මමයි මගේ බිරිඳයි ලංකාවෙ ඉඳගෙන ඉන්දික කියපු හැම දේවාලෙකටම ගියා
‘‘මම තීරණයක් ගත්තා. මට තවත් ඔයා එක්ක ජීවත් වෙන්න බැහැ. දරුවෝ ඔයා ළඟ තියන්නත් මං කැමති නෑ.’’
ක්‍රිස්ටිලිගේ වදන් ඇසෙද්දී ඉන්දික ඈ දෙස බලා සිටියේ පුදුමයෙනි. මීට වසර හත අටකට උඩදී දෙසවනට මිහිරි මී පැණි මෙන් වදන් තෙපලූ ආදරණීය බිරිඳ හොඳටෝම වෙනස්ව ගොසිනි.
‘‘අපි මේ ගැන කතා කරමු. ඔයයි දරුවෝ දෙන්නයි නැති ජීවිතයක් නම් මට නැහැ.’’
‘‘තව කතා කරන්න දෙයක් නැහැ. ඔයා එන්න එන්නම කරන්නේ අවුල් වැඩ…’’
ක්‍රිස්ටිලි කියද්දී ඉන්දිකට සිතුණේ මේ තීරණය ඇය තනිවම ගත් එකක් නොවන බවය. පවුලේ පුංචි පුංචි ප්‍රශ්න නැන්දම්මාගේ අතපෙවීම් නිසා දුරදිග ගිය අවස්ථා ඕනෑතරම් තිබුණි. මේ තීරණය පිටුපස සිටින්නේද ඇය යැයි ඉන්දික විශ්වාස කළේය.
‘‘මට අපි හතරදෙනා එකට ජීවත්වෙන එක තරම් මොකුත් වටින්නේ නැහැ ක්‍රිස්ටිලි… අපේ පවුල ආරක්ෂා වෙන්න ඕන.’’
ඉන්දික එසේ කීවත් ඒ හඬ අසන්නට ඇය ඔහු සමීපයේ නොවීය. දෙවසරක් පමණ තිස්සේ ඇදි ඇදී ගිය මත ගැටුම් ඔවුන්ගේ විවාහ දිවිය අවසන් කරන කඩඉමටම පැමිණ තිබුණේය.
මෙම තීන්දුව ඔවුන්ගේ සය හැවිරිදි පුත් කොවන් රාහුල් ගුණතිලකටත්, සිව් හැවිරිදි දියණී ලිලී ඉනායා ගුණතිලකටත් තදින්ම බලපෑවේය. උසාවි තීන්දුව ලැබෙනතෙක් ඉන්දික, ක්‍රිස්ටිලි හා දරු දෙදෙනා ජීවත්වූයේ ඔස්ට්‍රේලියාවේ පර්ත්, හන්ටිල්ඩේල් නගරයේ පිහිටි නිවසකය. දරු දෙදෙනාගේ සුරතලය මැද පිරී තිබුණු ඉන්දිකගේ ජීවිතය මේ වෙන්වීමත් සමඟ කඩා වැටුණේය. ඔහු ගායකයෙකු, ව්‍යාපාරිකයෙකු මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙසද නමක් දරා සිටි අයෙකි. ඒ අතරතුර තමන් විශාදයෙන් පෙලෙන බවත්, ඊට ප්‍රතිකාර ගන්නා බවත්, තමන්ට ආ ප්‍රශ්න ගැටලු ගැනත් ඔහු වීඩියෝ නිකුත් කරමින් ප්‍රසිද්ධියේ කතා කළේය. පසුව තමා දැන් හොඳින් බවද, එවැනි තත්ත්වයට පත්වූවන්ට ඇහුම්කන් දිය යුතු බවද ඔහු පුන පුනා කී අවස්ථා තිබුණි. ඔහු එසේ කතා කළත්, තනිවන බොහෝ අවස්ථාවල පරණ මානසිකත්වයට ඇද වැටුණේය. නිවැරදි මානසික උපදේශනයක් ලබනවාට වඩා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැනද අවසානයේ ඔහු විශ්වාස කළේය. ලංකාවේ දේවාල, පන්සල්, කෝවිල්වලටද භාරහාර වූයේය. ඒ ලංකාවේ සිටින මිතුරකු මාර්ගයෙනි. ඉන්දිකට ඕනෑවූයේ සිඟිති දරු දෙදෙනා හා ක්‍රිස්ටිලි සමඟ එක වහලක් යට පෙර පරිදි සතුටින් ජීවත් වීමට බව ‘ධරණී’ හා අදහස් දැක්වූ ඔහුගේ මිතුරා අපට කීවේය.
