ගැහැණිය කලාවක් ඔබ රසිකයෙක් වෙන්න
හිරුඑළිය සොයාගෙන
එබී බලන මල් වැලක්..,
ගෙතුල ජනේලයක් ළඟ තබාගෙන..,
පිරිමි විඳින සොමියක්…
කාන්තාවන් සහ පිරිමින් අතර පවතින සාමාජයීය සම්බන්ධතාව පිළිබඳව මාගේ හැඟීම වසර පහළොවකට පමණ ඉහතදී එලෙස කවියකට ගොනු වූවා මට මතකය. අදටත් බහුතර පිරිමි සමාජයේ මතය එයම යැයිද, කාන්තා සමාජය ඊට වඩා බොහෝ ප්‍රගතිගාමීව ඉදිරියට පැමිණ ඇතැයිද මම සමාජය දෙස බලාගෙන නිකමට සිතමි. කාන්තාව සමඟ පිරිමින්ගේ ඇති සාමාජයීය සංස්කෘතික ගණුදෙනුවේ හැඩය විග්රහ කිරීම අද වැනි දිනක දැලි පිහියෙන් කිරි කෑමක් හා සමානය. මන්දයත් මේවා දෙබරයන්ට ගල් ගසන මාතෘකාය. අපි කිනම් මතය ඉදිරිපත් කළත් ඇතැමුන් මේවා විශ්වාස කරන්නේ තම තමන්ගේ අත්දැකීම් සහ සංවේදීතාවයන් අනුවය. ඒ නිසා මේ ලිපිය කියවන්නට පෙර මා ඔබෙන් කරන ඉල්ලීම නම්, ගැහැනු පිරිමි දෙපාර්ශවයටම මාගේ ඇති ගෞරවය හා පිළිගැනීම එක හා සමාන බව විශ්වාස කරන ලෙසය.
ගැහැනිය, පිරිමියාට වඩා ශාරීරිකවද, මානසිකවද හාත්පසින්ම වෙනස් ස්වභාවධර්මය විසින් නිර්මාණය කෙරුණු අපූරු ආකර්ෂණීය ජීවියෙකි. ඇගේ ළමා කාලය ගත්තද, නව යොවුන් විය ගත්තද, තරුණ යුගය ගත්තද, පරිණත අවදිය ගත්තද, මහලු විය ගත්තද එකිනෙකට වෙනස්, සිත්ගන්නා සුළු ඉරියව් සහ චරිත ලක්ෂණ ඇත. නමුත් ඒ ආශ්චර්යවත් බව පෙනෙන්නේ ඇයව ඇතුළාන්තයෙන්ම අධ්‍යයනය කරන්නෙකුට විනා, ඔහේ ආශ්‍රය කොට පොදු සමාජ සම්මතයට අනුව අර්ථකතන දෙන්නෙකුට නොවේ. පිරිමි සමාජය ගැහැනුන්ට පොදුවේ කරන එවැනි චෝදනා රාශියක් ඇත. ගැහැනු කියවනවා වැඩිය, ගැහැනු ඉරිසියා කරනවාය, ඕපදූප කියවනවාය, ඇඳුම් තෝරන්නට කාලය ගන්නවාය, පහු පහු වෙනකොට කොහු කොහු වෙනවාය ආදී එවැනි චෝදනා දැන් පුරුද්දට කියවෙන ඇල්මැරුණු කතාය.
මේ දහසකුත් චෝදනා අසා සිටින ගැහැනුන් පිරිමියාට කරන චෝදනා මොනවාද? මගේ ජීවිත කාලය තුළ මා අත්දැක ඇති අන්දමට සමාජයේ සෑම තරාතිරමකම, ගැහැනුන් පිරිමින්ට කළ සහ කරන චෝදනාව නම් නොවෙනස් ආදරයක්, රැකවරණයක්, සෙනෙහසක්, සොයාබැලීමක් අඛණ්ඩව ලබාදීමේ අපොහොසත්කමයි. එය එසේ වීමට හේතු වූ පිරිමින්ගේ ජෛව විද්‍යාත්මක වෙනස්කම් පිළිබදව මම කියන්නට නොයන්නේ ඒවා හැමෝම කියා සහ කියවා ඇති බැවිනි.
