නොපිපුණු රෝස කැකුළු තලන්නට වියපත් පිරිමින්ට අනුබල දෙන අමුතු ලෙඩේ පීඩොෆීලියා
රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටියදී තමන්ගේ දියණියව පුළුස්සා මරා දැමූ පසු ඉෂාලිනීගේ මව නීතිය ඉදිරියේ හඬා වැටුණාය. ඉතාම හුරතල් වයසක පසුවූ සේයා සඳෙව්මි දැරියද පාපතරයෙකුගේ කාමාශාවක ගොදුරක් බවට පත්ව මියගියාය. ගල්කිස්සේ පහළොස් හැවිරිදි දැරියක් සමාජ මාධ්‍ය හරහා අලෙවි කළ පුවතේ උණුසුම මැකෙන්නටත් පෙර තවත් ළමා අපයෝජන රැල්ලක් වාර්තා වීමට පටන් ගත්තේය. වාර්තා වන අන්දමට ළමා අපයෝජනවලට සම්බන්ධ පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් වැඩිහිටි පිරිමින්ය. එමෙන්ම එවැනි ඉරණම්වලට මුහුණදෙන දරුවන්ගෙනුත් සැලකිය යුතු පිරිසක් වැඩිවියට නොපැමිණි ගැහැනු දරුවන් වීම විශේෂය. ඒ ගැන කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් පවසන්නේ වැඩිහිටි පිරිමින් මෙවැනි ක්‍රියාවන්ට යොමුවීමට අදාළ මානසික හේතුකාරණා පවතින බවයි.
‘‘කවුරුහරි පුද්ගලයෙක් කුඩා දරුවෙකුට අතවරයක් කරලා කියලා දැනගත්තම අපි ඉබේටම කියන්නෙ ‘මෙච්චර ගෑනු ඉන්න රටේ පොඩි එවුන් විනාස කරන මුන් මානසික ලෙඩ්ඩුද?’ කියලනේ. මම ඒ කතාව මෙතැනදි මතක් කළේ මොකද ඒ විදියේ යම්කිසි ප්‍රමාණයකින් ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා කියලා කියන්න ඕන නිසා. හැබැයි එහෙමයි කියලා ළමා අපයෝජන සිද්ධිවලට සම්බන්ධ හැමෝම මානසික රෝගීනුත් නෙවෙයි.’’
එය වැඩිහිටියන් කුඩා ළමුන් කෙරේ ආකර්ෂණය වන ‘පීඩෝෆීලියා’ නමැති මානසික රෝගය බවත්, එවැනි පුද්ගලයන් ලිංගිකව එක්වීමට කැමැත්තක් දක්වන්නේ වැඩිවියට පත්නොවූ කුඩා ගැහැනු දරුවන් සමඟ පමණක් බවත් වෛද්‍යවරයා කියන්නේය.
‘‘ඇත්තටම මේ පීඩෝෆිලියා කියන්නේ ලිංගික අපවර්ධන රෝග කාණ්ඩයේ තවත් එක රෝගයක්. එවැනි පිරිමින්ට වැඩිහිටි කාන්තාවක් සමඟ ලිංගිකව එක්වෙලා සතුටක් ලබන්න බෑ. ඔවුන් සතුටක් ලබන්නේ කුඩා දරුවන් සමඟ කෙරෙන ලිංගික එක්වීමකින්ම විතරයි. මෙතැනදී කුඩා දරුවන් කිව්වම අවුරුදු 18ට අඩු නව යෞවන වියේ සිටින ගැහැනු දරුවන් අයිති වෙන්නෙ නෑ. එවැනි පුද්ගලයින් ගොදුරු කරගන්න මාන බලන්නෙම වැඩිවියට පැමිණිලා නැති කුඩා දරුවන් විතරමයි.’’
එනිසාම කුඩා දරුවන්ට සමීපවීමේ කුඨ උපායක් ලෙසින් එවැනි පුද්ගලයන් දරුවන් අසාමාන්‍ය ලෙස හුරතල් කිරීම සහ ඔවුන්ගේ වැඩිහිටියන් තුළ මහත් විශ්වාසයක් ඇති කිරීමටත් කටයුතු කරනා බවයි වෛද්‍යවරයා අපට කියා සිටියේ.
‘‘පීඩෝෆීලියා රෝගයට ගොදුරු වෙලා ඉන්න පුද්ගලයෝ දරුවන්ව ඒ සඳහා යොමු කරගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා. මුදල් අඟහිඟකම් ඇති දරුවන්ට අධ්‍යාපන කටයුතුවලට මුදල් වියපැහැදම් කරලා ඒ ඔස්සේ දරුවන්ට ළංවෙන්න පුළුවන්. ඒ වගේම දෙමව්පියෝ විදේශගතවෙලා ඉන්න දරුවන්ගේ පාලුව කාන්සිය මකලා ඒ ඔස්සේ දරුවන්ව ගොදුරු කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අන්තර්ජාලය හරහා ගොඩනගාගන්නා සම්බන්ධකම් ඔස්සේ දරුවන්ව හිතවත් කරගෙන දිගු කාලයක් සැලසුම්කොට අපයෝජනයට ලක් කරන්න උත්සාහ කරන පුද්ගලයොත් ඕනතරම් ඉන්නවා. විශේෂම කාරණාවක් කියන්න ඕන මේ පුද්ගලයෝ නිතරම උත්සාහ කරනවා ළමා නිවාසවලට හරි ළමයින් සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානවලට හරි සම්බන්ධ රැකියා හොයාගන්න. ඒ නිසා එවැනි ආයතනවල රැකියාවලට පුද්ගලයින් බඳවා ගන්නට පෙර එවැනි චෝදනාවලට ලක්වෙලා තියෙනවද කියලාත්, එවැනි රෝග ලක්ෂණ තියෙනවාද කියලත් හොයාලා බලන්න ආයතන ප්‍රධානීන් සැලකිලිමත් වෙනවා නම් තමයි හොඳ.
