විශේෂාංග

රිහානාට සැමියෙක් නැතුව දරුවෙක් ලැබෙන්න යද්දී ප්‍රියංකාට ගැබක් නැතිව දරුවෙක් ලැබිලා

මේ දවස්වල තෙල් පෝලිම්, කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම්, අර පෝලිම්, මේ පෝලිම්වලටම වෙන්වෙලා තිබුණු සමාජ මාධ්‍යයේ එක්වරම විදෙස් තරුණියන් දෙදෙනෙක් පෝලිම් පැනගෙන ඉදිරියට ආවා. මේ දෙන්නම ඉතාම ජනප්‍රියයි. එයින් එක්කෙනෙක් තමයි සුපිරි ගායිකා රිහානා. අනෙක් කෙනා සුපිරි නිළි ප්‍රියංකා චොප්රා. මේ දෙදෙනා එක්වරම ඉහළට එන්නේ දෙදෙනාම දරු සුරතල් දැකීමට හීන මැවීමත් එක්ක. මවක් වීම අමුතු දෙයක් නොවුණත් ඔවුන්ගේ කතා දෙක තරමක් විශේෂයි.

රිහානා ගැන කතා කළොත් මේ වෙනකොට ඇය ලෝකයේ ධනවත්ම ගායිකාවන් අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. 2000 දශකයේ මුල්භාගයේ ඇරඹි ඇගේ මේ ජනප්‍රියත්වය අදටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම ඇය අද දක්ෂ ව්‍යාපාරිකාවක්ද වෙනවා. ඒත් එක්කම කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින අයෙක්ද වෙනවා. මෙම හේතු නිසාම ඇයට වරක් ලෝකයේ බලවත්ම කාන්තාවන් සියදෙනා අතරට පවා එන්න වාසනාව ලැබුණා.

අපි ලේසියට රිහානා කිව්වට ඇයගේ සම්පූර්ණ නම ‘රොබින් රිහානා ෆෙන්ටි’ කියලයි සඳහන් වෙන්නේ. ඇය ඉපදෙන්නේ 1988 පෙබරවාරි 20 වෙනිදා. ඒ කියන්නේ මේ වෙනකොට ඇයට වයස අවුරුදු 34ක්. පසුගියදා සමාජ මාධ්‍යවල තිස්හතර හැවිරිදි රිහානාගේ අලුත්ම ඡායාරූප කීපයක් සංසරණය වෙන්න පටන් ගත්තා. එහි විශේෂත්වය වුණේ ඇය ගැබ්ගෙන සිටීම. තවමත් නීත්‍යානුකූලව විවාහ වී නැති රිහානා මවක් වෙන්න සැරසෙන ඒ ඡායාරූප දුටු ඇගේ රසික රසිකාවියෝ ඇයට විවිධ කතා කියලා තියෙනවත් අපි දැක්කා. ඒත් ගොඩාක් අය ඇගේ කුළුදුල් දරුවා වෙනුවෙන් සුබපැතුම් තමයි එකතු කරලා තිබුණේ. ඇගේ ඒ ඡායාරූප සියල්ලම කැමරා කාචවල සටහන් වෙලා තිබුණේ නිව්යෝර්ක් නගරය තුළදි. එහිදී ඇය තමන්ගේ වත්මන් පෙම්වතා වෙන රොකී එක්ක ආදරෙන් අත් පටලන් යන හැටියි දකින්න ලැබුණේ. ඇය එහිදී නිල් පාට ඩෙනිම් කලිසමක් සහ රෝස පාට දිගු කබායකින් සැරසිලා හිටියා. ඒත් ඇය ඒක ඇඳලා හිටියේ උදරය පේන්න.