ගැහැනු ඉතා සරලය. මා එසේ කියන්නේ ඉතාම සංකීර්ණ ජීවන කාරණා සරලව නිම කරන්නට ඔවුන්ට උපතින්ම හැකියාවක් ඇති බැවිනි. නමුත් ඔවුන්ව තේරුම් ගැනීම අතිශය සංකීර්ණය. ඒ මන්දයත් පොදුවේ ගත් කල පිරිමින්ගේ සිතුම් පැතුම්, චර්යාවන් සහ සිහින එක සමාන හැඩයක් ගනියි. පිරිමි හැමෝම එකයි කියා බොහෝවිට ගැහැනු කියන්නේද ඒ නිසා වන්නට බැරි නැත.
පිරිමි ඇත්තටම කැමති මොනවාද? යාළුවන් සමඟ විනෝද චාරිකා යන්නටය. හැන්දෑවක එකතු වී දේශපාලනය හෝ කලාව ගැන කයියක් දාගෙන බොන්නටය. කාර්යාලයේ වැඩ අහවර වුණත් ප්ලේන්ටියක් බී පරාටා එකක් කා තවත් ටික වෙලාවක් කයිය ගසා ප්‍රමාද වී ගෙදර එන්නටය. නැත්තම් කාර් පාර්ක් එකක බොනට් එකක් ඇරගෙන බොන්නටය. ක්‍රිකට් මැච් එකක්, රගර් මැච් එකක් බලන්නටය. එක්කෝ වෙනත් ක්‍රීඩාවක නිරත වෙන්නටය. නිවාඩු දිනයක චිත්‍රපටයක් බලා නිදාගන්නටය. මීට වඩා ආශාවන් පිරිමියෙකුට තිබිය හැකි අතර ඒවා මහා ගොඩක් නොවේ. එහෙව් වෙනස් ආශාවන් ඇති පිරිමින් හිඟය. නමුත් දුර්ලභ පිරිමින්ට ගැහැනුත් ඉමහත් සේ ආදරය කරයි.
දැන් ඔබට ගැහැනු කැමති මොනවාද කියා ලැයිස්තුවක් අවශ්‍යද? ඔවුන් වඩාත්ම කැමති දවසේ පැය විසිහතරම තමන්ට ආදරය ලැබෙතැයි විශ්වාස කරන්නටය. ඔවුන්ගේ නිය ආලේපන බෝතලය අතේ හැපී බිම ඉහිරී යාමේ සිට, ළඟම ඇති මඟුල් ගෙදරට අඳින්නට යන ඇඳුමේ පටන්, තව වසර පහකින් නිම කරන්නට යන පශ්චාත් උපාධිය දක්වා වූ විශාල කරුණු සමුදායක් ඔබත් සමඟ බෙදා හදාගන්නටය. ඒවා කතා කරන අතරවාරයේ උණුසුම් කෝපි කෝප්පයකින් ඔබට සංග්‍රහ කරන්නටද ඇය කැමතිය. අතරින් පතර ඔබ ඇගේ අත් ආදරයෙන් ඇල්ලිය යුතුය. ඉනුත් එහා ගොස් ආදරයෙන් ඇයව සිප ගන්නවා නම් ඇය වඩාත් කැමතිය. මේ අතරවාරයේදී ගෑනු කියවනවා වැඩියි හෝ කියන දෙයක් කෙටියෙන් ඉක්මනින් කියන්න හෝ කියා ඔබට හිතුණොත් ඔබ ගැහැනු විෂයෙහි අන්ත අනුවණ මිනිසෙකි. ඒවා රස විඳින්න. ගැහැනු යනු කලාවකි. ඔබ රසිකයෙකු වන්න.
