‘අම්මා’ මළ කරදරයක් කියලා දරුවන්ට දැනෙන්න දෙන්න එපා
මේ දවස්වල ඉස්සර කළා වගේ උදේට මම කෑම පෙට්ටි හතරක් හදන්නෙ නෑ. එකයි හදන්නේ. ඒ අයාන් පුතාගේ. නතාරීටයි ඔවින්යාටයි දවල් කෑම ඉස්කෝලෙන් ලැබෙනවා. දහම් work from home නිසා එයාටත් කෑම පෙට්ටියක් හදන්න ඕන වෙන්නෙ නෑ. උදේට අක්කලා දෙන්නයි මල්ලියි ගෙදරින් කෑම කාලයි ඉස්කෝලේ යන්නේ. ඉතින් මං එයාලගෙන් අහනවා මොනාද කන්න ආස කියලා. එක්කෙනෙක් ටෝස්ට් කරපු පාන් ඉල්ලනවා. අනික් කෙනා පෑන්කේක් ඉල්ලනවා. චූටි පුතා බිත්තර දාලා හදන බත් ඉල්ලනවා. ඉතින් මං එකකටවත් බෑ කියන්නෙ නැතිව හා කියනවා. එතකොට නතාරී දූ ආපහු කියනවා, මන්ඩේ ටෝස්ට් බ්‍රෙඩ්, ටියුස්ඩේ කෝනෆ්ලෙක්ස්, ඊගාව දවසට පෑන්කේක්, ඊට පහුවදා බිත්තර බත්, සිකුරාදාට චොකලට් කෝර්න්ෆ්ලෙක්ස් කියලා. එකම දවසේ එයාලා තුන්දෙනාට ජාති තුනක් හදලා දෙන්න අමාරු නිසාලු එහෙම කිව්වේ. මේක අක්කයි නංගියි කතා වෙලයි මට කිව්වේ. මල්ලි තාම ඒවට හවුල් වෙනවා අඩුයි. මං එවලේ දෙන්නාගේ කරුණාවන්ත හැඟීමට ගොඩක් ස්තුති කරලා දෙන්නාවම බදාගෙන ඉම්බා. මං මේ දේවල් දරුවන්ට බලෙන් උගන්නපුවා නෙවෙයි, දෙමව්පියෝ විදියට අපි එයාලට දෙන අත්දැකීම්වලින් එයාලම ඉගෙනගත්තුවා. දරුවන්ට වචනෙන් දේවල් කියලා දෙනවට වඩා ක්‍රියාවෙන් කියලා දෙන දේ ගොඩක් ඉක්මණට ඉගෙන ගන්නවා කියලා මං තේරුම්ගත්ත එක සිද්ධියක් තමයි ඒ.
දැන් මං මේ කියන අනික් සිද්ධිය තමයි වැදගත්ම. මගේ දෙවනි දූ ඔවින්යාගේ සමහර දවස් තියෙනවා එයා ඇහැරෙන්නෙත් අඬාගෙන, නිදියන්නෙත් අඬාගෙන. අඬන්න පටන්ගන්නේ එක හේතුවකින්. ඒත් ඒ ඇඬිල්ල වැඩිවෙන්න වෙන වෙන හේතු එයා හොයා ගන්නවා.
ඉස්සරම ඔවී දූ පෙරපාසල් යන කාලෙත් එහෙමයි. අඬාගෙනමයි ඇහැරෙන්නේ. ඉතින් මට හරිම කේන්තියි. බණිනවා මදිවට මං ගහලත් තියෙනවා. හේතුවක් නැතුව ඇයි මේ අඬන්නේ කියලා මට තේරුණේ නෑ. ඒත් ආයෙම දවසක් එයා අඬද්දී මං එයාව තුරුල් කරන් ආදරෙන් ඉඹලා එයාගෙන් අඬන හේතු ඇහුවා. මොනවද මිමිණුවා මටවත් තේරුණේ නෑ. එදා දවසම මං කළේ එයාට වැඩි අවධානයක් දීලා ඉඳපු එක. මං කරන හැම වැඩකටම පුංචියට හරි එයාව හවුල් කරගත්තා. එයා හවුල් කරගන්න වැඩේ කරලා ඉවර වුණාම ඔවී දූට ස්තුති කරලා, එයා නිසයි මට ඒ වැඩ පහසු වුණේ කියලා තුරුල් කරගෙන කිව්වා. එයාට ඒකට හරි සතුටුයි. ඇඬිල්ලත් මතක නෑ. මට තේරුණා, ඔවීට දැනෙන්නම ආදරේ ඕනේ කියලා. අපි දරුවන්ට කොච්චර ආදරේ වුණත් අපි ඒක පෙන්නන විදිය එයාලට දැනෙනවා මදි වෙන්න පුළුවන්. ඉතින් එදා ඉඳන් ඔවී අඬාගෙන ඇහැරෙන කිසිම දවසක මං කෙන්ති ගත්තේ නෑ. ඔවී කියන්නේ පුංචි දරුවෙක්. පොඩි දරුවන්ට අඬන්න හේතු ඕන නෑ. එයාලා අඬද්දී කේන්ති අරන් එයාගේ මූඩ් එක තව අවුල් කරන්නෙ නැතුව ආදරෙන්ම ඇඬිල්ල අමතක කරවන්න ඕන කියලා මං තේරුම්ගත්තා. එදා මම අම්මා කෙනෙක් විදියට වටිනම දෙයක් තේරුම්ගත්තා.
