හිස් පිරිමි ‘පොරක්’ වෙන්නෙ කොහොමද?
රශ්මිකාට දැනුණේ හිස ගිනිගෙන ඇති සේය. තමා කාර්යාලයට ඇතුළු වද්දීම ඒ සමිත කීවේ කුමක්ද?
‘‘ආ නංගී ඊයේ සැපයිලු නේද?’’ සමිතට හිනාවකින් පිළිතුරු දී ආවත් රශ්මිකාගේ පපුව ගැහෙයි.
තාමත් කමල් පැමිණ නැත. ඔහු සිටියා නම් සමිත කී කතාවේ තේරුම ඔහුගෙන් අසා ගන්නට තිබිණි.
රශ්මිකා දුරකතනය අතට ගත්තාය.
‘‘ඔයා මාව හොටෙල් එකකට එක්කගෙන ගියා කියලා සමිතලාට කිව්වේ නැහැ නේද?’’ රශ්මිකා කෙටි පණිවිඩයක් සටහන් කර යැවුවාය.
‘‘පිස්සුද බබා?’’ කමල්ගෙන් ආපස්සට වහාම පිළිතුරු ලැබිණි.
කමල් කතා කරන නිසාම ගියාට දැන් නම් රශ්මිකාට දැනෙන්නේ මහා බියකි. කළකිරීමකි. නිකමටවත් මේවා ගැන කාර්යාලයේ අනෙක් අය, ගෙදර අය දැනගත්තොත් කුමක් නම් වේවිද?
‘‘ආනේ ඒ ටිකට එයාගෙනුත් අහලා කිව්වද කියලා.’’ වසන්ත ඇද පැද වාගේ කියද්දී රශ්මිකා තිගැස්සී ගියාය. වහා හැරී බැලුවේ ඒ නිසාය.
වසන්ත, සමිත සහ තවත් තරුණයන් කීපදෙනෙකු බර කතාවකය. ඔවුන් නිකමටවත් තමා දෙස හැරී බැලුවේ නැත. නමුත් ඔවුන්ගේ මුහුණුවල ඇත්තේ අපහාසාත්මක හිනාවන් යැයි රශ්මිකාට දැනේ.
‘‘අම්මෝ ඉතින් ගම්වලින් හරි අහිංසකකමට එන්නේ ඔලුවත් නවාගෙන. ඒත් අවුරුද්දක් යන්නත් කලින් කොහොමද වැඩ?’’ ආයෙමත් හිනාවකි.
රශ්මිකා ලිපිගොනුවක් පෙරලා ගත්තේ දෑසට කඳුළු පිරීගෙන එද්දීය. මේ කතා වන්නේ තමන් ගැන බව දැන් නම් හොඳටම විශ්වාසය. ඇත්තෙන්ම එහෙම ගියේ කමල් සම්බන්ධය නතර කර දමන බවට තර්ජනය කළ නිසාය.
‘‘මාව විශ්වාස නැති කෙල්ලෙක්ව මටත් ඕනෙ නැහැ.’’ කමල් එදා කීවේ එලෙසය. ඒත් මේ කමල් තමන්ගේ විශ්වාසය රැක ඇති ආකාරයද? කමල් සියලු රහස් පිට කර ඇති හැඩය.
කමල් කාර්යාලයට ආවත් දිගටම කීවේ තමා කිසිවක්ම හෙළි නොකළ බවය. එය දෙදෙනාගේම රහසක් බවය.
ඒත් රශ්මිකා මෝඩියක් නොවේ. තමා අවට කාර්යාල පරිසරයේ සිදු වී ඇති වෙනස්කම් මනාව හඳුනාගත හැකි වීමේ හැකියාවක් රශ්මිකා සතුය.
ඒ සිනාවන්, ඉඳහිට ඇසෙන විසුළු කතා තමන් අරභයා බව රශ්මිකාට හොඳටෝම විශ්වාසය.
