ලස්සන තීරණය වෙන්නෙ බලන කෝණය අනුව – වික්ටෝරියා සීක්‍රට් ඔප්පු කරලා පෙන්නුවේ ඒකද?
‘වික්ටෝරියා සීක්‍රට්’ (Victoria’s Secret) කියන්නෙ අපිට අලුත් නමක් නෙවෙයි. මොකද ඒක ලෝකයේ සුප්‍රකට වෙළඳ නාමයක්. තම බිරිඳගේ සරාගී අඩ නිරුවතට පෙම් කළ සැමියෙකුගේ යටිහිතේ උපන් අපූරු ආසාවක ප්‍රතිඵලයක් විදිහටයි එදා වික්ටෝරියා සීක්‍රට් බිහි වුණේ.
ඒක 1977 අවුරුද්ද. රෝයි කියන පුද්ගලයා දිනක් ඇමරිකාවේ රෙදිපිළි කඩසාප්පු පීරුවේ තම රූමත් බිරිඳ වූ වික්ටෝරියාට ගැළපෙන යටඇඳුමක් හොයන්න. ඇත්තටම ඔහුට ඕනෙ වුණේ තම බිරිඳගේ සරාගී බව වැඩිවෙන විදිහේ යටඇඳුමක්. දවස් කීපයක්ම එහෙම යටඇඳුමක් හෙව්වත් ඔහුට හොයපු විදියේ එකක් හම්බවුණේ නෑ.
ඒ ගැන ඇතිවුණු කණගාටුවත් එක්ක ඔහු නැවතුණේ මධ්‍යම පාන්තික ඇමරිකානු කාන්තාවන්ගේ පහසුවත්, සරාගී බවත් වැඩිකරන අන්දමේ යටඇඳුම් සාප්පුවක්ම විවෘත කරලා. ඔහු එවැනි සාප්පුවක් විවෘත කරන්නේ තමන්ගේ රූමත් බිරින්දෑවරුන්ට සිතැඟි පරිදි යටඇඳුම් තෝරාගැනීමේ අවස්ථාව සෑම ඇමෙරිකානු පිරිමියෙකුටම ලබාදෙන්න.
ඒ විදිහට ආරම්භ වෙන රෝයිගේ යටඇඳුම් සාප්පුව කාලයත් එක්ක ‘ලෙස්ලි හර්බට්’ නමින් හඳුන්වන ඇමෙරිකානු ව්‍යාපාරිකයෙකු මිලටගත්ත බව සඳහන්. ඔහු තමයි එය ලෝකය පුරා විහිදුණු ව්‍යාපාරයක් විදිහට දියුණු කරන්නේ. පසුව යටඇඳුම්වලටම සීමා නොවී රූපලාවණ්‍ය නිෂ්පාදන එළිදක්වන්නත් ඔහු කටයුතු කළා.
ජාත්‍යන්තර වෙළඳපොළ ගත්තොත් ‘වික්ටෝරියා සීක්‍රට්’ කියන්නේ ලෝකයේ ඉහළම පෙළේ ධනවතුන්ට අවශ්‍ය සුපිරි ඇඳුම් සහ නවතම මෝස්තර හඳුන්වාදෙන සමාගමක්. ඒ නිසා ඔවුන් අද අත් කරගෙන ඇති තැන ගැන අමුතුවෙන් උපමා රූපක දාලා හැඩවැඩ කරලා කියන්න උවමනා නෑ.
වික්ටෝරියා සීක‍්‍රට්හි අරමුණ තමයි පාරිභෝගික විශ්වාසය දිනාගෙන තමන්ගේ නිෂ්පාදන වෙළඳපොළේ ඉහළින් සහ ඉදිරියෙන් තබාගැනීම. ඒ වෙනුවෙන් ඔවුන් නිතර නිතර ප්‍රවර්ධන වැඩසටහන් සිදුකරනවා. පසුගිය සතියේත් එවැනි ප්‍රවර්ධන වැඩසටහනක් තිබුණා. එක්තරා හේතුවක් නිසා ඒක සෑහෙන්න ජනප්‍රියත් වුණා.
