විශේෂාංග

ක්ලියෝපැට්‍රාත් නොකරපු දෙයක් නෑ

මේ ලෝකේ වෙනස් නොවෙන එකම දේ වෙනස්වීම කියලා කතාවක් අහල තියෙනවද? ඇත්ත. මේ භෞතික ලෝකයේ තියෙන හැම දෙයක්ම හැම මොහොතකම වෙනස් වෙනවා කියන එක විද්‍යාත්මකව පවා ඔප්පු කළ දෙයක්.

පියවි ඇහැට නොපෙනුනාට අපේ ඇඟේ තියෙන ගොඩක් දේවලුත් හැම මොහොතකම වෙනස් වෙනවා. ඒ විදිහට වෙනස් වෙන එක දෙයක් තමයි අපේ සම. වෙනස් වෙලා දුරස් වෙලා යන සම හරි විදිහට ඉවත් නොකර අපි ළඟම තවදුරටත් තියාගන්න එකෙන් වෙන්නේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙන තැනට වැඩේ දිග්ගැස්සෙන එකයි. මැරුණ හම හරි විදිහට ඉවත් කර ගන්නේ කොහොමද කියන එක ගැන ටිකක් කතා කරන්න ඕනේ කියලා හිතුවේ ඒකයි.

අපේ ශරීරයේ තියෙන විශාලතම අවයවයනේ සම. ඉතින් චර්ම සෛල ට්‍රිලියන ගාණක් එකතු වෙලා තමයි සම හැදිලා තියෙන්නේ. සමේ තියෙන හැම සෛලයක්ම සති දෙක තුනකින් වෙනස් වෙලා මැරිලා යනවා. හැම මිනිත්තුවකම අපේ චර්ම සෛල ට්‍රිලියන ගාණක් ඔය විදිහට මැරෙනවලු. අපේ චර්ම සෛල මැරුණම ශරීරය අභ්‍යන්තරයේ අලුත් සෛල හැදෙනවා. අලුත් චර්ම සෛල මගින් පරණ එව්වා හමේ පිටත පෘෂ්ඨයට තල්ලු කරනවා. ඊට පස්සේ වෙන්නේ මෙව්වා අපේ සමේ උඩම ස්ථරයේ තැන්පත් වෙන එකයි. මේ ක්‍රියාවලිය අපි මැරෙනකල්ම සිද්ධ වෙනවා. හැබැයි වයසට යන්න යන්න අලුතින් නිපදවෙන චර්ම සෛලවල ගුණාත්මක බව අඩු වෙනවා. ඒකට තමයි සම වයසට යනවා කියන්නේ.

බලාගෙන ගියාම සර්පයෝ විතරක් නෙවෙයි, මිනිස්සුත් හැව අරිනවා කියලා කිව්වොත් ඒකේ වරදක් නැහැ.

‘‘කෝ ඉතින් ඔය යනව කියන හම අපිට පේන්න එපායැ’’ දැන් කෙනෙක්ට ඔහොම හිතෙන්න පුළුවන්. අතේ හමට හරි කකුලේ හමට හරි වතුර ටිකක් ගාලා ටිකක් තදින් අතුල්ලලා බලන්න. එක දිගට එහෙම අතුල්ලනකොට අපවිත්‍ර පාටින් කුණු කෑලි වගේ දෙයක් එනවා නේද? අන්න ඒ තමයි අපේ මැරුණු හම.

මේ මැරුණු සෛලවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ස්වාභාවිකවම ඉවත් වෙලා යනවා. හැබැයි තව සුළු කොටසක් එහෙම ඉවත් වෙලා යන්නෙ නැහැ. ඒවා එක මත එක සමේම තැම්පත් වෙනවා. මුහුණෙන් සහ පිට ප්‍රදේශයේ ඔය විදිහට තැම්පත් වෙන සම් ප්‍රමාණය වැඩියි. පපුව, උදරය, අත්, කකුල් වගේ ප්‍රදේශවල එක්රැස් වෙන සම් ප්‍රමාණය සාපේක්ෂව අඩුයි.

