝකයක ලස්සන ඇගේ හදවත සොයන්නීය. ධනාත්මකව හිතන්නට කැමති ඇය, සැවොම එසේ සිතනවා නම් හිත නොරිදෙනා බවද කියන්නීය. සැබෑවටම අතීතයේ නොව ඈ බලාපොරොත්තු වන්නේ වර්තමානයේ හිඳ අනාගතය දෙස වඩාත් සුබවාදීව බලන්නටය.

දීපා වසන්ති එදිරිසිංහ