ගෙදරදොරේ වැඩට උදව් වෙන්නෙ නෝනලාට බයවෙච්ච මහත්තුරුද?
මේක මීට ටික කාලෙකට කලින් මගේ උපදේශනය ගන්න ආව යුවළකගේ කතාවක්. මේ සැමියා විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන කෙනෙක්. ඔහුගේ බිරිඳත් පෞද්ගලික අංශයේ රැකියාවක් කළා. ඒ වෙනකොට මේ දෙපළට දරුවන් දෙන්නෙකුත් හිටියා.
මේ යුවළ විවාහවෙලා තිබුණේ ප්‍රේම සම්බන්ධතාවයකින්. බිරිඳ සැමියට වඩා අවුරුදු හය හතකින් විතර බාලයි. විවාහයෙන් පස්සේ මේ දෙපළ වෙනම පදිංචි වෙලා තියෙනවා.
විවාහ වුණු මුල් කාලේ ඉඳලම බිරිඳට ගෙදරදොරේ වැඩ ගැන ලොකු දැනුමක් තිබිලා නැහැ. කොටින්ම කිව්වොත් ඇය උයන්න පිහන්නවත් දැනගෙන හිටියේ නැහැ කියලා තමයි සැමියා කිව්වේ. ඉගෙනගන්න අවධියේදී මේ සැමියා තනියම බෝඩිමක නැවතිලා හිටියලු. ඒ නිසා ඔහුට උයන්න පිහන්න වගේම ගේදොර වැඩ ගැනත් මනා අවබෝධයක් තිබිලා තියෙනවා.
පංගුපේරුකම් නොහිතා ඉතින් ඔහුත් ගෙදරදොරේ හැම වැඩක්ම කරට අරගෙන කරලා තියෙනවා. කාලයක් යද්දි බිරිඳත් ගෙදර වැඩපළට සහාය වෙලා. ඒත් වැඩි වගකීම් සැමියටලු.
ඉතින් ඔහොම කාලයක් ගතවෙනකොට මේක මේ පවුලේ සාමාන්‍ය ස්වභාවය වෙලා. ඒ ගැන සැමියට ගැටලුවක් තිබිලත් නැහැ. දරුවෝ ලැබුණට පස්සේ දරුවන්ගේ කටයුතුවලදී පවා සෑහෙන වගකීමක් ඔහු බාරඅරගෙන තියෙනවා. මේ සැමියා රැකියාවෙදිත් බොහොම කාර්යබහුල කෙනෙක් නිසා ඔහු බොහොම අපහසුවෙන් මේ සියල්ල හොඳින් කළමනාකරණය කරගෙන තිබුණා.
කාලයක් යද්දි බිරිඳ තමන්ට වැඩවලදි අණ කරන බව මේ සැමියට තේරිලා. ඒ වගේම කොච්චර හොඳ කළත් පොඩි දේක වරදක් දැක්කත් ඇය ඔහුට දෝෂාරෝපණය කරනවලු. ‘‘පවුල වෙනුවෙන් මම කොච්චර මහන්සි වුණත් වැඩක් නෑ මිස්, පොඩ්ඩ වැරදුණු හැටියේ එයා මගේ ඇඟට කඩන් පනිනවා. පිට මිනිස්සු ඉස්සරහා බණින වෙලාවලුත් තියෙනවා.’’
මොන දේ කළත් බිරිඳ දකින්නේ ඔහුගේ අඩුපාඩු විතරයි කියන එක ඔහු කිව්වේ බොහොම සංවේදීව. මේ ගැටලුව නිසා විවාහ ජීවිතේ විතරක් නෙවේ ජීවිතේ පවා එපාවෙලා කියලා ඔහු කිව්වා.
මගේ උපදෙස් මත පස්සේ දවසක ඉතින් ඔහු බිරිඳව මට මුණගැහෙන්න සැලැස්සුවා. විවාහ ජීවිතය ඇතුළේ ඇයට සැමියගෙන් ලැබෙන සහාය කොහොමද කියලා මුලින්ම මම ඇයගෙන් අහලා බැලුවා.
‘‘එහෙම විශේෂ සහයක් නම් ලැබෙන්නේ නැහැ. හස්බන්ඩ් කෙනෙක් විදියට එයා කරන්න ඕන වැඩ ටික ඉතින් කරනවා.’’
