විශේෂාංග

අම්මාව බලාගන්න ඕන නිසා මම රස්සාවෙන් අස්වුණා

‘අම්මා’ දරුවෙකුට මල් සුවඳක් වැනිය. තවත් විටෙක ඕ සඳක් සේ සෞම්‍ය සෙනෙහසින් දූදරු ලොව එළිය කරන්නීය. නහවා කවා පොවා ආදරයෙන් ඇතිදැඩි කරන දරුවන්, ලොව රජුන් වනු දැකීම විනා, පෙරලා දූ දරුවන්ගෙන් යමක් අපේක්ෂා නොකරන්නට තරම් බොහෝ අම්මාවරුන් උපේක්ෂාසහගතය. මේ කියන බෝසත් අම්මාවරුන්ගේ ගුණ එසේ වුව ඒ අම්මාවරුන්ටද දූදරු ආදරය, රැකවරණය මහමෙරක් තරමටම වටිනා මොහොතක් ඇත. ඒ ගත සවි වාරු නොමැතිව වයෝවෘද්ධව, ලෙඩ දුක්වලට මුහුණ දෙන්නට සිදුවූ විටය.

‘‘මගේ අම්මා මං වෙනුවෙන් කළ දේවල් බොහොමයි. ඒ කළ දේවල්වලට මේ සංසාරේ කවදා ණය ගෙවන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. අම්මා දැන් ඇහැක්වත් ඇරලා බලන්නේ නෑ. දැන් අවුරුදු දෙකක්ම ඇය ඇඳට සීමාවෙලයි ඉන්නේ. එහෙම එකතැන හිටියත් ඒ මගේ අම්මා කියන හැඟීම තමයි මට ජීවත්වෙන්න බලාපොරොත්තුවක් ගේන්නේ. ඇය නැති දවසක් ගැන මට හිතාගන්න බැහැ.’’

මේ කියන අම්මා කැකිරාවේ පදිංචි ජී.අමරසේකර මාතාවයි. ඇය දැන් අසූහය හැවිරිදිය. දියණිය තිස්හය හැවිරිදි ප්‍රියංගි හේවගේයි. පවුලේ බාල දියණිය වන ඇයට, වැඩිමහල් සහෝදර සහෝදරියන් පස්දෙනෙකි. පවුලේ බඩපිස්සිය වූ ඇය, බොහෝ සැහැල්ලු දිවියක් ගෙවමින් සිටියත් එය වෙනස් වන්නේ අම්මාගේ අසනීපයත් සමඟිනි.

‘‘ඒ කොරෝනා පළමු රැල්ල ආපු දවස්. අම්මට වයසත් එක්ක පුංචි පුංචි අසනීපකම් ආවා. මේ කියන දවසේ මුත්‍රා ආසාදානයක් ඇතිවෙලා, අම්මව අනුරාධපුර මහරෝහලට ඇතුළත් කළා. ප්‍රතිකාර කළත් අම්මට කන්න බොන්න තනිව කරගන්න බැරි අපහසුකම් ආවා. මුලදී වචන කිහිපයක් හරි කතා කරන්න පුළුවන්කම තිබුණත් ටික ටික ඇය ඇස් අරින්නේ නැති තත්ත්වයටම ආවා. කන්නත් බෑ. දියර ජාති පොවන්න NG ටියුබ් එකක් දැම්මා. නාසය හරහා ආමාශය දක්වා තමයි මෙම බටය ඇතුළු කරන්නේ. ඒ තුළින් ලැබෙන සුප්, කැඳ වගේ ආහාරයෙනුයි ඇය ජීවත්වෙන්නේ. මාසයකට පාරක් මේ ටියුබ් එක අලුතින් දාන්න ඕන. මුලදී ඒ වේදනාව එක්ක වෙන්න ඇති අම්මා ඒ බටය ඇදලා දාපු අවස්ථා තිබුණා. දැන් එහෙම නෑ. ඒක එයාගේ ශරීරයේම කොටසක් කියලා දැන් එයා හිතනවා ඇති.’’

ප්‍රියංගි සෑම තත්පරයකම වාගේ හිඳින්නේ අම්මා ගැන සැලකිල්ලෙනි. ඊට රැයක් දවාලක් නැත. මැසි මදුරුවන්ගෙන් කුඩා දරුවකු ආරක්ෂා කරන්නා සේ මවගේ සනීපාරක්ෂාව ගැන උපරිමයෙන් සැලකිලිමත් වෙමින්ද ප්‍රියංගි කරන කාර්යය නිසාම ඒ අම්මාගේ හදවතේ රිද්මය අදටත් ආරක්ෂා වී තිබෙන්නේ යැයි කීම නිවැරදිය.

ප්‍රියංගි, මව රෝගාතුර වනවිට සේවය කළේ, කොළඹ පෞද්ගලික රෝහලක රසායනාගාර සහායිකාවක ලෙසිනි. ඒ අවදියේ ජීවිතය ගැන බොහෝ සිහින එක්කළ ඇයගේ හිතින් අද විවාහයද බොහෝ දුර ගොසිනි. ඒ ඇගේ මුළු ලෝකයම අම්මා වී ඇති නිසාය.

