විශේෂාංග

සුනාමියට ගසාගෙන ගිය දැරියක් මැදිරිගිරියෙන් මතුවෙලා

කැලණිතිස්ස රජු දවස කඳුළු කතාවක් ලියූ මහමුහුද එතෙක් නිහඬව සිට 2004 දෙසැම්බර් 26 වෙනිදා යළිත් කඳුළු කතාවක් ලියුවේය. කිසිවෙකුත් නොසිතූ මොහොතක ආ එම සුනාමි රළ පහරින් දහස් ගණනක් දරුවන්ට සෙනෙහෙබර මව්පියන් මෙන්ම මව්පියන්ට තම ආදරණීය දරු පැටවුන් අහිමි කළ දිනයක් ලෙසයි එදින සටහන් වූයේ. යළි එවන් දිනයක් සිහිනයකින් හෝ ප්‍රාර්ථනා නොකළත් අපට මේ කතාව පටන් ගන්නට වෙන්නේ 2004 දෙසැම්බර් 26 වෙනිදා උදෑසනින්ය.

ඒ වනවිට ඇයට යන්තම් අවුරුදු පහක් පිරුණා පමණි. තංගල්ලේ ඉපදුණු මේ පුංචි එකීගේ ලොකුම සිහිනය වී තිබුණේ තවත් දින කීපයකින් පාසල් යන්නටයි. එහෙත් ඒ සියලු සිහින සුනුවිසුණු කරමින් ආ සුනාමි ජල කඳ ඇයවද රැගෙන ගියාය. උදව් ඉල්ලා කෑ ගැසීමට තරම් දැනුම් තේරුම් වයසක නොසිටි මේ පුංචි කෙල්ලට එතැනින් එහා සිදුවූ කිසිවක් මතක නැත. එතැන් පටන් ඇගේ නමත් එක්වූයේ සුනාමියෙන් අතුරුදන් අයවලුන්ගේ ලැයිස්තුවටය.

ඒ ඛේදවාචකය වී දැන් දහඅට වසරක් ගතවී තිබේ. කාන්තා දිනය තිබූ පසුගිය මාර්තු 08 වෙනිදා හරි අපූරු සිදුවීමක් මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා විය. ඒ මීට දහඅට වසරකට පෙර ඉහත කී සුනාමියෙන් අතුරුදන් වූ පස් හැවිරිදි දියණිය දෙදරු මවක්ව සිටියදී හමුවීමයි.

‘‘එදා දවස ගැන මට ලොකු මතකයක් නෑ. මට මතක සුනාමියට ගහගෙන යනවා විතරයි. ඒ ගැන වෙන කිසිම දෙයක් මතක නෑ. මාව බේරගත්තේ කවුද, බේරගත්තේ කොහොමද කියලාවත් මතක නෑ. හැබැයි ඒ වෙනකොට ඉස්කෝලේ යන්න ඔන්න මෙන්න හිටියේ කියලා මතකයි. ඒ හින්දා මට වයස අවුරුදු පහක් වගේ වෙන්න ඇති. අපේ ගෙදර මමත් එක්ක හයදෙනෙක් හිටියා. ඒ අම්මයි, තාත්තයි, සහෝදර සහෝදරියෝ තුන්දෙනයි.’’

එදා මුළු පවුලම සුනාමියට ගසාගෙන යද්දී මොකක්දෝ පිනකට ඇයගේ ජීවිතය බේරී තිබුණි. ඒත් එදා ඇයට දිවි බේරාගැනීමට උදව් කළේ කවුරුන්ද යන්න ඇය අදටත් දන්නේ නැත. කෙසේ වුවද සුනාමියෙන් පසු තංගල්ල ප්‍රදේශයේ සුනාමි රැඳවුම් කඳවුරක සිටියදී එම ප්‍රදේශයේම විදුහල්පතිනියකගේ නිවසකට ඇයව රැගෙන ගිය බව ඈට මතකය.

‘‘මට මගේ ඉස්සර නම මතක නෑ. මං නැවතිලා හිටපු ගෙදර අය දාපු නමයි දැනට පාවිච්චි කරන්නේ. මගේ දැන් නම කේ..කමලා පෙරේරා. ඉතින් ඒ ගෙදර කාලයක් ඉන්නකොට විදුහල්පතිනිය පිළිකාවක් හැදිලා නැතිවුණා. මං හිතන්නේ ඒ වෙනකොට මට වයස අවුරුදු දොළහක් වගේ ඇති.’’