ඇය කිව්වේ එහෙම. සැමියා කරන වැඩ මොනවද කියලා මම ඇගෙන් ඇහුවම හැබැයි ඇය සෑහෙන වැඩ ප්‍රමාණයක් විස්තර කළා. සැමියා කරන ඒ වැඩවලට ඔහුව අගය කරනවද කියලා මම ඇහුවම ඇය කිව්වේ ‘‘එයා කරන්නේ එයා කරන්න ඕන වැඩනේ. ඒවට අමුතුවෙන් අගය කරන්න යන්නේ මොකටද?’’ කියලයි.
සැමියා ගෙදර කටයුතුවලට උදව් උපකාර කරන්නේ නැහැ, තමන්ට හැමදේම තනියම කළමනාකරණය කරන්න වෙලා කියලා විවාහ ජීවිතේ ගැන කළකිරිලා උපදේශනවලට ආපු කාන්තාවන් කිහිපදෙනෙකුගේ කතා මම ඇයත් එක්ක කිව්වා.
අපේ සමාජයේ සැමියා අර වැඩ කරන්න ඕනේ, බිරිඳ මෙව්වා කරන්න ඕනේ කියලා යම් බෙදීමක් හැදිලා තියෙනවා. මම මේ කතාව කිව්වේ ඒ වැඩ බෙදීම ගැන කතා කරන්න නෙමෙයි. ඔය බෙදීමත් එක්කම එන අගය නොකිරීම නැත්නම් ප්‍රශංසා නොකිරීම ගැන කතා කරන්න.
අර විදියට වැඩ ටික බෙදාගත්තම අපි හිතන්නේ එයා ඒවා කරන්නම ඕනේ දේවල් කියලා. ඒ නිසා ඔහුව ඇයව අගය කරන්න ඕනේ කියලා අඹුසැමියෝ හිතෙන්නෙවත් නෑ.
අගය නොකිරීම, ප්‍රශංසා නොකිරීම විවාහ ජිවිතය ඇතුළේ දෙන්නගේ බැඳීම පළුදු වෙන්න බලපාන ඉතා සියුම් කාරණාවක්. මේ වගේ සියුම් කාරණා නිසා පවුලකට එකපාර ලොකු හානියක් නොවෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න වතුර බිංදුව බිංදුව එකතු වෙලා ගඟක් උතුරලා යනවා වගේ මේ වගේ කාරණා නිසා පවුල් ජීවිතයක අවසානය සනිටුහන් වෙන්න වුණත් බැරි නැහැ.
විවාහ වුණාම සැමියට සහ බිරිඳට වගකීම් සම සමව බෙදී යනවා. එතැනදී සැමියා/බිරිඳ වෙනුවෙන් දරුවන් වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්න මේ දෙපාර්ශවයටම සිද්ධ වෙනවා. පවුලක් ඇතුළේ ඔවුන් ඒ කැපකිරීම් කරන්නෙ ආපසු කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. ඉතින් එතැන අගය කිරීමක්වත් නැතිනම් ඒ ජීවිතය කර්කශ වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.
පුංචි දරුවෙක් හොඳ වැඩක් කළාම ඔහුව අගය කරන්න ඕනේ කියලා අහලා තියෙනවා නේද? අගය කිරීම්වලින් ප්‍රශංසා කිරීම්වලින් ඔවුන් යම් අභිප්‍රේරණයක් ලබාගන්නවා. පුංචි දරුවෝ විතරක් නෙමේ මහ මිනිස්සුත් අගය කිරීම්වලින් ඔය කියන අභිප්‍රේරණය ලබාගන්නවා. විවාහ ජීවිතේටත් ඒ කාරණාව ඒ විදියටම පොදුයි.
ඉතින් සැමියා බිරිඳ තමන් වෙනුවෙන් මහන්සි වෙනවා නම් එහෙම නැත්නම් විශේෂ දෙයක් කරනවා නම් ඒක අගය කරන්න ඕනේ. විවාහය ඇතුළේ පුංචි පුංචි දේට වුණත් අගය කිරීම් කරනවා නම් ඒ බැඳීම් ශක්තිමත් වෙනවා.