රිහානා කියන්නේ කවදත් දරුවන් කෙරෙහි ආදරයෙන් හිටපු චරිතයක්. 2020 වසරෙදි ඇය වරක් සුප්‍රකට ‘වෝග්’ සඟරාවට සාකච්ඡාවක් දෙමින් හරි අපූරු කතාවක් කිව්වා. ඒ තමයි අවුරුදු දහයක් තුළ දරුවන් හතරක් පහක් හදන්න ඇයට ආසාවක් තියෙනවා කියලා. ඒත් රිහානා ‘වෝග්’ සඟරාවට එහෙම කියනකොටත් ඇය පෙම්වතියක් නෙවෙයි. ඒ නිසා මාධ්‍යවේදීන් ඇගෙන් ඒ දරුවන්ගේ පියා ගැන ඇහුවා. ඒ වෙලාවේ රිහානා කිව්වේ කවදා හරි දවසක මට දරුවන්ගේ පියා හමුවෙයි කියලයි. එහෙම කියලා වසරක් ගියේ නෑ 2021 මැයි මාසේ ඇය රොකීගේ ආදරණීය පෙම්වතිය වුණා. කොහොම හරි මේ වෙනකොට රිහානා මවක් වෙන්න යනවා කියන එක නම් පැහැදිලියි.

රිහානාගේ කතාව එහෙම වෙනකොට ප්‍රියංකා චොප්රාගේ කතාවත් මීට තරමක් සමානයි. ප්‍රියංකා ගැනත් ඉතින් අමුතුවෙන් කියන්න උවමනා නෑනේ. මොකද බොලිවුඩ් සිනමාව තුළ කවදත් ඇය ජනප්‍රිය කියන ලේබලයෙයි රැඳුණේ. 2000 වසරේ ප්‍රියංකා චොප්රාට හැකියාව ලැබුණා ලෝක රූ රැජින බවට පත්වෙන්න. එතැන තමයි ඇගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂය. එදා ඉඳන්ම වසර විසිදෙකක් පුරාවට ඇය නිළියක් විදිහට සාර්ථකයි. ඒ නිසාම වරක් ලෝකයේ බලවත්ම කාන්තාවන් සියදෙනා අතරට පවා එකතුවෙන්න ප්‍රියංකාට හැකියාව ලැබුණා.

1982 ජූලි 18 වෙනිදා ඉන්දියාවේ උපත ලැබූ ප්‍රියංකාට දැන් වයස අවුරුදු 39ක්. නිළියක් නිසාමදෝ කාලයෙන් කාලයට විවිධ බොලිවුඩ් නලුවන් එක්ක ආදරයෙන් පැටලුණු ප්‍රියංකා අවසානේ නතරවුණේ ඇයට වඩා අවුරුදු දහයක් බාල නික් ජෝනාස් ළඟ. ඔහු ඇමෙරිකානු පොප් ගායකයෙක්. පසුගියදා එක්වරම බොලිවුඩය උණුසුම් කළේ ප්‍රියංකා මවක් වූ පුවතින්. ඊට හේතුව ඇය ගැබ්ගත් බවක්වත් ඊට පෙර ආරංචි නොවීම. ගැබ් නොගෙන ඇය මවක් වුණේ කොහොමද කියන එකයි කාටත් තිබුණු ප්‍රශ්නේ. අඩුම තරමේ ප්‍රියංකා හෝ නික් එහෙම ඉඟියක්වත් දුන්නේ නෑ. ඒත් අවසානේ ඇය ලස්සන දූ පැටියකුගේ මවක් වෙලා තිබුණා. ඇත්තටම ඇය මවක් වෙලා තිබුණේ වෙනත් මවකගේ ගර්භාෂයක ඇය වෙනුවෙන් හැදුනු දරුවෙකුට. එය වෛද්‍ය විද්‍යාවේ හැඳින්වෙන්නේ Surrogacy කියන නමින්. ඒ සම්බන්ධයෙන් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ විශේෂ සටහනක් තියපු ප්‍රියංකා කියලා තිබුණේ තමන් මවක් වීම ගැන ගොඩාක් සතුටින් ඉන්නවා කියලයි.

රුවන් එස්.සෙනවිරත්න