විශේෂාංග

ඔන්ලයින් පන්ති නිසා දරුවන් මොබයිල් එකටම කොටුවෙලා

සාගරී වැඩ ඇරිලා ආවේ වෙනදට නැති තෙහෙට්ටුවකින්. ඒ තෙහෙට්ටුව කොච්චර වුණත් ගෙදර ඇවිත් පුටුවක් උඩට වෙලා ගිමන් හරින්න වෙලාවක් ඇයට තිබුණේ නැහැ. ගෙනාව රසකැවිල්ලක් එක්ක තේ හදලා දරුවෝ දෙන්නටයි, කසුන්ගේ අම්මටයි දීලා ඇය ඉක්මනින්ම නාන කාමරයට ගියා. ඊළඟට රෑ කෑම හදන්න ඕන, දරුවෝ දෙන්නා ඉස්කෝලේ කරපු පාඩම් වැඩ ගැන හොයලා බලන්න ඕන, පහුවදාට ඔෆිස් අඳින ඇඳුම් අයන් කරන්න ඕන. දැන් කාලයක ඉඳන් මේ කාලසටහන සාගරීට පුරුදුයි.

‘‘සාගරී ළමයෝඔන්න මට නම් මේවයෙ වගකීම ගන්ට බැහැ.’’

සාගරී නාන කාමරයෙන් එනකං බලාහිටිය කසුන්ගේ අම්මා වටපිට බලමින් කතා කරන්න වුණා. සාගරීට මුකුත්ම හිතාගන්න පුළුවන් වුණේ නැහැ.

‘‘ලොකු ළමයා දැන් දවස් දෙක තුනක් තිස්සේ අල්ලපු ගෙදර අර චානි ළමයගේ ෆෝන් එක ඉල්ලගෙන ඔබ ඔබ ඉන්නවා. මං ඇහුවම කියනවා ගේම්ද මොකක්ද කියලා…. වෙඩි තියන්ටත් පුළුවන්ලු.’’

අම්මා එහෙම කිව්වේ ලොකු පුතා දැන් එයාට කීකරු නෑ කියන්න වගෙයි. තවමත් ලොකූට වයස අවුරුදු අටයි. ඒ එක්කම සාගරීට මතක් වුණේ, දැන් දවස් දෙක තුනක් තිස්සේ පුතා ෆෝන් එකේ ලොක් එක ඇරලා දෙන්න කියලා නිතර නිතර කළ ඇවිටිල්ලයි.

‘‘කොහෙන් මේ ගේම් පුරුදු වෙලාද අම්මේ…. ඉස්කෝලෙ ඔන්ලයින් වැඩවලට ෆෝන් එක දුන්නත් මං ඉක්මනටම ඒ වැඩ ඉවර වුණ ගමන් ෆෝන් එක ගන්නවනේ.’’

සාගරී කල්පනා කරන්න පටන්ගත්තා.

‘‘දුවේමේ අපේ කාලේ වගේ නෙවෙයි දැන්. පොඩි එවුන් වුණාට උන් අපේ කනෙනුත් රිංගයි. චානි ළමයට මම කිව්වා ආයේ ෆෝන් එක දෙන්න එපා කියලා…’’

නැන්දම්මා ගෙට ගියේ එහෙම කියාගෙන. වෙනදට වඩා ඒ ගැනත් හොයලා බලන්න වෙයි කියලා සාගරීට හිතුණා. අයියගෙයි මල්ලිගෙයි පාඩම් පොත් බලන අතරේ ලොකු පුතා අම්මගේ ෆෝන් එක කෝ කියලා ඇහුවා.

‘‘ෆෝන් මොකටද…. හොඳ ළමයි ගේම් සෙල්ලම් කරන්නෙ නැහැ. පාඩම් වැඩවලට තමයි මුල්තැන දෙන්න ඕන.’’

‘‘අනේ අම්මේඅම්මා තමයි අපිට ෆෝන් එක දෙන්නැත්තේ…. අපේ පන්තියේ ගොඩක් ළමයින්ට දැන් ෆෝන් තියෙනවා.’’

ලොකු පුතාගේ කතාවට සාගරී උත්තර දුන්නේ ඉවසීමෙන්. පොඩි එකා එකහෙලාම ෆෝන් එක ඉල්ලුවත්, සාගරී පුතාට චිත්‍රයක් අඳින්න කොළේකුයි, පාටයි දීලා කුස්සියට ගියා. උයන අතරෙත් ඇය කල්පනා කළේ කවද ඉඳන් පුතා මේ ක්‍රියාවට ඇබ්බැහි වුණාද කියලයි.