මං එදා ඕක දහම්ටත් කිව්වා. දහම් මට කිව්වේ, ‘‘රෝසී ඔයා ඕක ගැන කියපු එකම හොඳයි. මාත් ඔයාට කියන්නමයි හිටියේ. මං දන්නවා උදේට වැඩ වැඩි නිසා ඔයාට අමාරුයි කෙන්ති යනවා කියලා. ඔයා කේන්ති ගියාම පොඩි අයට කෑගහනවා බණිනවා. ඒත් එහෙම කරන්න එපා. එතකොට එයාලාගේ මූඩ් අප්සට් යනවා. ඒ අප්සට් මූඩ් එකෙන් ඉස්කෝලෙට යන්නේ. ‘අම්මා කියන්නේ මලකරදරයක්’ කියලා එයාලට හිතෙයි. මේ අපේ දරුවෝ, මං කැමති නෑ අපේ දරුවන්ට ඔයා ගැන එහෙම හිතෙනවට. ඔයා විතරක් නෙවෙයි තාත්තා විදියට මාත් ෆේල්. එහෙම වුණොත් එයාලාව හැපි මූඩ් එකෙන් ඉස්කෝලේට පිටත් කරන්න. එතකොටයි වටින්නේ. ඔයා ඒ ගොල්ලෝ ආස දේවල් කන්න හදලා දීලා එයාලාගේ පොඩි දේකටත් ලොකු කේන්තියක් අරන් බැන්නාම අර කරපු ඔක්කොම ඉවරයි. ඒ නිසා කේන්තිය අඩු කරගෙන ආදරේ වැඩිපුර දෙන්න.’’
දහම් එදා කිව්ව දේ මගේ හිතට වැදුනා ගොඩක්. මාත් මගේ කේන්තිය පාලනය කරගත්තා. ඒකෙන් පොඩි අයට විතරක් නෙවෙයි මටත් හිතට ලොකු සැහැල්ලුවක් දැනුණා. එදා ඉඳන් අද වෙනකන් මං දරුවෝ ඇහැරවන්නේ එයාලාගේ මූණු ඉඹලා.
ඉතින් මේ ගෙවුණු සුමානේ දවසකත් ඔවී දූ ඇහැරුණේ අඬාගෙන. තුරුල් කරගෙන හේතු ඇහුවාම කිව්වෙ බෑඩ් ඩ්‍රීම් එකක් කියලා. ආපහු විනාඩියකින්, එයාට තනියෙන් ඇඟ සෝදන්න දෙන්නේ නෑ නතාරිට දෙනවා කියලා ඇඬුවා. පස්සේ මං එයාට තනියෙන්ම ඇඟ සෝදගන්න දුන්නා. ඇඟත් පිහදන් ආවාම කාමරේට එක්කන් ගිහින් ක්‍රීම් ගාලා ඇඳුම් අඳින්න දුන්නා. අඳිනකල් එයා දිහා බලන් හිටියා. එවලෙට මගේ දිහා බලන් හිනාවෙනවා. මං ඇඳෙන් ඉඳගත්තෙම ඒ හිනාවට හිනාවක් දීගෙනම ඔන්න එතකොටම ආයේ මාව බදාගෙන ඉඹලා “Mama looks so happy” කියලා කිව්වා.