මේ විදියට එකතු වෙන මැරුණු හම හරියට ඉවත් නොකරන එකේ නරක ප්‍රතිඵල ගොඩක් තියෙනවා. මැරුණු සම් කොටස් සමේ සිදුරු අවහිර කරන නිසා මුහුණේ කුරුලෑ බ්ලැක්හෙඩ්ස්, වයිට්හෙඩ්ස් වගේ දේවල් ඇති වෙනවා.

අනික සම අවපැහැගැන්වෙන්නත් මේ මැරුණු සම ඉවත් නොකිරීම හේතු පාදක වෙනවා. ගොඩක් කාන්තාවන්ගේ නාසය දෙපැත්තේ, බෙල්ල, වැළමිට වගේ තැන් අවපැහැගැන්වෙන්නේ මෙන්න මේ හේතුව නිසයි.

මල් පෙත්තක් වගේ සුමුදු මෘදු හමක් ලබා ගන්න කොයි කාන්තාවත් කැමතිනේ. හැබැයි මැරුණු සම හරියට ඉවත් කරන්නේ නැත්නම් ඒක හීනයක්ම විතරයි. මොකද අපේ සම රළු කරන්නත් මැරුණු හමට පුළුවන්.

මැරුණු හම ඉවත් කරන්න පුළුවන් හොඳම ක්‍රමේ තමයි සම ස්ක්‍රබ් කරන එක.

දැන් කාලේ බවලත් උදවිය ලොකුවට නොහිතුවට ඉස්සර හිටිය ලලනාවෝ මැරුණු සම ඉවත් කරන එක ගැන වුණත් හරියට හිතල තියෙනවා. ඒ කාලේ ක්ලියෝපැට්‍රා රැජිනිය සියුම් වැලි කුඩුවලට මී පැණි එකතු කරලා මුළු ඇඟම ස්ක්‍රබ් කරනවලු. බලාගෙන ගියාම ක්ලියොපැට්‍රා රැජිණ කරලා කරලා නැති රූපලාවණය සත්කාරයක් නැහැ. තාමත් ලෝකයේ ලස්සනම කාන්තාව විදිහට ඇයව හඳුන්වන්නේ ඒ දේවල් තුළින් ඈ ලබාගත්තු ලස්සන නිසා වෙන්න ඇති.

ක්ලියොපැට්‍රා විතරක් නෙමේ අතීතයේ විසූ චීන කාන්තාවෝ සහල් කුඩු භාවිත කරලා මැරුණු හම ඉවත් කලාලු. ඒ වගේම ඉන්දියානු කාන්තාවන් ගංගා ගං පතුලේ තියෙන වැලි අරගෙන හම ස්ක්‍රබ් කළ බවට සාක්ෂි තියෙනවලු.

දැන් නම් ඉතින් වෙළෙඳපොළෙන් ගන්න නොයෙකුත් ජාතියේ ස්ක්‍රබ් වර්ග තියෙනවානෙ. වෙළෙඳපොළෙන් ස්ක්‍රබ් වර්ග ගන්නවා නම් ඒවගේ Alpha Hydroxy Acid (AHA), Glycolic වගේ සංයෝග අඩංගුද කියලා බලන්න. මොකද මේවට මැරුණු සම පහසුවෙන්ම ඉවත් කරන්න පුළුවන්. ගෙදරදීම හදාගන්න පුළුවන් ස්ක්‍රබ් ටිකක් ගැනත් දැන් බලමු. ආමන්ඩ් තෙල් ටිකක් අරන් ඒකට කුඩු කරපු සීනි ටිකක් මිශ්‍ර කරලා ඒකෙන් සම ස්ක්‍රබ් කරන්න.

