එයා ගැන තියපු විශ්වාසය මිසක් ජපානෙට එද්දි වෙන සැලසුමක් මට තිබුණෙ නෑ – ජපන් රටේ නීතීඥවරියක් වූ ශ්‍රී ලාංකික කත
ගැහැනියක වුවද පිරිමියෙකු වුවද ජීවිතේ මොනයම්ම හෝ සිහිනයක් තිබිය යුතුය. අත් නොහරින එම සිහිනය එවිට දිනෙක මුණගැසෙනු ඇත. කන්ද උඩරට උපන් පුංචි කෙල්ලක් වූ කාංචනී දමින්තා පතිරණටත් එවැනි සිහිනයක් තිබිණි. පිළිමතලාව, ගිරාගම කනිටු විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය හදාරද්දී ඇය ඒවාට අවැසි පණ දෙන්නට අඩුම කුඩුම එකතු කළාය. ඒ සිහිනවලටම පාර කියන අපූරු කතා මාලාවක් 1983 වසරේ සිට 1984 දක්වා ජපානයේ NHK හෙවත් Japan Broadcasting Cooperation මගින් විකාශය කෙරෙමින් තිබිණි. ඒ, ‘ඔෂීන්’ ය. ලොව පුරා රටවල් 68ක විකාශය වූ ඔෂීන් ශ්‍රී ලංකාවට ආවේ 1987 දීයි. ටයිටස් තොටවත්තයන්ගේ හඬකැවීම් අධ්‍යක්ෂණයෙන් ජාතික රූපවාහිනියෙන් අපට සමීප වූ ඔෂීන් මෙරට බාල, තරුණ, මහලු සැමදෙනාගේම හිත්වල ලොකු ඉඩක් අල්ල ගත්තේය.
පුංචි කාංචනීද ප්‍රබල ඔෂීන් රසිකයෙකි. එනිසාම කිමෝනාවට, ලී සෙරෙප්පුවට පමණක් නොව සකුරා මල්වලටත් ඇගේ හිත බැඳිණි. එකල එය එක්තරා ෆැන්ටසියක් වුණත් වසර ගණනාවකට පසු ඇගේ ඒ ෆැන්ටසිය සැබෑවක් විය. ඈ, සැබෑවටම කිමෝනා ඇන්දාය. සකුරා මල්වල සුන්දරත්වය හැබැහින් වින්දාය. එපමණක්ද නොවේ. යටි හිතේ වූ සිහින රාජ්‍යයේ ලියාපදිංචිය ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික නීතීඥවරිය බවටද පත් වූවාය. මේ දක්වා ජපානයෙහි ලියාපදිංචිය ලැබූ විදෙස් නීතීඥවරුන්/වරියන් ගණන පන්සියය නොඉක්මවයි. ඒ අතරින් බහුතරය ඇමරිකානුවන්ය. එංගලන්ත, චීන, ඕස්ට්‍රේලියා, කැනඩා, නවසීලන්ත, ප්‍රංශ සහ ජර්මානු ආදී විදෙස් නීතීඥවරුන් අතරට ශ්‍රී ලංකා නාමයද එක් කිරීමට අපේ කාංචනී සමත් විය. විදෙස් නීතීඥවරුන් ලියාපදිංචිය අතිශය සීමිත වශයෙන් සිදුකරන ජපානය වැනි රටකදී කාංචනී ලැබූ ජයග්‍රහණය අපිට ආඩම්බරයකි.
ගිරාගම කනිටු විදුහලින් ශිෂ්‍යත්වය සමත් වූ කාංචනී ඉන්පසුව මහනුවර විහාරමහා දේවි විද්‍යාලයටයි ඇතුළත් වුණේ. අනිත් සෑම දරුවකුට සේම ඇයටද සොඳුරු පාසල් කාලයක් තිබිණි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් පසු ඇයට නව විදුහල් මාතාවකගේ සෙවණකට යාමට සිදුවිය. ඒ අනුව ඈ, උසස් පෙළ හැදෑරුවේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙනි. 2002 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටි කාංචනී එය ඉහළින්ම සමත් වූයේ ‘A’ සාමාර්ථ තුනක් සහිතවයි. එපමණක් නොවේ. ඈ මහනුවර දිස්ත්‍රික්කයේ තුන්වැනියාද විය. ශ්‍රී ලංකාවෙන්ම විසිහත් වැනියාය. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට පිවිසීමට ඇයට පැහැදිලි ඉඩක් ලැබුණේ එලෙසිනි. නීතිවේදී උපාධිය ලබාගැනීමෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වූ කාංචනී එහි අධ්‍යයනය අවසන් කර නීතීඥවරියක ලෙස දිවුරුම් දුන්නේ 2008 වසරේදීය.
කාංචනී 2010 වසරේදී නීති නිලධාරිනියක ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා සේවයට එක්විය. වසර තුනහමාරක පමණ සේවා කාලයට ඇය සමුදුන්නේ විවාහයෙන් පසුවයි. 2014 ජනවාරි මුල විවාහ වූ ඇය ඒ මාසයේම සිය සැමියා සමඟ තමාගේ සිහින දේශයට පිටත් විය. ඒ වනවිටද ඇයට ලොකු ලොකු සැලසුම් නොතිබිණි.
‘‘වෙඩින් එක ලස්සනට ප්ලෑන් කළා මිසක් ජපානයට ගිහින් මොනවද කරන්නෙ කියන එක ගැන මට කිසිම අයිඩියා එකක් තිබුණෙ නෑ. මගෙ හස්බන්ඩ්ට ඒ වෙනකොටත් ජපානයේ පී ආර් (පුරවැසිභාවය) තිබුණා. එයා මට කිව්වා ජපානෙ හොඳ කැම්පස් තියෙනවා, මට වැඩිදුර ඉගෙනගන්න පුළුවන් කියලා. මං ඒ කිසි දෙයක් හෙව්වෙ නෑ. එයා ඒ හැමදේම හොයලා බලලා කරයි කියන විශ්වාසෙ තියාගෙන ජපානෙට ගියා.’’
ඒ තෝරාගැනීම මෙන්ම විශ්වාසයද වැරදුණේ නැත. නමුත් 2014 ඇය ජපානයේ ටෝකියෝවට යද්දී හිතේ ඇඳී තිබූ සිතුවම වෙනස් වී ගොස්ය. කිමෝනා හැඳ, ලී සපත්තු හඬ මුසුව කඩිසරව එහා මෙහා දුවන ‘ඔෂීන්’ හි ඇය දුටු ජපනුන් එහි සිටියේ නැත. බොහෝ තැන් බටහිර බලපෑමට නතුව තිබිණ. එහෙත් ඔෂීන් නාට්‍යයේ බොහෝ කොටස් රූගත කළ යමගතා ප්‍රදේශයේ සංචාරය කර මතක අලුත් කර ගැනීමට කාංචනීට ඉඩ හිමිවිය.
ශ්‍රී ලංකාවේ නීතීඥවරියක වුවද ජපානයේදී කාංචනීට ඒ පිළිගැනීම හිමිවූයේ නැත. විදේශිකයකුට එම තත්ත්වය සාමාන්‍ය කරුණකි. නීතීඥවරියක ලෙස ලියාපදිංචි වීමේ සිහිනයක් තිබුණද ඇයට එය පහසු වූයේ නැත. ප්‍රථමයෙන් කාංචනී යොකොහමා ජාතික විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. ඒ, ජාත්‍යන්තර නීතිය වැඩිදුර අධ්‍යයනයටයි. එහෙත් එහිදී ඇයට පාඨමාලාව සම්පූර්ණ කිරීමට අවස්ථාව හිමි නොවීය. පසුකාලීනව එරට සුවිශේෂ විශ්වවිද්‍යාලයකට ප්‍රවිශ්ට වීමේ අවස්ථාව කාංචනීට උදාවිය. හිටොට්සුබෂි (Hitotsubashi) සරසවිය ඇගේ හීනයට මග තනා දුන් ස්ථානය විය. එහි අලුතින්ම ආරම්භ වූ ව්‍යාපාර නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වෙනුවෙන් කාංචනී ලියාපදිංචි වූවාය. පාඨමාලා ප්‍රධානියා ඇමරිකානු මහාචාර්යවරයෙකි. ජපන් බස මූලික කරගනිමින් බහුතර පාඨමාලා ක්‍රියාත්මක වුවද මෙය ඉංග්‍රීසි භාෂාවෙනි. මුල් කණ්ඩායමට සිසු සිසුවියන් තිදෙනෙකු පමණි. දෙදෙනෙකුම ශ්‍රී ලාංකික සිසුවියන්ය. අනෙක් ශිෂ්‍යයා ජපාන ජාතිකයෙකි. තිදෙනාම පාඨමාලාව සාර්ථකව අවසන් කළහ.