‘‘අපි පුංචි කාලේ අම්මා අපේ කැත කුණු කොච්චරක් නම් අතගාලා ඇද්ද? අපිව නාවලා පවුඩර් ඕඩිකලෝන් දාලා බොහොම ලස්සනට සුවඳට අපිව තියනවා. මම මේ කාලය තුළ මගේ අම්මාව බලාගත්තේ ඒ වගේ. ඇයට කතා කරන්න බැරි වුණාට මම ඇයට කතා කරද්දි යාන්තමට ඇහිපිල්ලම් ගහනවා. වෙලාවකට අම්මගේ කම්මුල් දිගේ කඳුළු බේරෙනවා. කඳුළු මට හඳුනාගන්න පුළුවන්. අම්මට මං දක්වන ආදරයට ඇය මට දක්වන ආදරය ඒ කඳුළුවල තියෙනවා.’’

ප්‍රියංගි කියනා පරිදි ඔවුනට පියා අහිමිවන්නේ 2000 වසරේදී හදිසි හෘදයාබාධයකිනි. එවකට ප්‍රියංගි පාසල් වයසේයි. රජයේ රැකියාවක් කළ පියාගේ විශ්‍රාම වැටුප මවට ලැබෙන අතර, ප්‍රියංගිට අම්මා මේ අයුරින් බලා කියාගන්නට උපකාර වන්නේ එයයි.

‘‘ඇත්තටම මම අම්මා දිහා බලාගෙන ගොඩක් දේවල් හිතනවා. මේ ජීවිතේ ඇතුළේ සැපක් කියලා දෙයක් නැහැ. සමහර අය අම්මා බලන්න ආවම මගෙන් අහනවා කොහොමද මේ තරම් ලස්සනට අම්මව තියාගන්නේ කියලා. ඒ අතර සමහරු අහනවා හමයි, ඇටකටු ටිකයි විතරක් නේද දැන් අම්මගේ කියලා. ඇත්තටම මම කියන්නේ පුංචි කාලේ දෙමාපියෝ අපිව බලාගත්තනම් කොන්දේසි විරහිතව ඇයි අපට දෙමාපියන් බලාකියාගන්න බැරි? මගේ අයියා වෛද්‍යවරයෙක්. NG ටියුබ් එක මාරු කරන එක මාසෙකට වරක් සිදුකරන්නේ අයියා. ඒ වගේම ඔහු ඇතුළුව අනෙක් සහෝදර සහෝදරියොත් ඉඳහිට අම්මව බලන්න එනවා.’’

ප්‍රියංගි කියන්නා ​සේ වයසට යන දෙමාපියන් මහමග අතහැර දමන, නොසලකා හරින දරුවන් ගැන පුවත් ඕනෑතරම් අප දැක තිබේ. ඇතැම් මාපියන්ව බලු කූඩුවල දමා රැකියාවට යන දූ පුතුන්ද ඒ අතර නැතුවා නොවේ. එහෙත් බහුතරයක් දූ දරුවන් තම දෙමාපියන් වෙනුවෙන් නොමැලිව යුතුකම් ඉටුකරන, දෙමාපියන්ගේ අවශ්‍යතා ගැන සොයා බලා කටයුතු කරනා පිරිසක් වීම බෞද්ධ රටක් ලෙස තවමත් අපට සතුටු විය හැකි කාරණයකි. මේ අම්මා දරුවන් හයදෙනෙකු හැදූවද එක්තැන් වූ පසු ඈ ළඟ රැඳී බලාගන්නට ප්‍රියංගී වන් එක් දරුවෙකු හෝ සිටීම ඈ පෙර කළ පින් මහිමයෙන් වූවා වන්නට ඇත. ප්‍රියංගිගේ අම්මා ඇඳේ නිසොල්මන්ව සිටියද, අතීතයේ ඔවුනත’ර වූ ආදරණීය කතාබහ සිහිපත් කරන්නීය.

‘‘මට මගේ අම්මා කතා කළේ සුද්දි කියලා. අම්මා මට ඉස්සර කතා කියාදුන්නා වගේ මම සමහර ලස්සන සිද්ධි එයාට ඇහෙන්න මතක් කරනවා. ඒ වෙලාවට එය යාන්තමට ඇහිපිල්ලම් ගහනවා. මම රෑට නිදාගන්නේ අම්මා ගාව. ඇස් දෙක අරින්නේ නැතත්, අම්මා මගේ අත බොහොම තදින් සමහරවෙලාවට අල්ලගන්නවා. රෑට අම්මගේ සෙම හිරවෙන වෙලාවල් තියෙනවා. එතකොට අර පුංචි ළමයින්ගේ වගේ කටට අත දාලා රෙදි කෑල්ලකින් ඒවා අයින් කරන්න ඕන.’’

එහෙත් මේ වනවිට අමරසේකර මාතාව බොහෝ දුර්වලය. ඒ ජීවිතේ හැටිය. එහෙත් ලැබෙන දියර ආහාර ඖෂධවලටත් වඩා ඇයගේ දිවිය රැකෙන ප්‍රධාන ඖෂධය වී ඇත්තේ ප්‍රියංගිගේ සෙනෙහසයි.

‘‘බට දාලා ජීවත්වෙන එක අම්මට දුකක් වෙන්නැති. ඒත් එහෙම හරි අම්මා ජීවත්වෙන එක මගේ පිනක්.’’

මවක් වෙනුවෙන් වන දුවක​ගේ සෙනෙහස එබඳුය. ඒ සෙනෙහසට ‘ධරණී’ මල්මිටක් පුද කරන්නේ, එවන් ලතෙත් හදවත් මේ මිහිමතට වඩ වඩාත් උවමනා සමයකය.

දීපා වසන්ති එදිරිසිංහ