කෝපි කුඩු ටිකකට මීපැණි දාලා සම ස්ක්‍රබ් කරන්න

ඕට්ස් කුඩුවලට ඔලිව් තෙල් දාලා සම ස්ක්‍රබ් කරන්න (වියළි සමකට)

ඉඳුණු කෙසෙල් ගෙඩියක් පොඩි කරලා ඒකට සියුම් සීනි සහ මීකිරි ටිකක් එක් කරලා සම ස්ක්‍රබ් කරන්න.

දොඩම් ලෙල්ලක් වේළලා කුඩු කරලා ඒකට වතුර ටිකක් එකතු කරලා සම ස්ක්‍රබ් කරන්න ගන්නත් පුළුවන්. ගොඩක් අය ස්ක්‍රබ් කරන්නේ මුහුණ විතරයි. ඉතින් ස්ක්‍රබ් කරද්දි මූණ විතරක් නෙමේ දෑත්, දෙපා, බෙල්ල, වැලමිට ඇතුළු මුළු සිරුරම ස්ක්‍රබ් කරන්න ඕනේ. අපි කිව්ව මේ ස්ක්‍රබ් මූණට වගේම ඇඟටත් කදිමයි. හැබැයි ඔය ස්ක්‍රබ් කිරිල්ලත් ආවට ගියාට කරන්න යන්න එපා. මොකද ස්ක්‍රබ් කරද්දි ඕනවට වඩා අත තද කළොත් සම සීරිලා සමට හානි වෙන්න පුළුවන්. ඒ නිසා හරියට ස්ක්‍රබ් කරන්නෙ කොහොමද කියන එකත් ටිකක් පැහැදිලි කරන්නම්. මුලින්ම අපි කිව්ව ඔය මිශ්‍රණවලින් ටිකක් සමේ ආලේප කරලා සියුම්වට කවාකාරව උඩු අතට පිරිමදින්න. මේක විනාඩි තුනක් කළාම ඇති. දිගු වේලාවක් ස්ක්‍රබ් කරන එකත් ඇඟට ගුණ නෑ.

ස්ක්‍රබ් කරලා ඉවර වුණාට පස්සේ ටෝනර් ටිකක් ගල්වන්න මතක තියාගන්න. එතකොට සමේ විවෘත වුණ චර්ම සිදුරු වැහෙනවා. මේකට වෙළෙඳපොළෙන් ගත්තු ටෝනර් එකක් නැත්නම් පිපිඤ්ඤා යුෂ, තක්කාලි, අයිස් වතුර ටිකක් වුණත් භාවිත කරන්න පුළුවන්.

ඒ වගේම මතක තියාගන්න සතියට එකපාරක් ස්ක්‍රබ් කළාම ඇති. මොකද නිතර ස්ක්‍රබ් කරන්න ගියොත් සමේ තියෙන තෙල් ඉවත් වෙලා මුහුණ වියළෙන්න ඉඩ තියෙනවා. අනික අපේ සම මත සම ආරක්ෂා කරන බැක්ටීරියා වර්ගත් ඉන්නවා. නිතරම ස්ක්‍රබ් කළොත් ඒ අය විනාශ වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපේ සමේ ආරක්ෂාව ගැන බලාගන්නේ කවුද?

තව දෙයක් කුරුලෑ තියෙන කෙනෙක් හම ස්ක්‍රබ් කරන්න යන්නත් එපා. ඒකෙන් කුරුලෑ කැඩිලා සම තුවාල වෙන්න බැරි නෑ.

ස්ක්‍රබ් කරන එකෙන් විතරක් නෙමේ ඩර්මාප්ලෑනින්, මයික්‍රොඩර්මාබ්‍රේෂන් වගේ සත්කාර මගිනුත් පහසුවෙන්ම මැරුණු හම ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම මැරුණු හම ඉවත් කරන්න ස්කින් ස්ක්‍රබර් වගේ උපකරණත් වෙළෙඳපොළේ තියෙනවා. ඉතින් ඔය මොන ක්‍රමයෙන් හරි මැරුණු  සම ටික හරියට ඉවත් කරලා දානවා නම් ලස්සනට ඉන්න ලොකු දේවල් කරන්න ඕන වෙන එකක් නෑ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි