ෂාරුක් ඛාන් ලංකාවට ආවේ මගේ දුව බඳින්න – බෝම්බ ගහපු නිසා ඔක්කොම අවුල් වුණා
කොහේ කොතනක ගියත් හරියටම රෑ අට වෙනකොට තමන් කැමතිම සුපිරි තරුව සින්දු කියන හැටි බලන්න ගෙදර දුවපු කාලයක් අපිටත් තිබුනනේ. ඒ රූපවාහිනී නාලිකා වලින් සුපිරි තරු බිහිකරන්න පටන් ගනිපු මුල්ම කාලේ. සඳුනි කියන්නෙත් ඒ වගේ ඒ කාලේ තරුණියො පිස්සු වට්ටපු සුපිරි තරුවකට පණ ඇරලා හිටපු තරුණියක්. ඒ නිසා තමන් කැමතිම පුද්ගලයා සුපිරි තරුව බවට පත්කරන්න දවසකට රුපියල් පන්සීයේ දාහේ රීලෝඩ් දාගෙන එස්.එම්.එස් යවන්නත් සදුනි දෙපාරක් හිතුවේ නෑ. හැබැයි වැඩිකාලයක් යන්න කලින් හිතේ තිබුණු ඒ කැමැත්ත සඳුනිටත් නොදැනීම ආදරයක් බවට හැරිලා තිබුනා. ඒ නිසා ඔහුගේ ඡයාරූප වලින් මුලු මුලු නිදන කාමරයම සරසගෙන බිත්ති පුරාම ඒ නම ලියාගෙන අමුතුම හීන ලෝකෙක තමයි ඇය ජීවත් වුණේ. ඒ විතරක් නෙවෙයි ඔහු ගීත ගයන ප්‍රසංග පවා හොයාගෙන ගිහින් කීප විටක්ම මේ ආදරේ ප්‍රකාශ කරන්නත් ඇය උත්සහා කරලා තියෙනවා.
රෑ එලි වෙනකන් බලාගත්ත අතේ බලාගෙන ඔහු පිළිබඳව හීන දකිමින් හිටපු සදුනිට ටිකෙන් ටික පවුලේ අයවත් පේන්න පටන් අරන් තිබුනේ ණයාට අදුකොල වගේ. කෑවද බිව්වද ඇහුවත්, පොතක් පතක් පාඩම් කලාද කියල ඇහුවත් ගෙදර අයත් එක්ක පරහටමයි කතා කරලා තිබුනෙ. කාලෙත් එක්ක එන්න එන්නම මේ තත්වය නරක අතට හැරෙන බව දැනෙනකොට ඇයව මානසික වෛද්‍යවරයෙකුට පෙන්නන්න සඳුනිගේ දෙමාපියන් තීරණය කරලා තිබුනා. ඒ අනුවයි ඔවුන් ඇයව කරාපිටිය මූලික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා හමුවීමට රැගෙන ගොස් තිබුනේ.
යමෙකු මේ ආකාරයට හැසිරීමට හේතුව ආදර මෝහය නැමැති මානසික රෝගය බවයි වෛද්‍යවරයා මේ පිළිබඳව පැහැදිලි කිරීමේදී අපිට කීවේ.
මම ඒ තරුණියගේ ගැටලුව ගැන කතා කරද්දි තේරුණ දෙයක් තමයි ඇය තමන් විසින් තනියම හදා ගත්ත ආදර ලෝකෙක අතරමං වෙලා කියන එක. ඇය දැඩි ලෙස කියපු දෙයක් තමයි ඔය කියන ගායකයා ඔහුගේ සෑම ගීතයක්ම ගයන්නෙ ඇය වෙනුවෙන් කියන එක. අනික ඔහු ගීත වලින් වර්ණනා කරන්නේ ඇයගේ රූපය කියලාත් කිව්වා.
