විශේෂාංග

රජ සැප වානා කුණු ඇහිඳින්නයි ඕනා

‘දුප්පත් පොහොසත් දෙකක් ඕන නෑ භූමිය මත ලෝකේ’ කියලා එච්.ආර්.ජෝතිපාල මහත්තයා කිව්වට මේ මහපොළොව උඩ පත්තියං වෙච්ච ඒ බෙදීම තව කල්පෙකටවත් අතුරුදහන් වෙයි කියලා හිතන්න බෑ. මේ කතාවේ අපේ කතානායකයා වෙන ‘මම්මික්කා’ ඉපදුනෙත් අන්න ඒ දුප්පත් කියන සමාජ පන්තියේ. එක්දහස් නවසිය හැට ගණන්වල ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අඟහිගකම් අතින් පහළම අඩියේ හිටපු පවුලකයි ඔහු ඉපදුණේ.

කාලය ගෙවිලා යනවා වගේම මම්මික්කගේ ජීවිතෙත් ඔහේ ගලාගෙන ගියා. හඳ අල්ලන්න තරම් බලාපොරොත්තු නොතිබුණත් විටින් විට අතට අහුවෙන පොඩිපහේ රැකියාවක් කරලා ඔහු පවුලේ බර තමන්ගේ කරට ගත්තා.

වයස අවුරුදු පනහක් වෙද්දිත් ස්ථීර රැකියාවක් නොතිබුණු නිසා ඔහු ගෙවමින් හිටියේ ජීවිතේ අමාරුම කාලයක්. මොකද ඔහුගේ වයසයි පෙනුමයි එක්ක සුළු රැකියාවක් දෙන්නවත් කිසිම මනුස්සයෙක් කැමති වුණේ නෑ. දින කීපයක් ඔය විදියට බඩට හරිහමන් කෑමක් නොවැටෙනකොට පවුල අතෑරලා කොහෙට හරි ගිහින් පුළුවන් විදිහකට තනියම ජීවත්වෙන්න ඔහු තීරණය කළා.

පහුවදාම පැදුරටත් නොකියා ඉන්දියාවෙම වෙන පළාතකට ඔහු ගියේ ජීවිතේ ගැටගහගන්න පුළුවන් විදියෙ කුලියක් මලියක් හොයාගෙන. ඒ ගියා කියලත් ලොකු වෙනසක් වුණේ නෑ. හැබැයි ඔය අතරෙ මොකක්දෝ වාසනාවකට ඔහුට පුංචි රැකියාවක් ලැබුණා. ඒ නගරය සුද්ධපවිත්‍ර කරන්නෙක් විදිහට. එදා ඉඳන් ඔහු කරන්නේ දවස පුරාම වීදියක් වීදියක් ගානේ කුණු එකතු කරන එක. හැබැයි ඒ වෙනකොටත් පවුලේ මිනිස්සු හිතන්නේ ඔහු අතුරුදන් වෙලා කියලා. මුලදි ඔවුන් මම්මික්කව හතරඅතේ හෙව්වත් අවසානේ ඔවුන් තීරණය කරනවා ඔහු මැරිලා කියලා හිත හදාගන්න.

එදත් සුපුරුදු විදිහටම කට්ට අව්වේ පිච්චි පිච්චි මම්මික්කා නගරය පීරලා කුණු එකතු කළේ ටිකක් කලින්ම නවාතැනට යන්න බලාගෙන. ඒක ඔහුගේ ජීවිතේ කණපිට පෙරළෙන දවසක් කියලා ඔහුට නිකමටවත් හිතිලා තිබුණේ නෑ. ඉතින් මම්මික්කා රෑට කන්න එළවලුවක් දෙකක් අරන් තමන්ගේ නවාතැනට යන අත‍රේ ඔහුගේ ජීවිතේ වෙනස් කරන පුද්ගලයාත් ඔහු අසළින්ම ගමන් කරමින් හිටියා. ඒ වෙන කවුරුත් නෙවෙයි, ඉන්දියාවේ මංගල ඇඳුම් ව්‍යාපාරයක් කරපු ‘ෂරීක් වයලීල්’ කියන මැදි වයසේ තරුණයා.

අවපැහැ ගැන්වුණු සරමට අපිළිවෙල පරණ කමිසේ ඇඳලා හිසේ ජටාවක් බැඳගෙන යන මම්මික්කා දැකපු ෂරීක් එක්වරම ගල් ගැහුනා. කොලිවුඩ් චිත්‍රපට ලෝලියෙක් වුණු ෂරීක් කුණු එකතු කරන මේ මනුස්සයගෙන් එක්වරම දැක්කේ තමන් බැලූ චිත්‍රපටියක හිටපු කොලිවුඩ් නළුවෙකුගේ පෙනුමක්. එසැනින් ඔහු තමන් අත වූ කැමරාවෙන් මම්මික්කගේ ඡායාරූප කීපයක් ලබාගත්තා. ජීවිතේට ඡායාරූපයකට නොහිටපු ඔහුටත් දැනුණේ පුදුම සතුටක්. ඒක නිසාම වයසින් අවුරුදු හැටක් වුණත් ඡායාරූපයට විස්සේ විසිදෙකේ මනමාල හිනාවක් දාන්නත් ඔහු අමතක කළේ නෑ.

ගෙදර ගිහින් මම්මික්කගේ ඡායාරූප බලද්දි ෂරීක්‍ට අලුත් අදහසක් පහළ වුණා. ඒ තමයි මම්මික්කව නිරූපණ ශිල්පියෙක් විදිහට අන්ඳවලා ඔහුගේ මංගල ඇඳුම් ව්‍යාපාරයට ගැළපෙන ඡායාරූප කීපයක් ලබාගන්න. අවසානේ ඔහු ඒක කළා. හැබැයි ඒක ලේසි වුණේ නෑ. මොකද ඉබ්බෙක්ගෙන් පිහාටු ඉල්ලන සයිස් එකේ සෑහෙන බලකිරීමක් කරලයි මම්මික්කව ඒකට කැමති කරගත්තේ. කොහොම හරි ඒ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ වුණාට පස්සේ මම්මික්කා නැවතුණේ එක රැයකින්ම සමාජජාල තරුවක් වෙලා.

මේ අතර තව අපුරු සිද්ධියකුත් වුණා. ඒ තමයි මම්මික්කගේ පවුලේ අයත් සමාජ මාධ්‍ය හරහා මේ ඡායාරූප දැකපු එක. ඔහු මියගියා කියලා මීට අවුරුදු දහයකට කලින් හිත හදාගත්ත පවුලේ උදවිය ඔහු තාමත් ජීවතුන් අතර කියලා දැනගත්තෙ එහෙම. කොහොම හරි මේ වෙනකොට මම්මික්කට රංගනයට පවා ආරාධනා ලැබිලා තිබෙන බවයි ආරංචි. ඒත් කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බෑ කියලා කියනවනේ. ඒ කතාව සහතික ඇත්තක් කරලා අද මම්මික්කා කටපුරා හිනාවෙන ගමන් මාධ්‍යයට මෙන්න මෙහෙම කියනවලු.

‘‘නිරූපණ ශිල්පියෙක් විදිහට නිරූපණයට එකතු වුණත් මට පුරුදු කුණු එකතු කරන රස්සාව නම් කීයටවත් අතාරින්නේ නෑ. මොකද මට මේ හැමදේම ලැබුණේ ඒ රස්සාව හින්දයි.’’

රුවන් එස්.සෙනවිරත්න