විශේෂාංග

හොඳටම වැටුණු අය තමයි හොඳටම නැගිටින්නේ

‘‘සමාවෙන්න අම්මේ, හවායි නිවාඩුව අතහැරලා හදිසියෙම ආයෙ එන්න වුණාට.’’

රෝහල් ඇඳේ සිට සිහිය ලද විගස තමා දෙස බලා සිටි මෑණියන් අමතා කොල්බි ස්ටීවන්සන් පැවසීය. ඒ වදන් මවගේ සිතට සහනයකි. මේ ඔහුමය. හිස්කබලේ තුවාල තිහකට වැඩි ගණනක් තිබියදී පුතුගේ සිහිය පැවතීම මවකට සහනයක් නොවන්නේද?

2016 වසරේ මව්වරුන්ගේ දිනයදා කොල්බි සිටියේ තමා වඩාත්ම ප්‍රිය කරන ක්‍රීඩාවක නිරතවය. ඒ, හිම මත ලිස්සා යාමයි. ඔරිගන් ප්‍රදේශයේ මවුන්ට් හුඩ්හි හිම මත ලිස්සා යාමේ තරගයක් තිබුණි. එය තමාගේ දිවියේ හොඳම තරඟ වැදීම බව කොල්බි ස්ටීවන්සන් විශ්වාස කළේය. එය සැබෑවක් කරමින් හෙතෙම සතියේ හොඳම හිම මත ලිස්සා යන්නා ලෙසද නම් කෙරිණ. තරඟය අතරතුර කොල්බිගේ මිත්‍ර ක්‍රීඩක ජෝන් මයිකල් ෆැබ්රිසිගේ පාදයක් බිඳී ගියේය. ඔහුගේ නිවස පිහිටියේ කොල්බිගේ ගමන් මාර්ගයේමය. එනිසා මිතුරා සහ ඔහුගේ ට්‍රක් රථය රැගෙන යාම කොල්බි බාරගත්තේය.

එය අඳුරු රැයකි. වෙහෙස සහ සාමකාමී නිදිබර වටපිටාව කොල්බිගේ ඇහි පිල්ලම් බර කළේය. මොහොතකට ඇස් පියවෙන්නට ඇත. එකවරම මහත් ශබ්දයක් නගමින් රථය කිහිප වරක් පෙරලී ගියේය. වහලය කුඩු වී ඇත. කොල්බිට සිදුවූ කිසිවක් මතක නැත. රියදුරුට අනෙක් පස අසුනේ සිටි ෆැබ්රිසිට කිසිඳු හානියක් නොවීය. එහෙත් කොල්බි ජීවිතයත් මරණයත් අතරය. හිස්කබලේ බිඳීම් තිහකට වැඩිය. විශාලතම තුවාලය ඇහිබැමි අතරයි. ඉළ ඇට, අක්ෂි කුහරය, හනු සහ කශේරුකාවටද හානි සිදුව තිබිණ. මොළයට සිදුවී තිබූ දරුණු හානිය මත කොල්බි සම්පූර්ණ සුවය ලැබෙතැයි වෛද්‍යවරු විශ්වාසය නොතැබූහ. සංකීර්ණ සැත්කම් දෙකකි. හිස්කබලට ටයිටේනියම් තහඩුවක්ද ඇතුළු කිරීමට සිදුවිය. පසුව වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාව මත රෝගියා දින තුනක් කෝමා තත්ත්වයෙන් තැබීමට පියවර ගැනිණ.

‘‘මම ඇහැරෙන විට මගේ ආදරණීයයන් මා ළඟ. අම්මා මගේ මුහුණ දෙස බලා සිටියා. මම ඇයගෙන් සමාව ඉල්ලුවා, නිවාඩුව නවතා කලින් එන්න වුණාට. එයාලා සතුටු වුණා. ඒ සමඟ ඔවුන් දැනගත්තා තවමත් මනසින් මා පෙර ලෙසම සිටින බව.’’