ඇත්තටම මේ මානසික රෝගයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ රෝගය වැළඳුනු පුද්ගලයින් ආදරය කරන්න පටන් ගන්නෙ ප්‍රසිද්ධ පුද්ගලයන්ට විතරයි. ඊට පස්සෙ ඒ කෙනාගේ දුරකතන අංක හොයාගෙන ඒවට කතා කරන්නත්, ලිපින හොයාගෙන ලිපි යවන්නත්, ගෙවල් හොයාගෙන යන්නත් වගේ දේවල් වලට පෙළඹෙනවා. ඒ වගේම ඒ ප්‍රසිද්ධ පුද්ගලයා සමඟ තමන්ට ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා වටේ පිටේ අයට ඒත්තු ගන්වන්නත් නිතරම උත්සාහ කරනවා.
මේ මානසික ව්‍යාකූලතාවය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ඇතිවිය හැකි බවයි වෛද්‍යවරයා කියා සිටියේ. එමෙන්ම මෙවැනි රෝගීන් තමන්ගේ ආදරය ප්‍රතික්ෂේප වූ විට සියදිවි හානි කරගැනීම් වලට පවා යොමු වන බවත් ඔහු කීවා.
ප්‍රසිද්ධ ගායකයෙක්, රංගන ශිල්පියෙක් රසික ආදරයට පාත්‍ර වෙන එක සාමාන්‍ය දෙයක්. කලාකරුවන්ට විතරක් නෙවෙයි කඩවසම් තරුණ ගුරුවරයෙකුට, කතිකාචාර්යවරයෙකුට හෝ වරියකට තරුණ සිසු සිසුවියන් වැඩි කැමැත්තක් දක්වන එකත් අරුමයක් නෙවෙයි. එහෙමයි කියලා කලාකරුවෝ, ආචාර්ය මහාචාර්යවරු වගේම දේශපාලකයොත් තමගේ මහජනතාවට, රසික රසිකාවියන්ට, ගෝලයන්ට හිනා වෙලා කතා කරන්නෙ විවාහ කරගෙන ගෙවල් වල ගෙනියන අරමුණුනින් නෙවෙයිනෙ. සෙල්ෆියක් ගත්ත පලියට, ඉතින් කොහොමද කියල සුවදුක් විමසපු පලියට, ගෝලයෙකුට ඉගැන්වීම කටයුතු අතරතුර විශේෂ අවධානයක් දීපු පලියට ඒක ප්‍රේමයක් කියලා හිතනාවානම් බොහෝම භයානකයි.
බොහෝ අය මෙම රෝගය සුලුකොට තැකුවත් මෙම තත්වය දරුණු උවහොත් රෝගියාට මෙන්ම ආදරයට භාජනය වන තැනැත්තාටත්, භයානය තත්වයන්ට මුහුණ දීමට සිදුවන බවයි වෛද්‍යවරයා පැවසුවේ.
වෛද්‍යවරයා ඒ පැහැදිලි කිරීම ඒකාන්තයෙන්ම නිවැරදි බව තහවුරු කළ හැකි එවැනි සිදුවීම් දෙකක් මේ ලිපියේ මාතෘකාවට අදාල නිසා සඳහන් කරන්න ඕන කියල හිතුව. එකක් තමයි රත්නා පුෂ්ප කුමාරි මහත්මියගේ සම්පත් දායකත්වයෙන් යුතුව අප ලියන ලිපි මාලාවේ බලෙන් පවුල් කන්න තමුසේ ශාරුක් ඛාන් ද යන මැයෙන් පලවූ ලිපියට අදාල සිදුවීම. ඒ ලිපිය පළවීමෙන් පස්සේ එක කාන්තාවක් ධරණී කර්තෘ මණ්ඩලයට කතා කරලා දැඩි ලෙස චෝදනා කළා. ඒ තමයි 2012 අවුරුද්දේ බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ලංකාවට ආවේ අයගේ දියණිය විවාහ කරගැනීමට බවත්, ප්‍රහාරය නිසා එය වැළකුණු බවත් අප පල කළ ලිපිය නිසා නැවතත් ඒ දියණියගේ මතකය අලුත් වී ඇයට ගම්මුන්ට මුහුණ දීමට නොහැකිව සිටින බවත් ඇය ප්‍රකාශ කළා.
