විශේෂාංග

පූස් දරුවෝ හතක් ඉන්න වයස විසිදෙකේ අම්මා නිපුනි

‘‘මට දැන් දරුවො හත්දෙනෙක් ඉන්නවා. ඒ බන්ටි, කිටී, රස්ටි, ගාෆි, නිකී, ඇල්බස් සහ චන්කි. ඒ හැමෝම ඉස්සර කාත් කවුරුත් නැතුව අසරණ වෙලා හිටිය අය. දැන් එයාලා මගෙ දරුවො වෙලා හරිම සතුටෙන් සැපෙන් ආදරේ අඩුවක් නැතුව ලැබෙන අපේ ගෙදර ඉන්නේ. මම වැඩිදුර අධ්‍යාපනය කටයුතු කරන ගමන් මගේ දරුවන්ව හොඳින් බලාගන්නවා…’’

දරුවො හත්දෙනෙක් හිටියත් මේ අම්මා තවමත් වයස අවුරුදු විසි දෙකක්වත් සපුරා නැත. ඉපදුණදා පටන් කොළඹ හැදී වැඩුණ ඇය නිපුණි විජේරත්නයි. ව්‍යාපාරිකයෙකු වූ තාත්තාගේත්, අම්මාගේ හා එකම අයියා අමිල විජේරත්නගේත් ආදරය මැද සැපවත් ජීවිතයක් ගත කළද සංසාරය පුරාවට ඇය රැගෙන ආ කරුණාබර හිත වෙනස්වූයේ නැත.

‘‘මගේ අම්මයි, තාත්තයි මට කවදාවත් සත්තු අල්ලන්න එපා කියලා නෑ, ඒ නිසාම පොඩි කාලේ ඉඳලා මම අසරණ සතුන්ට පිහිට වෙන්න පටන් ගත්තා.’’

නිපුණි ඒ තරම් අභිමානයෙන් කතා කරන තාත්තා දැන් ඈ සමීපයේ නැත. ඔහු වසර දාහතරක් එක්තැන්ව හිඳ දිවිමගින් සමුගත්තේ 2019 අවුරුද්දේය.

‘‘කොච්චර අසනීප තිබ්බත් ඒ දවස්වල මගේ පූස් දරුවො සනීප කරගන්න තාත්තා මට ලොකු හයියක් වුණා. අම්මා තමයි මට දැන් මගේ පූස් දරුවො අසනීප වුණාම සනීප කරගන්න, ඒ වගේම එයාලා මාව දාලා යන්නම ගියාම මට හිත හදාගන්න ලොකුම හයිය වෙන්නේ.’’

නිපුණිගේ පවුලේ අය දීර්ඝ කාලයක පටන් මස්, මාළු ඇතුළු සත්ත්ව නිශ්පාදනවලින් කරන කිසිඳු ආහාරයක් කෑමට ගන්නේ නැත. ඒ වෙනුවට වසර ගණනක් තිස්සේ අවට සිටින වීදි සතුන්ගේ කුසගින්න ඔවුන්​ගේ පෞද්ගලික වියදමින් දිනපතාම නිවා දමන්නෝය.

‘‘අපේ තාත්තගෙ භෂ්මාවශේෂ තියලා ලස්සන ස්මාරකයක් හදනවට අම්මා අකමැතිවුණා. අපෙත් කැමැත්ත අරන් එයා බොරැල්ල කනත්තෙ තාත්තගෙ භෂ්මාවශේෂ තැන්පත් කරපු තැන අඹ පැළයක් හැදුවා. තාත්තා ආසම පලතුර වුණේ අඹ. එයත් හැමදාම අසරණ සතුන්ගෙ බඩගින්න ගැන හිතුව නිසයි අඹ ගහ ලොකුවුණාම ගොඩාක් කුරුල්ලො ඒකෙන් බඩ පුරවා ගන්නවා සහ එයාලට සෙවනක් වෙන හින්දයි අඹ පැළයක්ම හිටෙව්වේ. දැන් බොරැල්ල කනත්තෙ ඒ අඹ පැළේ ටික ටික ලොකුවෙනවා.’’

නිපුණි පාරෙන් ගන්නේ ලස්සන බෝල ගෙඩිවන් පූස් දරුවන් නොවේ. ලොම් හැලුණ, දුර්වල, ඇතැම්විට ශරීරයේ ලෙඩ රෝග ඇති සතුන් වීම විශේෂත්වයකි.