පිරිමියෙකුගේ ජීවිතය තම නව යොවුන් වියේදි තරම්ම පසුකාලීනව සරල මෙන්ම, සුන්දර නොවන බව මමද පිළිගනිමි. ඒ පිරිමින්ගේ ජීවිතයේ හැටියැයි කීවොත් ගැහැනු ඊට වඩා වෙනස්දැයි මම පිරිමින්ගෙන් අසන්නට කැමැත්තෙමි. අපි මේ කතා කරන්නේ රැකියාව, අධ්‍යාපනය සහ සමාජයීය හැසිරීම් ගැනය. ගැහැනුන් අඩු කොහේද? කොහේවත් ගැහැනු අඩු හෝ විරල නැත. පාසල් පංති කාමරයක ගත්තද, විශ්වවිද්‍යාලයක, කාර්යාලයක ගත්තද ඔවුන් පෙරමුණ ගෙන සිටියි. එහි ප්‍රමාණාත්මක අගය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. ජීවිත අරගලය උදෙසා සෑම ගැහැනියක්ම සෑම පිරිමියෙක්ම අපි වැනි දුප්පත් රටවල දුක් විඳිමින් සිටින්නේ ඒ ඒ සමාජ මට්ටම්වල සිටය. සෑම කෙනෙකුම ජීවිත අරගලයේ කොටස්කරුවන්ය. ඒ අතින් ගත් කල මම රැකියා කරන ගැහැනුන්ගේ විශේෂත්වයක් දකිමි. ඔවුන්ට කාර්යාලය සහ නිවස බොහෝවිට වෙනස්වන්නේ ලිපිනයන්ගෙන් පමණි. බොහෝ කාන්තාවන්ට රැකියා ස්ථානයේ වැඩ අඩුය. ඔවුන් ජීවිත කාලයක් සේවය කරන්නේ ගෙදරටය. ඒ පවුලේ සතුට උදෙසා වේතනයකින් තොරවය.
පාරේ, බස් එකේ, කෝච්චියේ, බස් හෝල්ට්වල බඩවල් ඔසවා ගත් ගැබිනි මව්වරුන් අපි දකිමු. බරට බරේ ජීවන බර ඔසවාගෙන යන මුහුණේ සිනහවන් දියව ගිය බොරපාට ඇස් සහිත පිරිමින්ද දකිමු. ගැහැනු පිරිමි සම්බන්ධතාවය, ජීවිතයට අදාළ එකක් වුවද අද වනවිට එය අපේ ජීවන රටාවට අදාළ කරනොගැනීම ඉමහත් ඛේදවාචකයකි. ඛේදවාචකයේ ප්‍රතිඵල ලැබෙන්නේ බොහෝ ප්‍රමාද වී වන අතර, ඒ වනවිට කෝච්චිය ගොස් හමාරය. ගැහැනුන් මිනිසුන් දෙපාර්ශවයම තීරණ ගනිති. මේ නිසා පිරිමි ගැහැනුන් සමඟ ජීවත්වීමේදීද, ගැහැනු පිරිමින් සමඟ ජීවත්වීමේදීද අතිශය පරිස්සම් විය යුත්තා මෙන්ම, ඇල්පෙනෙති තුඩක දෙයක් ගැන පවා සැලකිලිමත් විය යුතුය. එය දෙපාර්ශවයටම අදාළ කාරණා දෙකකි. සමහර යල්පැන ගිය අදහස් දරණ ගැහැනුන් සිතා සිටින්නේ රැකියාවක් කළ යුත්තේ පිරිමින් පමණකියි කියාය. එසේම පිරිමියා තමන්ට අවශ්‍ය හැට්ට කටුවේ පටන් සියල් සපිරි ජීවිතයක් දෙපා මුල මවා දිය යුතු අතර එය අනිවාර්යය නීතියක් ලෙසය. ඒ අතර ඇතැම් පිරිමින් සිතා සිටින්නේද ගැහැනිය යනු ගෙදරටම වි බත් තම්බමින්, රෙදි සෝදමින්, ගෙවල් දොරවල් අස්පස් කරමින්, හඩු පෙරාගෙන ඔහේ ගෙතුළටම වි සිටිය යුතුයැයි කියාය. මේ කාරණා දෙකම හාත්පසින්ම වැරදි චර්යා පුරුදුය.
