සුව දිවිය

සිංහලට කලියෙන් ඉංග්‍රීසි උගන්නන්න ගියොත් කථන ආබාධ ඇතිවෙන්න පුළුවන්

අවුරුදු හතරක් ලැබුවද දියණිය හරියට වචනයක් දෙකක් කතා නොකිරීම ගැන අරුණි සිටියේ මහත් දෙගිඩියාවෙනි. නැගණිය වූ තිළිණිගේ දියණිය තම දියණියට වඩා වයසින් අවුරුද්දක් බාල වුවද ඇය හරි හරියට වචන කතාකිරීම ඒ දෙගිඩියාව තවත් වැඩි කළේය. මේ තත්ත්වය බලාසිටිය නොහැකි තැන ඇය ළමා රෝග විශේෂඥවරයෙකුට දියණිය පෙන්වූ අතර ඔහුගේ අදහස වූයේ දියණිය කථන භාෂා චිකිත්සකවරයෙකුට පෙන්විය යුතු බවයි. මේ අනුවයි ඇය දියණියද කැටුව ජ්‍යේෂ්ඨ කථන භාෂා චිකිත්සක ජයමලී රූපසිංහ ජයසිංහ හමුවට යන්නේ.

‘‘මුලින්ම දරුවෙක් සන්නිවේදනය කරන්න පටන් ගන්නේ මව්කිරි උරාබොන අවස්ථාවේ ඉඳලා. ඒ කියන්නේ මුලින්ම අදහස් හුවමාරු කරගන්නේ තමන්ගේ මවත් එක්ක. ඊටපස්සේ අවුරුද්දක් විතර යනකොට වචන කියන්න පටන් ගන්නවා. අවුරුදු දෙක වෙනකොට වචන දෙකක් එකට කියන්න උත්සාහ කරනවා. අවුරුදු තුන වෙනකොට වචන දෙක තුනක් එකට දාලා ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. ඒ වයසේදි තමයි දරුවෙක්ට පාට හැඩතල වගේ සංකල්ප මතුවෙන්නේ. ඊළඟට අවුරුදු හතරේදි දරුවෙක් සාමාන්‍යයෙන් ලියන්න කියවන්න උත්සාහ කරනවා. වයස අවුරුදු පහක් වෙනකොට දරුවෙකුට පූර්ණව ලියන්න කියන්න හැකියාව ලැබෙනවා. ඔය අවුරුදු පහ ඇතුළේ තමයි හැම දරුවෙකුගේම කථන වර්ධනය සිද්ධවෙන්නේ…’’

දරුවෙකුගේ කථන වර්ධනය හරියාකාරව සිදු නොවීමට හේතුවක් වන්නේ එම දරුවාගේ කථන වර්ධන අවධිය තුළ දරුවාට අවශ්‍ය සහාය නොලැබී යාමයි. වත්මන් කාර්යබහුල ජීවන රටාවත් සමඟ දරුවන් සමඟ ගතකිරීමට තරම්වත් කාලයක් දෙමාපියන්ට නැත. කථන භාෂා චිකිත්සකවරිය පවසන්නේ ගසක් වැඩෙන අවධියේදී ඊට අවශ්‍ය ජලය, පොහොර ටික නැතිවුවහොත් ඒ ගසේ වර්ධනය බාලවෙන්නා සේ දරුවාටද ඒ තත්ත්වය බලපාන බවයි.

‘‘ලංකාවේ ගොඩාක් දෙමාපියන් දරුවන්ට මව් භාෂාවට කලින් දෙවෙනි භාෂාවක් උගන්වන්න යනවා. ඒ කියන්නේ දරුවා සිංහල නම් දෙමාපියන් ඒ දරුවා එක්ක ගනුදෙනු කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. අන්න ඒක ලංකාවේ දෙමව්පියෝ කරන හරි වැරදි වැඩක්. ඒක බලපාන්නේ දරුවටමයි. මං නම් කියන්නේ දරුවෙක්ට මුලින්ම තමන්ගේ මව් භාෂාව හුරුකරවන්න ඕනේ. ඒ එක්කම දෙමව්පියන් දරුවෙකුට කතා කරනකොට සරලව වගේම කෙටි වාක්‍යවලින් කතා කරන්න ඕනේ. ඒත් එක්ක මුහුණේ ඉරියව් තුළින් ඒ හැඟීම් පෙන්නුම් කරනවා නම් තවත් හොඳයි. කතාවත් එක්ක අංග චලනයත් තියෙනවා නම් ඊටත් වඩා හොඳයි. ඒ වගේමයි නිතරම දරුවත් එක්ක මොනවා හරි දෙයක් කතා කරන්න ඕනේ. අද ගොඩාක් දෙමව්පියෝ කරන වැරැද්දක් තමයි සෙල්ලම් බඩු එක්ක දරුවාව තනිකරලා රවට්ටලා තමන්ගේ වැඩ කරන එක. අන්න ඒකත් දරුවට බලපානවා. කොහොමත් කථන අවධිය තුළ දෙමාපියන් ළඟ ඉන්න එක දරුවගේ කථන වර්ධනයට ඍජුවම බලපානවා.’’