කමලාගේ ජීවිතය නැවතත් වෙනස් වෙන්නේ එතැන් පටන්ය. විදුහල්පතිනියගේ හදිසි මරණයත් සමඟ ඇගේ නැගණිය කමලා ඇගේ කොළඹ නිවසේ මෙහෙකාරකමට රැගෙන ගියාය. එතැනදී ඇයට නිවසේ වැඩපළ කරමින් දරුවන් බලාගැනීමයි පැවරුණේ. එලෙසින් වසර දෙකක් ගතවෙද්දී එම නිවසේ ඉදිකිරීම් කටයුත්තකට පැමිණි තරුණයෙක් සමඟ හාද වී හොර රහසේම ඔහු සමඟ මැදිරිගිරිය ප්‍රදේශයට ගියද ඒ වනවිටත් කමලා සිටියේ පවුල් කන වයසක නම් නොවේ.

‘‘ඊටපස්සෙ මට දරුවෝ දෙන්නෙක් ලැබුණා. ඒත් කිසිම සතුටක් ඒ ජීවිතේ තිබුණේ නෑ. මොකද මාව ආදරෙන් බලාගන්නවා කියලා එක්කන් ආවට ඒ හැමදේම කටවචනයක් විතරක් වුණා. අන්තිමේ එයා මගේ බඩට ළමයි දෙන්නෙක් දීලා යන්න ගියා.’’

ආදරය ගැන හෝ ජීවිතය ගැන මුලකුරක් නොකියා තිබූ පවට කමලා කබලෙන් ලිපට වැටු​ණේ එහෙමය. මේ අතර තම සැමියා අතින් රැවටුණු එකම තරුණිය තමන් නොවන වගද ඇයට කණින් කොනින් ආරංචි වෙන්නට විය. ඒ නිසා වරක් සුනාමියෙන් අසරණ වූ ඇය එයින් වසර දහඅටක් ගිය තැන දරුවන් දෙදෙනෙකුද සමඟ යළිත් අසරණ වී ඇත.

‘‘මං මේ සිද්ධිය එළියට කියලා ප්‍රසිද්ධ වෙන්න කැමති වුණේ නෑ. ඒත් දැන් මං දරු පැටව් දෙන්නෙක් එක්ක අසරණයි. ඔලුවේ තියෙන එකම බර හරිහමන් විදිහට ඉන්න තැනක් නැති එක. රැකියාවකට කියලා කරන්නේ කුලී වැඩ. ඒත් ළමයි දෙන්නා දාලා ඈතකට වැඩට යන්න බෑ. ඒක නිසා ළඟ කුලී වැඩක් තිබුණොත් විතරයි යන්නේ. දැනට මමයි දරුවෝ දෙන්නයි ජීවත්වෙන්නේ එහෙමයි.’’

කමලාට සිටින දරුවන් දෙදෙනාගෙන් වැඩිමලා පුතෙකි. ඔහු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටියි. බාලයා දියණියකි. ඇය සිටින්නේ පෙරපාසල් යන වයසේය.

‘‘ළමයින්ගේ තාත්තා අපිව දාලා ගියාට පස්සේ ළමයි දෙන්නත් එක්ක මං තනිවුණා. දැන් කුලී ගෙදරක තමයි ජීවත්වෙන්නේ. මේ වෙනකොට ඉන්න කුලී ගෙදරිනුත් අපිට යන්න කියලයි තියෙන්නේ. දැන් ඉතින් කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බෑ.’’

තමන්ගේ කියා හිසට වහලක් නොමැතිව අනේකවිධ දුක් විඳිමින් කුලී නිවසක පදිංචි වී සිටින ඇයට දැන් ඇත්තේ එකම එක අහිංසක සිහිනයකි. ඒ සිහිනය සැබෑ වුවහොත් දහඅට වසරක් පුරා ඇගේ ඇස් අග්ගිස්සෙන් වැටුණු කඳුළුවලට පුංචිම හෝ විවේකයක් ලබාදිය හැකි බව අපේත් විශ්වාසයයි.

‘‘මං බලාපොරොත්තු වෙන්නේ එකම එක දෙයයි. ඒ මට පුංචි ගේ කෑල්ලක්. ඒ ඉල්ලන්නෙත් මගේ ගැන හිතලා නෙවෙයි මගේ දරු පැටව් දෙන්නා ගැන හිතලා. මගේ දුවට ඉදිරියේදී ආරක්ෂාව ඕනේ. ඒ නිසා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට ඉන්න හිටින්න පුංචි ගේ කෑල්ලක් හදලා දෙන්න. මං ඉල්ලන්නේ එච්චරයි.’’

එසේ පැවසූ ඇය ඇසෙන් වැටෙන්නට ආ කඳුළු සඟවමින් අහිංසකව සිනාසුණාය.

භාතිය වෙඩිවර්ධන