‘‘මම ඉන්දිකව දන්නේ අවුරුදු විසිගාණක ඉඳලයි. ඒ අතරේ අවුරුදු දොළහක් තිස්සේ දුක සැප කියාගන්න තරම් මිතුරුකමක් අපි අතර තිබුණා. එයාගේ පවුලේ ප්‍රශ්න වැඩිවෙන්න බිරිඳගේ මව මුල්වුණු බව තමයි කිව්වේ. ඇය මුල සිටම මේ විවාහයට අකමැති වෙලා තියෙනවා. පොඩි ප්‍රශ්නෙකදි ඒ දෙන්නා බහින්බස් වුණත් මවගේ මැදිහත් වීම එක්ක ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා නතර වෙනවා කියලා ඔහු කිව්වා. උසාවියෙනුත් තමන්ට අසාධාරණයක් වුණා කියලයි ඔහු කිව්වේ. දරුවන්ට වගේම මම නෝනට ගොඩක් ආදරෙයි. ඒක බොහොම අවංක ආදරයක් කියලා කිව්වා. ඔය අතරේ ඔහු ගුප්ත දේවල්වල පිහිටත් පැතුවා. මමයි, මගේ බිරිඳයි ඔහු කියන දේවාලවලට ගියා. කපුවෝ සල්ලි ගන්නවා විතරයි. ඒ වැඩේ සාර්ථක දෙයක් නොවන බව මම ඔහුට නිතර කිව්වා. ඔස්ට්‍රේලියාවේ ඉන්න අපේ තව යාළුවෙකුටත් එයාගේ ප්‍රශ්නේ කියලා, මෙයා මොනවහරි දෙයක් කරගන්න ඉඩ තියෙනවා ඒ ගැන බලන්න කිව්වා. ඒත් ඉන්දික එහෙම කරගන්න එකක් නෑ කියලයි ඒ මිතුරත් කිව්වේ. ඒ ඇරෙන්න ඉන්දිකගේ පවුලේ වෙන කා සමඟවත් මේ ගැන කතා කරන්න ඉඩක් ලැබුණේ නැහැ. මට මේ සිදුවීම කම්පනයක්. ඒ වගේම ඔහුට නිසි උපදේශනයක් ලැබුණේ නෑ වගේම ඇහුම්කන් දීමක් වුණේ නෑ.’’
ඒ මිතුරාගේ අදහසයි. ඉන්දිකම කියූ පරිදි ඔහු මනසින් වැටුණු අයෙකි. ක්‍රිස්ටිලි උසාවියට කරුණු දක්වද්දී කීවේද ඉන්දික නාර්සිසිස්ට් නම් මානසික රෝග තත්ත්වයෙන් පෙළෙන බවයි. එවැනි රෝගියෙකු තමා අවට සිටින අයගේ මානසික තත්ත්වයන් නොසලකන බවත් ඇය පෙන්වා දී තිබුණි. එමෙන්ම ඔවුන්ගේ හැසිරීම ආකර්ශණීය බවද ඍණාත්මක සිතිවිලි නොපෙන්වන බවද එහි සඳහන්ය. මෙහිදී ක්‍රිස්ටිලි අධිකරණයට කියා තිබුණේ එවැනි මානසිකත්වයක් ඇති අයෙකු හා පවුල් ජීවිතයක් ගෙවීම අසීරු මෙන්ම දරුවන් ඔහුගේ භාරකාරත්වයේ තැබීම අනතුරුදායක බවයි.
මේ අයුරින් දින ගෙවෙද්දී ඉන්දික මිතුරාට ඇමතුමක් ගත්තේය. ’’මම තව දවස් හතළිහයි ජීවත් වෙන්නේ. ඊට කලින් පුළුවන්නම් මාව බේරගන්න.’’ ඉන්දික කියා තිබූ දින තිස් ගණනක් ගෙවෙද්දී ලංකාවේ මිතුරාගේ හිතද ඉන් කලබල වූවේය.