රෑ කෑමෙන් පස්සේ ප්‍රවෘත්ති බලමින් හිටිය කසුන්ට මේ කතාව කියන්න කියලා හිතාගෙන සාලෙට ආව සාගරී එකවරම ගල්ගැහුණා. ඒ අනුරාධපුර පැත්තේ පුංචි පුතෙක් කරගෙන තියෙන වින්නැහියක් දැකලා.

‘‘උදේ අම්මා වැඩට යද්දි මේ ළමයා අම්මගෙන් ෆෝන් එක ඉල්ලලා. දුන්නේ නෑ කියලා බෙල්ලේ වැල දාගෙන…’’

‘‘දෙයියනේ.. හිතුවක්කාරකම. වයස කීයද?’’

‘‘දොළහයි.’’

කසුන් කියද්දී සාගරීගේ හදවත ගැහෙන්න ගත්තා. හිතුවක්කාරකම නෙවෙයි මොන දේ වුණත් මේ දරුවන්ගේ මනස විකෘති කරන්නක්. මේ ගොඩක් දරුවෝ මුහුණ දෙනු ලබන ප්‍රශ්නයක් කියලා සාගරීට හිතුණා. රූපවාහිනී ප්‍රවෘත්තියේ දරුවා ගෙල වැළලාගන්න මුල්වුණ නිධාන කතාවක් සාගරී අහගෙන හිටියා.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි අනුහස් පුතාට වයස අවුරුදු දොළහයි. අනුරාධපුර ප්‍රසිද්ධ පාසලක හත්වන පන්තියේ ඉගෙනගනිමින් හිටිය ඔහු ඉගෙනුමට ඉතාම දක්ෂ දරුවෙක්. අයියයි මල්ලියි ඉන්න පවුලේ අයියා තමයි අනුහස්. ​ඔන්ලයින් පාසල් වැඩවලට දුන්නු අම්මගේ ජංගම දුරකතනයෙන් අනුහස් කළේ වීඩියෝ ගේම් ගහපු එකයි. ඒ දරුවට මේක නැතුවම බැරි වුණා. සිද්ධිය වුණු දවසේ උදේ අම්මා වැඩට යද්දි අනුහස් ජංගම දුරකතනය ඉල්ලුවා. අම්මා කිව්වේ පාඩම් කරන්න කියලයි. මේකට පුංචි අනුහස්ට දුක හිතුණා. කේන්තිත් ආවා. පැයක් දෙකක් ගියා. මනසේ තියෙන්නේ වීඩියෝ ගේම් එක විතරයි. පුංචි මනස අවුල්. අම්මා පුතාට ගෙදර දුරකතනයට ඇමතුම් ගත්තත් සද්දයක් නැති නිසා ගෙදර ආවා. ඒ එද්දි සියල්ල සිදුවී අවසන්.

ඒ කතාවේ අවසානය එහෙමයි.

‘‘වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වෙන්න දරුවන්ට ඉඩ දෙන්න එපා. එකපාරක් දෙකක් කියලා ඉල්ලයි. ඊටපස්සේ ගැලවෙන්න බැහැ. මේ දරුවා බෙල්ලේ වැල දාගෙන තියෙන්නෙත් ​ගේම් එකේ විදියට ලණුව අඹරලයි. මෙහෙම දේවල් ආයෙ දකින්න ඉඩ දෙන්න එපා. අම්මලා තාත්තලා දරුවෝ ගැන ඇහැ ගහගෙන ඉන්න.’’

ඒ අනුහස්ගේ නැන්දා කෙනෙක් කළ ඉල්ලීමයි. සාගරී මේ සිදුවීමත් සමඟ කසුන් හා ලොකු පුතුගේ ක්‍රියා කලාපය ගැනද කතා කළා.

‘‘අපි බලමු දරුවා මියුසික් වගේ පැත්තකට යොමු කරන්න. යාළුවෝ එක්ක බෝල් ගහන්නත් ඉඩ දෙමු. එහෙම බැරි වුණොත් ඩොක්ටර් කෙනෙකුට පෙන්වමු.’’

කසුන් කිව්වා. සාගරීගේ හිතට නම් මේ මොන වචන ඇහුවත් ප්‍රමාණවත් නෑ. දරුවෝ මේ විදියට හිතුවක්කාර වෙන්න පුළුවන්ද? ඒත් මනස හොඳ තැනක තියාගෙන දරුවෝ වැඩිදෙනෙක් හොඳින් අධ්‍යාපනය ලබනවා. ඒ ගොඩට තමන්ගේ දරුවනුත් ඇතුළත් කරගන්න හැම අම්මා තාත්තම කැමතියි.

