විශේෂාංග

අන්න ලොකු පුතා ඇවිත් වී ගෝනි දෙකක්ම කාලා ගියා

නිවසක වැටක් අසලට වී මිනිස් හඬ අසමින් පාඩුවේ ඉන්නා අලියෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතියි. ඒ රාජුය.  රාජු එන්නේ උපුලි බලන්නටය. ගමේ මිනිසුන් කියන්නේ රාජු උපුලිගේ ලොකු පුතා බවය.

උපුලි සේරුනුවර මහින්දපුර පදිංචියට ගියේ පසුගිය වසරේ පෙබරවාරි හය වනදායි. දින දෙකකට පසු ඇගේ වත්ත පිටුපස තරුණ අලියෙකි. මුලදී ඈ භීතියට පත්වුවද පසුව තේරුම්ගත්තේ අලියාගෙන් කිසිදු හානියක් නොමැති බවයි. ඒ අනුව මේ දෙදෙනා අතර සෙනෙහස ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගියේය.  මුලදී දින කිහිපයකට වරක් වැට අසලට පැමිණි රාජු පසුව දිනපතා එන්නට පටන් ගත්තේය. දැන් දිනකට දෙවරකි. ගම්වාසීන් සිනාසී උපුලිට කියන්නේ වනජීවි දෙපාර්තමේන්තුවෙන් දංවැල් ඉල්ලා රාජු ගැටගසා තියාගන්නා ලෙසයි. උපුලිට ද දැන් රාජු නොදැක බැරිය.  උපුලිගේ ගෙදර සිටින බලු සුරතල්ලු ද වෙනත් අලින්ට බිරුව ද රාජුට මිත්‍රකම් පාති.

“මුලදි මුලදි රාජුට බය වුණාට මට තේරුණා එයාගෙන් කරදරයක් නෑ කියලා. මුලින්ම මං එයාට කතා කළේ පාන්දර පහට විතර. එදා මං නිවසින් එළියට එනකොට මෙයා පේන්න හිටියා. ඒ නිසා මං එයාට කතා කරන්න ගත්තම පාඩුවෙ අහගෙන හිටියා. එදා මං එයාට කිව්වා ඔයාට මම රාජු කියලා නම දානවා කියලා. එයා ඉන්න විදියෙන් මට හිතුණා මං කතා කරනවට එයා කැමතියි කියලා. දැන් එළිය වැටෙන නිසා ගිහින් හෙට ආයෙ එන්න කියලා මං රාජුට කිව්වා. පහුවෙනිදත් උදේ දොර අරිනකොට ඒ තැනම එයා ඉන්නවා. දැන් මටත් එයා නොදැක ඉන්න බෑ. පේන්න නොහිටියොත් මං කැලේ පැත්තට හයියෙන් කෑ ගහනවා රාජු කියලා. එයත් ටිකකින් එනවා.”

සේරුවාවිල රක්ෂිතයේ සිට පැමිණෙන අලි මහින්දපුරට ගොඩ වන්නේ මාවිල්ආරු ආර ඇළ හරහාය.  එලෙස ගම්වදින අලි අටදෙනෙක් පමණ වෙති. එහෙත් රාජු ඒ නඩයට අයිති නැත. ඔහු ඇළෙන් එගොඩට නොයයි. එනිසා රාජුගේ වපසරිය ඉතා කුඩාය. රාජුට පෙනීම ඇත්තේ එක ඇසක පමණි. අලි වෙඩි නිසාමදෝ කන් ඇසීම ද දුර්වලය.  තනිව වසන්නෙකි.  එහෙත් පසුගිය සතියේ රාජු උපුලි බැලීමට පැමිණියේ අලි කෙල්ලකද සමගය.  මේ වනවිට ඈ යළි ගොසිනි. රාජුගෙන් කිසිවකුට කරදරයක් නැති වුව ද ඉඳහිට නොසන්ඩාල වැඩ ද කරයි.

“එයා මේ ඉසව්ව දාලා යන්නෙ නෑ. දවසක් හවස් වරුවේ ගමේ ඇවිදගෙන එද්දි ට්‍රැක්ටරේක  වී පටවලා තිබිලා. මෙයා වී ගෝනි දෙකක් අරන් කාලා ගෝනි දෙක ගෙදර මිදුලට විසි කරලා. මාමා කෙනෙක් ඇවිත් මට කිව්වා අන්න ලොකු පුතා ඇවිත් වී ගෝනි දෙකක් කාලා හිස් ගෝනි මිදුලට විසි කළා කියලා. මං ඉතින් හිතන්නෙ රාජු කෑවෙ එයාගෙ පංගුව කියලා. මොකද  අපි මේ ඇවිත් ඉන්නෙ එයාලටත් අයිති තැන්වලනෙ. මං ඒ නිසා ඉල්ලන්නෙ ඒ අහිංසකයන්ට හානි වෙන දේ කරන්න එපා කියලා. මොකද අපිට වගේම එයාලටත් මේ පරිසරයට අයිතියක් තියෙනවනේ.

වරක් ගම්වාසීන් වී වේලනවිට රාජු ද එහි පැමිණියේ අනාරාධිතවමය. එතැන ගැටලුවක් ඇති වේයැයි බියට උපුලි වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්නාය.  එහෙත් එතැනට පැමිණි නිලධාරීන් පැවසුවේ “ආ… මේ රාජුනෙ.  මෙයාගෙන් ප්‍රශ්නයක් නැහැනෙ” කියාය.  ඒ තරමටම රාජු හැමදෙනාගේ සිත් දිනා ඇත.

රෂ්නිකා ලියනගේ

තොරතුරු සහ ඡායාරූප – උපුලි මදාරසිංහ