සමහරු ඉන්නවා තමන්ගේ සහකරුවා උපන්දිනේට තෑග්ගක් දුන්නත් ඒකට ස්තූති කිරීමක්, අගය කිරීමක් කරන්නේ නැති. එයා මට තෑග්ගක් දෙන්නම ඕනේ. ඒක එයාගේ යුතුකම වගේ හැඟීමක් තමයි එතැන තියෙන්නේ.
දෙන්නත් එක්ක යාළුවෙලා ඉන්න කාලේ ඔයා ලස්සනයි, ඔයා කඩවසම් කියලා කිව්වට විවාහවෙලා පහු පහු වෙනකොට ඒ වගේ අගය කිරීම් කරන්න බහුතරයකට අමතක වෙනවා. සැමියා බිරිඳ ලස්සන ඇඳුමක් පැළඳුමක් ඇඳලා හිටියම අනේ ඔයා අද හරි ලස්සනයි කියලා කියන්න ලෝබ වෙන්න එපා.
කෙනෙක්ව අගය කරන්න අපෙන් පිටවෙන්නේ වචනයක් විතරයි. මොකද ඒකට අපෙන් මුදලක් වැය වෙන්නේ නැහැනේ. හැබැයි ඒ වගේ වචන නිසා සල්ලිවලට ගන්න බැරිතරමේ ශක්තිමත් බැඳීම් හදාගන්න අපිට පුළුවන්.
සමහර මිනිස්සු ඉන්නවා අනිත් මිනිස්සුන්ව අගය කරන්න හරි බයයි. හොඳයි කිව්වොත්, ලස්සනයි කිව්වොත් එයා ඒක හිතට ගනී නැත්නම් එයාට සතුටක් දැනෙයි, ඔන්න ඔහොම හරි පටු විදියට හිතන අඹුසැමියෝ මට මුණගැහිලා තියෙනවා.
ඔය විදියට අනිත් මිනිස්සුන්ව අගය කරන්න අකමැති අයට තවත් ගැටලුවක් තියෙනවා. ඒ තමයි හැම වැඩකම අඩුපාඩු දකින එක.
දැන් හිතනන්කෝ බිරිඳ හැමදාම මහන්සිවෙලා රසට කෑම උයලා දෙනවා. හැබැයි ඉඳලා හිටලවත් කෑම රසයි කියන්නේ කීයෙන් කී දෙනාද? හැබැයි ඔන්න එක දවසක් හොද්දට ලුණු වැඩි වුණොත් තමන්ගේ බිරිඳට ලුණු ඇඹුල් ඇතිව අමතන මහත්වරු සුලබයි.
ඒ වගේම තමයි බිරින්දෑවරුන් හැමදාම වේලාසනින් ගෙදර එන සැමියා බැරිවෙලාවත් එක දවසක් පරක්කු වෙලා ආවොත් ඒ මනුස්සයව මරාගෙන කන්න හදනවා. පිටස්තර මිනිස්සු ඉදිරියේ තමන්ගේ සැමියාව බිරිඳව අගය කරන්න අකමැති වුණත් පිට මිනිස්සු ඉසසරහ වුණත් බිරිඳව සැමියාව අවතක්සේරු කරන්න සමහරු දෙපාරක් හිතන්නේ නැහැ.
ඔය වගේ දේවල් එක්ක සැමියාට බිරිඳට විවාහය ගැන කළකිරීම් ඇතිවෙන එක සාමාන්‍යයයි. ඉතින් මේ ලිපියෙන් මට කියන්න තියෙන්නේ හැකි සෑම වෙලාවෙම සැමියාව බිරිඳව අගය කරන්න කියන එකයි. එදිනෙදා වැඩවලදි විතරක් නෙවේ ලිංගික බැඳීම්වලදි පවා ඔය අගය කිරීම් කරන්න ඕනේ. දෙන්නෙක්ගේ ලිංගික බැඳීම් පවා ශක්තිමත් වෙන්න ඒ දේවල් හේතු වෙනවා. ඒ විතරක් නෙවේ විවාහය, පවුල වෙනුවෙන් තව තවත් ඇපකැප වෙන්න කෙනෙක්ට ඒකම රුකුලක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ කිව්ව කරුණු කාරණා අර බිරිඳත් හොඳින් තේරුම් ගත්තු බවත් අවාසනයේදී සටහන් කරන්න ඕනේ.
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි
සෙව්වන්දි හෙට්ටිආරච්චි