රෝහලේ ගතකළ කාලය අසීරුවෙන් ගෙවී ගියේය. එය ඇතැම් අවස්ථාවල දැඩි වෙහෙසකාරී මෙන්ම වේදනාකාරී අත්දැකීමක් විය.

‘‘රෝහලේ සිටි පළමු සති දෙක බොඳවෙලා වගෙයි මතක. හිසේ හැමතැනම තුවාල තිබූ මම හිටියෙ මත්වෙලා වගේ. දවසම ගත කළේ ඇඳට වෙලා.’’

යම් තරමකට සුවය ලැබීමෙන් පසු කොල්බිට නිවසට යාමට අවස්ථාව හිමිවිය. පියා රැකියාවෙන් විශ්‍රාම ගත්තේය. මව මාසයක නිවාඩුවක් ලබාගත්තේ ඔහු රැකබලා ගැනීම වෙනුවෙනි. එය අතිශය වේදනාකාරී සමයකි. කොල්බි බරපතළ ලෙස මානසිකව බිඳවැටිණ.

‘‘මගේ අම්මා හැමදාම හිසේ වූ වෙළුම් පටි ඉවත් කරමින් තුවාලවලට ප්‍රතිකාර කළා. නළල මැද්දෙ මහ විවරයක්. එතැනින් හිස්කබල පේනවා. මට කණ්නාඩිය දෙස බලන්න බැරි වුණා. ඒක ඉතාම දරුණු කම්පනයක්. මම හිතුවෙ සියල්ල අවසන් කියලා.’’

හිම සමඟ සෙල්ලමට කොල්බි පෙම් බැන්දේ වයස අවුරුදු දෙකේ සිටය. ගුවන් නියමුවකු වූ පියාගෙන් සහ ගුවන් සාත්තු සේවිකාවක වූ මවගෙන් ඔහුට ඒ සඳහා නිරන්තර සහාය හිමිවිය. යූටාහි පාර්ක් සිටි ක්‍රීඩාංගනය වෙතද ඔවුහු කොල්බි රැගෙන ගියහ. සීත ඍතු ඔලිම්පික් වෙනුවෙන් ඇමරිකානුවන් පුහුණුවීම් කරන්නේ එහිය. ක්‍රීඩාවේ සාම්ප්‍රදායික රීතීන් අනුගමනයට වඩා කොල්බි ප්‍රිය කළේ නව හැඩතල එයට හඳුන්වා දීමටයි. ඔහු අහසේ කරණම් ගසමින් නිදහසේ පැනූ පිමි වඩාත් නිර්මාණශීලී විය. නව උපක්‍රම භාවිතයට ඔහු නිතැතින්ම ඇබ්බැහි විය. නව යෞවනයකුව සිටියදීම හිම ක්‍රීඩාවේ විශිෂ්ට අනාගතයක් ඔහුගෙන් දිස් වූයේ එනිසාම වන්නට ඇත. අනතුරදා සහභාගී වූ තරගාවලියේදී උපක්‍රමශීලීම ක්‍රීඩකයා වූයේද කොල්බි ය. ලොව පුරා සංචාරය කරමින් හිම ක්‍රීඩාවන්හි විශිෂ්ටයකු වීම කොල්බි දුටු සිහිනයයි. මාරාන්තික අනතුරකින් ඇඳට වැටුණු පසු ඔහුට සිතුණේ එය සිහිනයක්ම වනු ඇතැයි කියාය. ලොව වටා ඇවිදිනවා වෙනුවට ඔහුට යාමට හැකි වූයේ නාන කාමරය වෙත පමණි.

‘‘කවදා හෝ ඔබ අස්ථියක් බිඳීයාමේ වේදනාව විඳ තිබෙනවාද? මගේ හිස පුරාම එවැනි රිදුම්. හැම තැනම හැමවෙලාවෙම වේදනා දුන්නා.’’