එදා වික්ටෝරියා සීක‍්‍රට් සමාගම තම නවතම ප්‍රවර්ධන කටයුත්ත සිදුකළේ තරුණියන් දහඅටදෙනෙක් යොදාගෙන. වෙනදා සිය ප්‍රවර්ධනයන්ට යොදාගත් රංගන ශිල්පිනියන්, ගායන ශිල්පිනියන් සහ නිරූපණ ශිල්පිනියන් එදා පේන්න හිටියේ නෑ. ඒ වෙනුවට විශේෂ අවශ්‍යතා (Down Syndrome) සහිත තරුණියක්, ශාරීරික ගැටලු තිබූ තරුණියක්, වයසින් වැඩි තරුණියක්, ගැබිනි තරුණියක්, කළු පැහැති තරුණියක්, කෙට්ටු තරුණියක්, මහත තරුණියක්, වරලස කැපූ තරුණියක් මෙන්ම ශරීර ප්‍රමාණයෙන් අධික තරබාරු තරුණියක්ද නිරූපණ කාර්යයේ නියැලී සිටියා.
එහිදී කාගේත් අවධානය දිනාගත්තේ ඒ අතර හිටපු විශේෂ අවශ්‍යතා සහිත තරුණිය. ඇය තමයි 24 හැවිරිදි ‘සොෆිආ ජිරාවු’ (Sofia Jirau) කියන්නේ. ඒ අනුව වික්ටෝරියා සීක්‍රට් සමාගමේ ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන් දායක වූ ලෝකයේ පළමුවෙනි විශේෂ අවශ්‍යතා සහිත නිරූපණ ශිල්පිනිය බවට ඇය පත්වුණා.
‘‘මගේ එකම හීනය වුණේ නිරූපණ ශිල්පිනියක් වෙන්න. ඒ වෙනුවෙන් මං ගොඩාක් දේවල් කළා. අවසානෙදි මං මගේ එකම හීනයට ගියා. විශේෂ අවශ්‍යතා සහිත තරුණියක් විදිහට පළමු වතාවට මට වික්ටෝරියා සීක්‍රට් සමාගමේ ප්‍රවර්ධන වැඩසටහනට එකතුවෙන්න ලැබීම ගැන සතුටුයි. මං මේකට තෝරගත්තට ඔවුන්ට ස්තූතියි කියනවා. ඒ වගේම මෙච්චර දවසක් මගේ ළඟින් ඉඳන් උදව් කරපු හැමෝටමත් ස්තූතියි.’’
ඒ විදිහටයි තමන්ගේ අහිංසක සතුට සොෆිආ ජිරාවු තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කරලා තිබුණේ.
මීට ඉහතදී අදාළ සමාගම මෙවැනි තරුණියන් යොදාගෙන ප්‍රවර්ධන වැඩසටහනක් සිදුනොකළ නිසා ඒ ගැන බොහෝ පිරිසකට පොඩි ප්‍රශ්නාර්ථයක් මතුවෙලා තිබුණා. හැබැයි ඔවුන් නිර්වාචිකව පෙන්නුම් කරලා තිබුණේ වික්ටෝරියා සීක්‍රට් සියලුම කාන්තාවන්ට ගැළපෙන අයුරින් තමන්ගේ නිෂ්පාදන සිදුකරන බවයි. ඒ වගේම කාන්තාවන් ලෙස උපදින සියල්ලෝම කාන්තාවන් බවත් ඔවුන් ජාතියෙන් ආගමෙන් වර්ණ භේදයෙන් හෝ අඩුපාඩුවලින් වෙන්කිරීම නුසුදුසු බවත් ඔවුන් මේ තුළින් පෙන්වා දී තිබුණා.
මේ වනවිට වික්ටෝරියා සීක්‍රට් සමාගමේ සන්නාම තානාපතිනියන් ලෙස කටයුතු කරන්නේ සුපිරි බොලිවුඩ් සහ හොලිවුඩ් නිළි ‘ප්‍රියංකා චොප්රා’ (Priyanka Chopra) සහ ‘මේගන් රැපිනෝයි’ (Megan Rapinoe) කියන ජනප්‍රිය තරු යුගළය. ඉතින් ඔවුන් සන්නාම තානාපතිනියන් ලෙස කටයුතු කරන අවස්ථාවක සොෆිආ ජිරාවු ඇතුළු කලින් කී විශේෂ තරුණියන් පිරිස යොදාගෙන වික්ටෝරියා සීක්‍රට් කරපු මේ ප්‍රවර්ධන කටයුත්ත නම් ඇත්තටම අදහගන්න අමාරුයි.
රුවන් එස්.සෙනවිරත්න