ඉතින් මේ වගේ ඇබ්බැහිවීමක් වුණොත් දරුවා ඉන් මුදාගන්නේ කොහොමද?

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

‘‘අන්තර්ජාලයට එක්කරලා තියෙන බොහෝ දේ නරඹන්නට යොමුවීමෙන්, ඊට ඇබ්බැහිවීමක් දකින්න තියෙනවා. විඩියෝ ගේම්, ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ මේ කුමක් වුවත් ඒක හදලා තියෙන්නෙම සිහින ලෝකෙකට අදාළ පුද්ගලයා රැගෙන යන පරිද්දෙනුයි. විශේෂයෙන්ම දරුවන් මේ ඇබ්බැහියට යොමු වු‍ණොත් එය ඉතාම නරක ප්‍රතිඵල ගෙන දෙන්නක් වෙනවා.

මෙවැනි අවස්ථාවකදී තමන්ගේ සාමාන්‍ය ජීවිතයට, අධ්‍යාපනයට තියෙන උනන්දුව ඉතාම අඩුයි. එහිදී මොළය ආශ්‍රිත රසායනික උත්තේජනයක් සිදු කෙරෙනවා. එම උත්තේජනය තුළ සතුටක් ගෙනාවත්, මේ කියන අන්තර්ජාල ක්‍රීඩා තුළ ඉන් ගැලවී යාමට නොහැකියාවක් ඇතිවෙනවා. මෙහි සමහර ක්‍රීඩා තියෙනවා කිහිපදෙනෙක් එක්ව, තමන් වෙනත් නම්වලින් පෙනී ඉඳිමින්, අවශ්‍ය නම් වෙනත් මූණක් දාගෙන අනන්‍යතාවය වෙනස් කරගනිමින් වුවත් ඒවායේ නිරත වෙන්න හැකියි. වෙඩි තියාගන්නවා. මරනවා. මේ ගේම්වල අවසානය ළඟ වගේ පෙන්වනවා. ඒත් ඒවයේ අවසානයක් නෑ. හැබැයි දරුවගේ මනසේ නිතරම මෙය හොල්මන් කරනවා. අම්මා ෆෝන් එක දුන්නේ නැත්නම් අම්මා එක්ක තරහයි. මොකද ඔවුන් දවසේ වැඩි කාලයක් ඉන්න කැමති මෙම ක්‍රීඩාවන් ඇසුරේයි. ඊට බාධා කළහම අධික ලෙස කෝප ගන්නවා. පාඩම් කරන්නේ නැහැ. ඊළඟට දෙමාපියන්ට පාඩම් උගන්වන්න හිතනවා. එහෙම නැත්නම් තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි තැනට එනවා. හරියට මෙය හෙරොයින්වලට ඇබ්බැහි වුණා වගේ. එකවර කොහොමත් නතර කරන්න බැහැ. ටික ටික මේ ඇබ්බැහි වුණ කාලය අඩු කරලා දරුවා ඉන් මුදාගන්න ඕන.

කොහොම නමුත් මෙතැනදී හොඳම දේ වෙන්නේ දරුවන්ව මේ තත්ත්වයට පත්වෙන්න නොදී බේරාගැනීමයි. ඒ නිසා දෙමාපියෝ ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. අවශ්‍ය වුණොත් මෙම ක්‍රීඩාවේ ආදීනව ගැන කියාදෙන්නත් ඕන. ඔවුන් ඔන්ලයින් පාඩම් වැඩවලට දුරකතනය පාවිච්චි කළාට පස්සේ මොනවද ඩවුන්ලෝඩ් කරලා තියෙන ඇප් කියලා බලන්න ඕන. ඒ වගේම මේ ඇබ්බැහිය වළක්වන්න දරුවා වෙනත් ක්‍රියාකාරකම්, සංගීතය, ගායනය එහෙමත් නැත්නම් සුදුසු විනෝදාස්වාද ක්‍රීඩා, පිහිණුමට යොමු කළ හැකියි. කොහොම නමුත් ගේ ඇතුළේ තත්ත්වය සමනය කරගන්න අපහසු නම් දරුවා මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමුකොට උපදේශනය වගේම ඖෂධ ප්‍රතිකාර ලබාදීම වැදගත් වෙනවා.’’

මේ කාරණා ගැන දෙමාපිය අවධානය ඉතාම වැදගත් වෙනවා. ඒ ඉගෙනගන්න වයසේ දරුවන්ගේ හිත් මල් වගේ ආරක්ෂා කරගැනීම මුළුමහත් සමාජයේම පොදු වගකීමක් වන නිසයි.

දීපා වසන්ති එදිරිසිංහ