සිරුර කෙතරම් රිදුම් දුන්නද කොල්බිගේ යටි සිතේ සෑම විටම හිම ක්‍රීඩා සිහිනය නොවෙනස්ව පෙනි පෙනී පැවතිණ. ඒ ක්‍රීඩාවට හෙතෙම ඒ තරමටම ආදරය කළේය. තමාට හැකි මට්ටමින් ක්‍රීඩාවේ නියැලීම කොල්බිගේ අරමුණ විය. එතරම් විසල්, අවංක බලාපොරොත්තුවකට දෛවය ද හරස් නොවේ. අනතුරින් මාස පහක් ගතවූ විට කොල්බි නැවත සම්පූර්ණ පුහුණුව ඇරඹීය. රිය අනතුරේ සුන්බුන් අතරින් කොල්බි යළි පෙර පරිදිම නැගී සිටියේ ය. අනතුර සිදුවී මාස අටක් ගෙවුණු පසු හෙතෙම ප්‍රථම වරට ලෝක ශූරතාවක් දින්නේය.

‘‘ඔබේ ජීවිතය නිර්වචනය වන්නේ දුෂ්කරම කාලසීමාවලදී. ඔබේ නරක ලැබීම් දෙස ධනාත්මකව බලන්න. ඔබේ සිහින වෙත ළඟාවීම අපහසු බව පෙනී ගියත් ඉදිරියටම යා යුතුයි. මට එය අසීරු මාර්ගයක් වුණා. එහෙත් වාසනාවට මා වටා නිවැරදි පුද්ගලයින් සිටියා. ගතවන සෑම මොහොතක්ම මම සතුටින් විඳිනවා. ලොව පුරා ඇවිදිමින් මා ආදරය කරන දේවල් දිගටම කරනවා.’’

ඒ ආදරණීය ගමන් මගෙහි තවත් විශේෂ සලකුණක් තැබීමට කොල්බි ස්ටීවන්සන් පසුගියදා සමත් විය. චීනයේ බෙයිජිංහි පැවැති 2022 සීත ඍතු ඔලිම්පික් තරගාවලියේ නිදහස් ආර හිම මත ලිස්සා යාමේ ඉසව්වෙන් ඔහු (Big Air Freestyle Skiing) රිදී පදක්කම හිමිකර ගත්තේය. මෙම ඉසව්ව ඔලිම්පික් තරඟාවලියට එක් කෙරුණේ ප්‍රථම වරටය. ඒ අනුව ඉසව්වේ ප්‍රථම ඔලිම්පික් රිදී පදක්කම්ලාභියා කොල්බි වේ. මේ ඔහුගේ පළමු සීත ඍතු ඔලිම්පික් තරඟාවලියයි. ඊට කොල්බි සහභාගි වූයේ තරඟ වැදීම කෙසේ වෙතත් ජීවිතයද අවිනිශ්චිත තත්ත්වයකට ඇද හෙලූ දරුණු අනතුරෙන් වසර හයකට පසුය.

සෑම වසරකම මැයි 08 වනදා කොල්බි ස්ටීවන්සන්ට සැමරුම් දිනයකි. ඔහු එය නම් කරන්නේ ‘ජීවිත සැමරුම් දිනය’ ලෙසිනි. ඇහිපිල්ලමක වෙනසකින් සියල්ල වෙනස් වන අයුරු එදින ඔහු නැවත සිහිපත් කරයි.

ජීවිතය ඇතැම්විට අනපේක්ෂිත අගාධ කරා අප ඇද දමනු ඇත. එහෙත් ඒවා මග හැරිය නොහැක. අදිටනින් කැපවීමෙන් නැවත නැගී සිටිය යුතුය. ඒ පරීක්ෂාවෙන් සමත් වන්නේනම් සැබෑවටම අප ආදරය කරන දේවල් අප හැර නොයන බව නිසැකය.

රෂ්නිකා ලියනගේ