ඒ වනවිට ක්‍රිස්ටිලි බලාපොරොත්තු වූ ඉන්දික බලාපොරොත්තු නොවූ ඒ තීන්දුව බටහිර ඔස්ට්‍රේලියානු පවුල් අධිකරණය මගින් ලබාදී තිබුණි. ඇයට විශාල වන්දි මුදලක් ගෙවන්නට ඔහුට සිදුවිය. දරුවන් තමා සමීපයට ගැනීම නීතිය තුළින්ම කරන්නටද ඇයට ඕනෑ විය. මේ අතර ඉන්දිකට තවත් බයක් තිබුණේය. ඒ දරුවන්ගේ අයිතිය බිරිඳට ලැබුණහොත් ඔවුන්ගෙන් හැමදාටම ඈත්වන්නට වන බවයි. ඇතැම් දේ ඔහුගේම මනස තුළ ඇඳුණු විශ්වාසයන්ය. ඔහුගේම තර්ක හා දුර්වල මානසිකත්වය ඔහු අඳුරටම තල්ලු කර හරිමින් තිබුණා විය හැකිය.
ඒ අවාසනාවන්ත දිනය උදාවීමට පෙර දින ඔහු මුහුණුපොතේ හඳුනාගැනීමේ පින්තූරයද වෙනස් කළේය. ඒ දරු දෙදෙනා අතින් අල්ලාගෙන මුහුදු වෙරළක සිටින ඡායාරූපයකි.
පසුදා වනවිට දරුවන් නීත්‍යානුකූලව ක්‍රිස්ටිලිට ලැබෙන වගද ඉන්දික දැනසිටි බව කියැවේ. ඔහු අවසන් වතාවට දරුවන් නිවසට රැගෙන ආ පසු ඔවුන් හා සතුටින් ඉන්නට උත්සාහ කළත් දරුවන් සොයා ඇත්තේ අම්මාවයි. ඒ පියාගේ වෙනසක් ඒ පුංචි හිත්වලට දැනුණ නිසාද, නැතිනම් ඉන්දික සිතූ පරිදි ඒ ක්‍රිස්ටිලිගේ ඉගැන්නුම් බහක් නිසාදැයි කියන්නට කිසිවකුත් දන්නේ නැත.
කෙසේ නමුත් සියල්ලන්ටම රහසේ ඒ අවාසනාවන්ත තත්ත්පර කිහිපය ගෙවී ගොස් තිබුණි.
ක්‍රිස්ටිලි බලා සිටියේ ඉන්දික දරු දෙදෙනා තමන්ට ගෙනැවිත් බාරදෙන තුරුය. කිව් වේලාව ඉක්මවා තිබුණෙන් ඇය තරමක් කලබල වූවාය. නිවස අසළට ගියද හැලහොල්මනක් නොවීය. ඇය, ඥාතියෙකු මගින් පොලිසියට මේ බව කියන්නේ හිතේ ඇතිවූ බිය නිසාය.
මෙලොව මවකට, පියෙකුට පමණක් නොව හදවතක් ඇති කිසිවෙකුට දරාගත නොහැකි කම්පනයක් ගෙනෙන දසුන් පෙළකි. මලක්වන් පුංචි ලිලීත්, සා පැටවෙකු වන් කොවන් පුතුත් ලේ විලක් මැද ඇඳ මත නිසලව සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබුණි. ඉන්දිකගේ සිරුර තිබුණේ ගරාජයේය.
ක්‍රිස්ටිලි මේ සියල්ල දැක වැළපෙනු පෙනුණි. ලොව බොහෝදෙනෙක් ඉන්දිකට දොස් කීවෝය. තවමත් දොස් කියති. ඔහු මනසින් කොතැන උන්නද ක්‍රිස්ටිලිට ආදරේ බව ඔප්පුකොට පෙන්වන්නටත්, ඇයව රිදවන්නටත් ඕනෑ වී තිබුණා විය හැකිය. කොතැන කොහොමින් වැරදීම් සිදුවුවද, ඒවා මහා ගින්නක්ව දැන් ජීවිත තුනක් අහිමිකොට තිබේ. ජීවිතයෙන් වන්දි ගෙවන්නට තරම් පුංචි පැටවුන් දෙදෙනා වරදක් කර නැත. ලෝකයට මෙය තවත් එක් සිදුවීමක් ලෙස කලකදී අමතකව යන නමුත් ක්‍රිස්ටිලිට තම ලස්සන දරු පැටවුන් දෙදෙනා ගැන මතක ජීවිත කාලය පුරාවටම රිදුම් දෙනු ඇත.
දීපා වසන්ති එදිරිසිංහ