2018 දී කාංචනී ජපානයේ නීති ආයතනයක් වන Kojima Law Officers – KLO වෙත සම්බන්ධ වූවාය. ඒ වනවිටද ඇය ජපානයේ ලියාපදිංචි නීතීඥවරියක නොවේ. එම සිහිනය දැකීම වෙනුවෙන් ඇයට ආයතනයේ උපරිම සහාය හිමිවිය. ලියාපදිංචිය සඳහා ජපාන අධිකරණ අමාත්‍යාංශයට කාංචනී අයදුම් කර තිබිණ. ඊට අනුමැතිය හිමිවන්නේ අතිශය සංකීර්ණ ක්‍රියාවලියකිනි. ජපාන සහ ශ්‍රී ලාංකික නීතිඥයින් සම මට්ටමේ තැබිය හැකිදැයි එහිදී සලකා බැලේ. ඒ සඳහා ශ්‍රී ලංකාවේ අණ පනත් ජපන් බසට පරිවර්තනය කර ඉදිරිපත් කිරීමටද කාංචනීට සිදුවිය. එය එතරම් පහසු නොවූ අතර දීර්ඝ කාලයක්ද ගතවිය. ඒ අතර කාංචනී මව් පදවියට සැරසීම හේතුවෙන් අදාළ කටයුතු තරමක් මන්දගාමී විය. එහෙත් දැඩි කැපවීම සහ උත්සාහයේ ප්‍රතිඵලය මත 2021 දෙසැම්බර් මස දසවැනිදා ඇයට ජපානයේ ලියාපදිංචිය සඳහා එරට අධිකරණ අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවිය. එහෙත් එය අවසානය නොවීය. ජපාන නීතීඥ සංගමයද ඉල්ලීම විමසීමට ලක් කළේය. එමෙන්ම ඇය පදිංචි ටෝකියෝහි දයි නි (Tokyo Dai Ni) නීතීඥ සංගමය ද එය විමසා බැලීය. සියල්ල අවසන 2022 මාර්තු මස පළමුවනදා කාංචනී නිල වශයෙන් ලියාපදිංචි වූවාය. එවැන්නක් කළ පළමු ශ්‍රී ලාංකිකයා ඇයයි. කාලයක් දුටු සිහිනය කාන්තාවන් ගැන වැඩියෙන්ම කතා කෙරෙන මාසයේදී සාක්ෂාත් කර ගැනීමට කාංචනී දමින්තා සමත් වූවාය.
‘‘මෙහෙ මිනිස්සු හරිම සුහදශීලීයි. මොන ප්‍රශ්නය තිබුණත් ඒවා පිටට පෙන්නන්නෙ නෑ. ඒ වගේම අනිත් අයගෙ හිත රිදෙන විදියට වචන පාවිච්චි කරන්නෙ නෑ. ඒ නිසා හරිම සැහැල්ලුවෙන් මෙහෙ ජීවත් වෙන්න පුළුවන්. ඒත් මට මගේ රටට යමක් කරන්න ඕනෙ. මොකද මං ඉගෙනගත්තෙ සම්පූර්ණයෙන්ම නිදහස් අධ්‍යාපනයෙන්. ඒ නිසා ඒකෙන් රටට සේවයක් කරන්න ඕනෙ. මං කොයිතරම් සාර්ථක වෙයිද කියන්න දන්නෙ නෑ. ඒත් උපරිමයෙන් උත්සාහ කරනවා.’’
මල් පිපී, ඵල දරන විට ද තමා නැගී සිටි පස අමතක නොකරන කාංචනී දැන් දකින සිහිනය එයයි.
රෂ්නිකා ලියනගේ