මං හිනාවුණාම ඔවීගේ පුරුද්දක් තියෙනවා මාව බදාගෙන “Mama looks so happy” කියලා ඉඹිනවා. ඔවීගේ මේ වැඩේ අපේ ගෙදර අයට සාමාන්‍ය දෙයක්. ඒත් මට ඒක මගේ දවස විශේෂ කරන, මට සතුටු වෙන්න හේතු දෙන ලොකු දෙයක්.
මං පස්සේ ඔවීව තුරුල් කරන්ම ‘‘ඔවී චන් ආසයිනේ මමා හිනාවෙලා ඉන්නවාට?’’ කියලා ඇහුවාම ඔවී දූ ‘‘ඔව්’’ කියලා ඔලුව වැනුවා. ආපහු මං කිව්වා ‘‘මාත් ආස ඔවී චන් හිනාවෙලා ඉන්නවාට. එතකොට මමාටත් හැපී’’ කියලා. එවලේ ඔවී දූගේ හිනාව මූණෙන් එකයි. ආපහු මං ඇහුවා ‘‘උදේට අඬන එක බෑඩ් හැබිට් එකක් නේ. ඔවි චන් ආසද උදේට මමා අඬනවට?’’ කියලා. එහෙම අහද්දී ‘‘නෑ’’ කිව්වේ ඔලුවත් දෙපැත්තට වනලා. ‘‘ඒකනේ ඔවී චන් අඬන්නත් එපා. හිනාවෙලා ඉන්න ඕනේ’’ කිව්වාම, එතකොට ආයේ හිනාවෙනවා. ඒ හිනාව එක්කම අද පිටත් කරලා යැව්වා.
ඔවීන්‍යා කියන්නේ පුංචි හුරතල් සුරංගනාවියක්. නිකන් සුරංගනාවියක් නෙවෙයි සතුට බෙදන සුරංගනාවියක්. සතුට කිව්ව ගමන් මට මතක් වෙන්නේ ඔවීන්‍යා. එයා සතුටු වෙන්නේ මගේ මුණේ ඇඳෙන සතුටෙන්. ඒ නිසා මගේ මූණේ හිනාව හැමවෙලේම රඳවගෙන ඉන්න එක හේතුවක් ඔවින්‍යා. එයාගේ පුංචි පුංචි අමාරු දවස්වලට එයාට වැඩියෙන් ආදරේ දීලා, මූණට හිනාවක් ගෙනත් දෙන එක මගේ හිතට පුදුමාකාර සැනසීමක් ගේනවා.
‘අම්මා’ කියන්නේ ලස්සන හැඟීමක්. ඒක දැනෙන්නේ දරුවෝ අපි දිහා බලලා, අපේ හිනාවකින් සතුටු වෙනවා කියලා දැනෙද්දී. මං ඒ හැඟීම ගොඩක් සතුටෙන් විඳිනවා.
ඉතින් වැදගත්ම කොටස මං දැන් කියන්නම්. මේක කියවලා ඉවර වෙද්දී ඔයාලටත් ඔයාලගේ දෙමව්පියන්ගේ අවධානේ නැති වුණ, ආදරේ ඕනම තැනදී ආදරේ නැති වුණ, වැඩිමල් බාල සහෝදර සහෝදරියන්ට වඩා ඔයාට ආදරේ අඩුවෙන් දැනුණ පුංචි අමිහිරි සිද්ධි මතක් වේවි. එතකොටත් ඔයාගේ ඇස්වලට කඳුළක් ඒවි. තාමත් හිතේ පුංචි කොණක ඒවා පැලපදියම් වෙලා ඇති. ඉතින් ඔයාට අදටත් මතක් වුණාම දුක හිතෙන දේවල් ඔයාගේ දරුවාගේ ජීවිතේ සිද්ධ වෙන්න දෙන්න එපා. මේ ලෝකේ ‘ඔයාගේ දරුවන්ට’ ඉන්න හොඳම අම්මා ඔයා වෙන්න. මටත් ලොකු ලොකු හීන නෑ. එකම හීනේ මගේ දරුවන්ට මේ ලෝකේ ඉන්න හොඳම අම්මා වෙන එක. සතුට කියද්දී එයාලට මාව මතක් වෙන විදියේ අම්මා කෙනෙක් වෙන එක. වෙන මොකුත්ම ලොකු හීන මගේ ජීවිතේ නෑེ.
හෂීණී මනමේන්ද්‍ර