මීට අමතරව ඇතැම් කථන දෝෂ ඇතිවන්නේ උපතිනි. නමුත් හඳුනාගත් මුල් කාලයේදීම ඊට පිළියම් සෙවිය යුතුය.

‘‘උපතේදීම දරුවාගේ තල්ල පිහිටීමේ ස්වරූපය අනුව කථනයේ යම් අපහසුතා දකින්නට පුළුවන්. වගේම මොළයේ කතා කිරීම සම්බන්ධ වගකීම් දරන කොටසේ ඇති යම් යම් දුර්වලතා හේතුවෙනුත් එහෙම වෙන්න ඉඩක් තියෙනවා. අනික කන් ඇසීමේ ප්‍රශ්න හේතු කොටගෙනත් කතා කිරීම ප්‍රමාද වෙන්න පුළුවන්. කථන වර්ධනයට එහෙම හේතුත් බලපානවා.’’

මේ අතර හොඳින් අතු දමා වැඩෙමින් තිබූ ගසක් එක්වර මැළවී යන්නා සේ උපතේදී කිසිඳු කථන දෝෂයක් නොමැතිව උපදින දරුවා පසුකාලීනව යම් යම් කථන දෝෂයන්ට මුහුණපෑමට ඉඩ තිබේ. ඊට බොහෝවිට බලපාන්නේ පවුල් පරිසරයේ ඇතිවන ගැටලුය. ඒ හරහාද දරුවෙකුගේ කථන වර්ධනයේ යම් යම් ප්‍රශ්න ඇතිවිය හැකිය.

‘‘දරුවාගේ කථන ප්‍රශ්නවලට පවුලේ බලපෑමත් එන්න පුළුවන්. ඒ කියන්නේ කථන වර්ධන අවධියේදි දෙමාපිය අඬදබර වගේ දේවල් දරුවට බලපානවා. අනික තමයි පුංචි කාලේ දරුවෙකුට සැරවැර කිරීම, බැණවැදීම, පහරදීම වගේ දේවල් නොකළ යුතුයි. ඒත් මේ ගැන දෙමාපියන් දැනුවත් නෑ.’’

සාමාන්‍යයෙන් දරුවෙකුගේ කථන ප්‍රමාද තත්ත්වයන් ඇතිවිය හැකිය. එහෙත් ඇතැම් දරුවන් ඉක්මණින් කතා කරනවාද විය හැකිය. එම නිසා දෙමාපියන් කිසිම මොහොතක ඔබේ දරුවාව වෙනත් දරුවන් සමඟ සන්සන්දනය නොකළ යුතුය. එවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් ඔබ කළ යුත්තේ ළමා රෝග විශේෂඥවරයෙකු මුණගැසී රෝග විනිශ්චය කර අනතුරුව කථන භාෂා චිකිත්සක සහාය ලබාගැනීමයි. අවසානයේ කථන භාෂා චිකිත්සකවරිය දෙමාපියන් වෙනුවෙන් පවසා සිටියේ මෙවැන්නකි.

‘‘දරුවෙකුගේ කථන වර්ධන අවධිය ඒ දරුවාගේ ජීවිත කාලයටම බලපාන අවධියක්. ඒ නිසා එම කාලය තුළ කිසිම අවස්ථාවක ඔබ දරුවන් තනි කරන්න එපා. මොකද දරුවන්ගේ කථන හැකියාවට දෙමාපියන්ගේ සහාය උපරිමයෙන් ඕනේ.’’

ජයමලී රූපසිංහ ජයසිංහ

(BSc.Sp.Sw.DPsy.c)

ජේෂ්ඨ කථන භාෂා චිකිත්සක

SLMC Reg No:06

 

රුවන් එස්.සෙනවිරත්න