අනෙක් සිදුවීම තමයි 2021 අප්‍රේල් …. ධරණී පුවත්පතේ කවරය හැඩ වුණේ වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ඔහුගේ බිරිඳ ලිමිනි සහ පුතු කේසර ගේ ඡයාරුපයකින්. එහි ඇතුල් පිටු ලිපියේ ලිමිනි රාජපක්ෂ විසින් ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය හටගත් ආකාරය ගැන විස්තර කර තිබුනා. ඒ ලිපිය කියවූ එක්තරා තරුණියක් ඉතාම ආවේගශීලීව අපිට කතා කළා. ඇය කීවේ ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් යන සමාජ මාධ්‍ය වලින් ඇය ඔහු පිලිබඳ නිතර සොයා බලන බවත් ජනහමු කිහිපයකදී මුණගැසී ඉතාම ආදරණීය ලෙස ලබාගත් සෙල්ෆි ඡයාරුප ඈ සතුව ඇති බවත් ඒවයින් පැහැදිලි වන්නේ ඇය මෙන්ම ඔහුත් හිතින් ඇයට ආදරේ කරන බවත් කියලා. ලිමිණි පිළිබඳව ඇය දැඩි තරහින් පසුවුණු බව තමයි අගේ කතාවෙන් පැහැදිලි වුණේ.
ආදර මෝහය නැමැති මේ මානසික රෝගය නිසා හිරිහැර විඳින ප්‍රසිද්ධ චරිත බොහොමයක් ඒවා නවතා ගැනීමට නීතියේ පිහිට පවා පතන අවස්ථාද ඕනෑ තරම් ඇති බවයි වෛද්‍යවරයා මේ ගැන වැඩිදුරටත් පැහැදිලි කරමින් කියා සිටියේ.
මේ වගේ තනි හිතක මවාගන්න ආදරයකට කිසිම පැවැත්මක් නෑ කියලා අනිත් අය කොයිතරම් තේරුම් කලත් ඒ අය තේරුම්ගන්න සූදානම් නෑ. ඒ විදිහේ රෝගීන් කියන්නෙම ආදරය කරන කෙනා ප්‍රසිද්ධ නිසා ඒ කෙනාගෙ ප්‍රසිද්ධියට හානි වෙයි කියලා ඔහු හෝ ඇය තමන්ව දුරින් තියන් ආදරය කරනවා කියලා.
සමහරක් වෙලාවට මෙම රෝගය පරම්පරාගත ජානමය තත්වයන්ගෙනුත් ඇති වෙන්න පුලුවන්. මේ අයගේ මානසික තත්වය ඒක උනත් සාමාජයේ හැසිරෙන්නෙ සාමාන්‍ය විදිහට. ඒක නිසා ප්‍රතිකාර වලට යොමු වෙන්න උනන්දුවකුත් නෑ.
කෙසේ වෙතත් ප්‍රසිද්ධ පුද්ගලයින්ට පමණක් ආදරය කරන ආදර මෝහය නැමැති මෙම මානසික රෝගයට වෛද්‍ය ව්ද්‍යාවේ ඖෂධ ප්‍රතිකාර පවා ඇත.
එසේම යම් හෙයකින් මෙවැනි රෝගියෙකු ප්‍රතිකාර ගැනීම ප්‍රතික්ශේප කලහොත් නීති මාර්ගයට ගොස් ඒ අනුව ප්‍රතිකාර කල හැකි බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය – රූමි රූබන්
ලිහිණි මධුෂිකා