විශේෂයෙන්ම මෙවැනි පුද්ගලයින් දරුවන්ට අත දිගහැරලා තෑගි බෝග දෙන්නත්, මුදල් ලබා දෙන්නත් දෙපාරක් හිතන්නේ නැහැ. එතකොට දරුවො වුණත් ඉක්මණට ඒ අය ගැන පැහැදෙනවා විතරක් නෙවෙයි යම්කිසි දෙයක් දෙමාපියන්ගෙන් හංගන්න කිව්වත් දරුවො අකුරටම ඒක පිළිපදිනවා. හැබැයි මීට අමතරව ළමයින්ව බිය වද්දලා වැඩිහිටියන්ගෙන් හැමදේම හංගන්න කියන පුද්ගලයොත් ඒ අතරෙ ඉන්නවා.’’
වයස්ගත වනවිට පුරුෂ පාර්ශවයේ ලිංගික ආශාවන්වල අඩුවීමක් සිදු නොවුණත්, කාන්තා පාර්ශවයේ ලිංගික ආශාවන් ක්‍රමයෙන් හීනවන බව වෛද්‍ය විද්‍යාවට අනුව සනාථ වූවකි. නමුත් බොහොමයක් වියපත් පිරිමින් කුඩා ළමුන් කෙරේ ඇදී ඒමට හේතුව භාර්යාව වයස්ගත වීමම නොවන බවයි ඔහු කියා සිටයේ.
‘‘මෙහෙමයි. බොහොමයක් පිරිමින් ගොදුරුවෙලා ඉන්න මේ පීඩෝෆීලියා මානසික රෝගයට හේතුව මොකක්ද කියලා තාම වෛද්‍ය විද්‍යාවට අනුව හොයාගෙන නෑ. නමුත් පීඩෝෆීලියා තිබුණු තැනැත්තෙක් ළමා අපචාරයක් කළොත් රෝගියෙක් කියලා නීතියෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා ඔවුන්ට විරුද්ධව නීතිමය කටයුතු කෙරෙන අතරවාරේ අසාමාන්‍ය ලිංගික ආශාවන් නැති කරලා සාමාන්‍ය තත්ත්වයට ගේන්න උපදේශන සේවා වගේම බෙහෙත් වර්ග ලබලා දෙන්න පුළුවන්. කවුරුහරි පුද්ගලයෙක් තමන්ට එවැනි මානසික රෝගයක් නෑ කියලා එම ප්‍රතිකාර මගහරින්න හදනවා නම් ඖෂධවලින්, හෝර්මෝන තුළින් එම ලිංගික ආශාවන් අඩුකරන්න බලහත්කාරයෙන් හරි කටයුතු කරන්න සිද්ධ වෙනවා.’’
පීඩෝෆීලියා මානසික ආබාධයෙන් පෙළෙන වැඩිහිටියන් අපේ රටේ දුලබ නොවුණත් එම රෝගීන් හඳුනාගන්නට ලැබෙන්නේ අඩුවෙනි. එයට හේතුව ඔවුන්ගේ ලිංගික කැමත්ත එය වූවාට ඔවුන් නිරෝගී සාමාන්‍ය පුද්ගලයන් ලෙසින් එදිනෙදා ජීවිතය ගත කිරීම බව වෛද්‍යවරයා අපත් සමඟ කියා සිටියේය.
‘‘ඇත්තටම මෙතැනදී දරුවෝ ගැන වැඩිපුර වගකීමක් ගන්න ඕන දෙමව්පියෝ. මොකද අද කාලේ ආර්ථීකෙත් එක්ක හැප්පෙනකොට දෙමව්පියන්ට දරුවන් මගඇරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ මොන දේ වුණත් තමන්ගේ දරුවා සමාජයේ අනාරක්ෂිත නොවෙන්න වග බලාගන්න එක දෙමව්පියන්ගේ වගකීමක්. විදෙස්ගත වෙනකොට තමන්ගේ දරුවන් සුදුසු භාරකරුවෙකුට පවරලා යන එක, දරුවන් ඇසුරු කරන අය ගැන හොයලා බලන එක වගේම වැරදි පුද්ගලයෙක්ව අඳුනගන්න විදිය ගැන කුඩා කාලේ ඉඳලම දරුවට දැනුමක් ලබල දෙන්න කටයුතු කරන්නත් දෙමව්පියෝ දැනගන්න අවශ්‍යයි. තමන්ගේ දරුවන්ව මේ වගේ ව්‍යසනයන්ගෙන් ගලවා ගන්න තියෙන හොඳම ක්‍රමය ඒක කියලයි මම කියන්නේ.’’
ලිහිණි මධුෂිකා