‘‘දැන් ඉන්න හත්දෙනාගෙන් හතරදෙනෙක්ගේම වකුගඩු අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා විශේෂ කෑම වර්ග තමයි එයාලට දෙන්නේ වගේම එයාලා ගැන ගොඩක් අවධානය යොමු කරනවා මම. පාරේ ඉඳලා ගත්ත අය තමයි හත්දෙනාගෙන් හයදෙනෙක්ම. පර්සියන් වර්ගයේ බබෙක් ඉන්නවා. එයත් කෝමා තත්ත්වයේ ඉඳලා ඇඟේම තුවාල හැදිලා, ලොම් හැලිලා මම ගොඩගත්තේ ගොඩක් මහන්සි වෙලා. මං තනියම හිතලා සත්තු හදන්න ගත්තට පස්සෙ මේ වෙනකොට පූසෝ විස්සක් විතර හදලා තියෙනවා. සමහරු මං ළඟ ලස්සනට ජීවත්වෙලා, ලෙඩ රෝග නිසාම ජීවිතෙන් යන්න ගියා.මගේ ළඟ ඉන්න ඔය හත්දෙනාටම එක එක විදිහේ කතා තියෙනවා. ඇල්බස් දැන් පුංචි කොටියෙක් වගේ හිටියට එයා ගිය අවුරුද්දෙ පාරෙන් ගනිද්දි ඇඟ පුරාම රෑශ් එකක් තිබ්බා. ඇඟේ මජං ගාගෙන බොරැල්ලෙ හරිම අවධානම් තැනක ඉඳලා අරන් ආවේ. එතකොට ඔය ඔක්කොගෙන්ම මං ගැන හුඟක්ම හොයන කෙනෙකුත් ඉන්නවා. ඒ ‘රස්ටි’. එයාව මං අමාරුවෙන් හොයාගත්තෙ අපි ඉන්න පාරෙ ගෙදරක මල් පාත්තියක් අස්සෙ දවස් ගාණක් වැස්සට තෙමි තෙමි කෑගගහ ඉන්නකොට. මුල් දවස්වල කෑගහද්දි හොයාගන්න බැරිවුණා. එයාට ලොකු බඩක් තිබ්බා. පැටව් කියලා හිතන් හිටියට ඩොක්ටර් කිව්වා බඩේ පණුවො කියලා. එයා මට ලැබෙද්දි මාස හයක් ඇති. එයා දැන් ලස්සන ලොකු දරුවෙක්. එයාගෙ ඇස් වපරයි. මං දෙන ආදරේට වඩා ගොඩාක් වැඩියෙන් මට ආදරේ දෙනවා. මගේ ජීවිතේ හම්බවුණ ආදරණීයම දරුවා තමස් රස්ටි. නිතර මා එක්ක කතා කරන්න බලනවා. මං පේන තැනක ඉන්න ඕං. මං දුකෙන් නම් මගේ දිහාම බලන් ඉඳලා කතා කරනවා. එයාට පුළුවන් හඬවල් වෙනස් කර කර කතා කරන්නත්.’’

නිපුණිට මේ පූස් දරුවනුත්, ඒ පූස් දරුවන්ට නිපුණිත් සිටින්නේ පුදුමාකාර වූ බැඳීමකිනි. ජීවිතයට වචනයෙන් කියන්න බැරි සතුටක් මේ සතුන් සතුටෙන් තබා ඈ ලබන්නීය. ඒ සතුන් නිසා ඇගේ මනස නිරන්තරවම සුවපත් වන බවත් ඈ කියන්නීය.

‘‘සමහරක් අය මට කියනවා සත්තුන්ට ඔච්චරටම ඇලෙන්න එපා, සත්තු වෙනුවෙන් ඔච්චර මහන්සි වෙලා වැඩක් නෑ, සත්තුන්ට පුතේ කියද්දි හිනා යනවා, ඔයත් තාම පොඩි ළමයෙක් ඒ නිසා කොහොමත් පුතේ කියන්න එපා කියලා. ඒ අයට තේරුමක් නෑ ඒ ජීවිතයක වටිනාකම. ඒ වගේම මම එයාලට පුතේ කියලා ආදරෙන් කතා කරන්නේ ඒ අය මට දරුවෝ වගේම මට දැනෙන නිසා. ඒ ජීවිතවල උපතට මම සම්බන්ධ නැති වුණාට ඒ ජීවිතවලට ජීවිතයක් මමයි හදලා දුන්නෙ කියන එක මමත් මම ළඟින්ම ඉන්න අයත් දන්නවා.’’

නිපුණි අනෙක් වැඩිහිටියන්ට පුංචි පණිවිඩයක්ද තබන්නීය. ඒ ඇගේ අම්මාත් තාත්තාත් ඇය කුඩා වියේ සතුන්ට ආදරේ කරන හැටි කියා දුන්නා සේ තමන්ගේ දරුවන්ට පොඩි කාලයේ පටන් සතුන්ට ආදරය කරන හැටි උගන්වන ලෙසයි.

බියංකා නානායක්කාර