දෙදෙනාම රැකියාව කරනවා නම් දෙදෙනාගේම සැප පහසුව ගැන දෙදෙනාම සොයා බැලිය යුතුය. කෑවාද බීව්වාද, මහන්සියිද, තේකක් බොමුද, පොඩ්ඩක් ඇවිදින්න එළියට යමුද, දරුවන් කැටුව දවසක් දෙකක් ඈතකට ඇවිදින්න යමුද, වත්ත සුද්ද කරමුද, රස්සාවම කරලා බෑ ගේ ටිකක් ලස්සනට අස්පස් කරගමුද, ලස්සන මල් පැළ ටිකක් ගෙනැවිත් හිටවමුද, ඔයා අද ලස්සනයි, සුදු වෙලා වගේ, අපි අලුත් ඇඳුමක් ගමුද, මං ඔයාව මතක් වෙලා රටකජු ටිකක් ගෙනාවා, උණු උණුවෙන් එළවලු රොටියක් ගෙනාවා, ඊයෙ පොඩ්ඩක් අපි දෙන්නා හිත් නොහොඳින් කියවගත්තා නේද, මෙන්න මං ඔයාට කහ පාට මල් පොකුරක් ගෙනාවා, ඔෆිස් එකේ වැඩ ගෙදර ගේන්න එපා එතනත් මහන්සි වෙලා මෙතනත් මහන්සි වෙන්න එපා, දරුවො එක්ක නිදහසේ සතුටින් ඉන්න, එන්න අපි බැට්මින්ටන් අතක් ගහමු.
හිතවත් පාඨකය, ආදරණීය ජීවිතයක් ගලන්නේ නීති රාමු නැති, වගකීමකින් බැඳී නැති, නොකළත් කිසිවෙක් බණින්නේ නැති, මේ වැනි සරල වචනවලින් දියව හදවතට කාන්දු වන හැඟීම් හරහාය. ඔබ ඇයට ගෙයක් හෝ වාහනයක් අරන් දෙන්නට වසර ගණනක් දුක් විඳිමින් හම්බ කරන්නේ ඔබේ සතුටත් අහිමි කරගෙනය. නමුදු ඇතැම් විට ඇගේ සතුට ඇත්තේ ඔබ සමඟ ඈත පාලු පාරක පයින් දොඩමලුව ඇවිද ගොස් උණුසුම් කෝපි කෝප්පයක් බී එමින් ගමන් නිවසට අවශ්‍ය එළවලු ටිකක් රැගෙන එන්නටය.
ඇතැම් ගැහැනුන් සිතා සිටින්නේ ආදරය, සෙනෙහස, රැකවරණය සහ සොයා බැලීම අවශ්‍ය කාන්තාවන්ට පමණක් කියාය. පිරිමින් ඉපදී ඇත්තේම ඒ කර්තව්‍යට බව ඔවුන් සිතයි. මේ ලෝකයේ යම්තාත් දුරකට මතකයක් සහිත, හිතන්නට සමත් මොළයක් ඇති තිරිසන් සතෙකු පවා සතුටින් නිදහසේ රැඳෙන්නේ ආදරයක් දුටු තැනක පමණි. එය ගැහැනු පිරිමි අපි දෙපාර්ශවයම කුහකත්වයෙන් තොරව පිළිගත යුතු ඇත්තකි. අතිශය සුන්දර ආදරයක්, රැකවරණයක් ලබන ඇතැම් ගැහැනුන් නිර්වින්දනාත්මක ජීවිතවලට අවතීරණ වෙති. ඔවුන්ට තමන්ගෙන් අනෙකාට ඉටුවිය යුතු යුතුකම් අමතකව යති. තමන් වාසනාවන්ත ජීවිතයක් ලද්දෝ යැයි උදම් වෙති. හිතවත් පාඨකය, ගැහැනියගේ චර්යාවන් මහපොළොවකි. පිරිමියාගේ චර්යාවන් ඒ මත කන්නයෙන් කන්නයට වගා කරන බිත්තර වී වැනිය. මෙහි අස්වැන්න දෙදෙනාගේමය. ගොවියා අවුල් නම් පොළොව කොතරම් සරු වුවත් වැඩක් නැත. පොළොව අවුල් නම් ගොවියාගෙන් ඇති වැඩක්ද නැත. මේ නිසා ඔබ ගැහැනියක් වුවත් පිරිමියෙක් වුවත්, ගොවියාද මහපොළොවද තෝරාගෙන ඇත්තේ ඔබය. මේ දෙකම කතාබහ කරගෙන සකසා ගත හැකිය. සියල්ලෝම එසේ වේවායි පතන අතර, එසේ නොහැකි සෑම කෙනෙකුම කර්මය සහ වාසනාව, අවාසනාව විශ්වාස කරගෙන හිත හදාගත යුතුය.
රළු පරළු සෑම ගසකම මල් වැල් එතෙන්නේ නැත. එහෙමත් ගස්වල ඒවා නොවී තිබෙන්නේද නැත.
සමන් එදිරිමුණි