‘‘අපි ලබන ඉරිදටත් යමු හොඳේ.’’ කමල් ඒ අතර කියන්නට අමතක කළේද නැත.
චිත්ත පීඩාව තදින්ම දැනුණු දිනයකදී ඇය ඔහේ ඇවිද ගියාය. පාරේ යන වාහනයකට පනින්නට අඛණ්ඩව සිතුවිලි එද්දී මහා බියකට පත් වූ රශ්මිකා ඇවිද ගොස් නැවතුණේ ප්‍රාදේශීය රෝහලක් අසලිනි.
ඇය නැවත ඉන් පිටතට ආවේ සැහැල්ලුවෙනි.
‘‘අඩේ බන් ඔච්චර ලේසි කියලා දන්නවා නම් මම කලින්ම සෙට් කර ගන්නවානේ.’’ දසුන් ඒ කතාව කීවේ රශ්මිකා තම මිතුරිය, සුසිලා සමඟ ආහාර ගන්නා අතරේය.
රශ්මිකා හිස එසෙව්වා පමණි. තමා ඉදිරියේ සිටින සුසිලාගේ නෙතින් කඳුළු කඩා හැලෙනවා දැක රශ්මිකා තිගැස්සුණාය.
‘‘සුසිලා ඇයි?’’
‘‘මුන් මේ හින්ට් ගහන්නේ මට රශ්මි. ගිය ඉරිදා දර්ශන මාත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහින් මගේ අකමැත්තෙන් අනවශ්‍ය දෙයක් කරන්න හැදුවා. මම රණ්ඩු වුණාට තරහේ එයා අතිනුත් දාලා එක එක බොරු කතා ඔෆිස් එකේ පතුරලා.’’ සුසිලා කියද්දී රශ්මිකාගේ වහා හැරී බැලුවේ තරුණයන් දෙසය.
දරාගෙන බැරිම තැන සුසිලා ඒ පිට කළ වදන් ඔවුන්ටද ඇසෙන්නට ඇත. තමා විහිළුවට ලක්වූවා යැයි දැනුණු සෑම වෙලාවකම සුසිලාත් තමා ළඟ සිටියා නොවේද? ඒ සමච්චල් සහගත වදන් සුසිලා වෙනුවෙන් කියා මොහොතකටවත් නොදැනුණු අයුරු…
තරුණයන් පිරිසද ඔවුන් දෙදෙනා දෙස බලාගෙනය. සුසිලා එසේ ප්‍රසිද්ධියේ සියල්ල කියාවි යැයි ඔවුන්ද නොසිතන්නට ඇත.
‘‘ගණන් ගන්න එපා සුසිලා. පරිණත පිරිමි තමන්ගේ ජීවිතේ ජයග්‍රහණය හොයා ගන්නේ හොඳට ඉගෙනගෙන, ජොබ් එකේ උසස්වීම් අරගෙන. හැබැයි ඒ කිසි දෙයක් කරගන්න බැරි පිරිමි තමන්ට ජයග්‍රහණයේ හැඟීම් ආරෝපණය කරගන්නේ කෙල්ලෙක් එක්ක කරපු දේවල් තැනින් තැන කියවලා. එහෙම නැත්තම් අලුතින් දේවල් නිර්මාණය කරලා තැන තැන කියලා. අනිත් එක දියුණු සමාජයක ජයග්‍රහණයක් විදිහට සලකන්නේ විභාග ජයක්, රැකියා ජයක් වගේ වැදගත් දෙයක් වුණාට, නොදියුණු සමාජයක් ජයග්‍රහණයක් විදිහට සලකන්නේ ඉතින් ඔය වගේ පටු දේවල් තමා.’’ එදා රෝහලේ සිටි උපදේශකතුමිය තමාගේ හිත හදන්නට පිට කළ වදන් ඒ අයුරින්ම රශ්මිකා කියා දැමුයේ සියල්ලන්ම ගස් ගැසී බලා සිටිද්දීය.
සමාධි ඩයස්