මට වගේම ඩෝරාටත් මම නැතුව පාලු ඇති
මේ වෙනකොට රිදියගම සෆාරි උද්‍යානයේ ඉන්න සිංහ කෙලි පැටික්කි ‘ඩෝරා’ නොදන්න කෙනෙක් නැති තරම්. ඩෝරා රටට හඳුන්වලා දුන්නේ මීට මාස කිහිපයකට කලින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වුණු ශර්මිලා රාජපක්ෂ. ඩෝරාව විතරක් නෙමෙයි ඇය මේ වගේ සතුන් කිහිපදෙනෙක්ම මාධ්‍ය හරහා ජනගත කළා. ඒ දේවල් තුළින් එතුවක්කල් ලාබ නොලැබූ රාජ්‍ය ආයතනයක් වෙච්චි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ආදායම් ලබන තැනක් කරන්න ඇයට හැකි වුණා.
ඇය සතුන්ටත් බොහොම කාරුණික අයෙක් නිසා ඇය වගේ කෙනෙක් සතුන් වෙනුවෙන් තනතුරක් ලැබීම ගැන සතුන්ට ආදරය කරන උදවියගෙත් සතුටට හේතු වුණා.
හැබැයි පහුගිය දින කිහිපයේ රිදියගම සෆාරි උද්‍යානය ගැන අපිට අහන්න ලැබුණේ ඒ තරම් සුබවාදී කතා නෙමෙයි. ඒ වගේම නොහිතුව විදියට අද වෙනකොට ශර්මිලා ඇගේ තනතුරින් ඉවත් කරලා. අභ්‍යන්තර දූෂණ වංචාවලට එකඟ නොවීම එයට හේතුවුණ බව තමයි ඇය අපිත් එක්ක කිව්වේ. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ඇතිවෙලා තියෙන මේ පටලැවිල්ල ගැන දැනගන්න අපි ශර්මිලාට කතා කළා. මේ ඒ සංවාදයේ සටහන.
*ඇත්තටම මොකක්ද සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ ඇතිවෙලා තියෙන මේ ප්‍රශ්නේ?
එකක් නෙමෙයි ප්‍රශ්න ගොඩක් තියෙනවා. සත්ව උද්‍යාන ඇතුළේ වැඩ කරන සේවක පිරිසක් විසින්ම තමයි මේ ප්‍රශ්න ඇති කරන්නේ. හැබැයි මම අධ්‍යක්ෂ ජනරාල් විදියට පත්වුණාට පස්සේ මේ ප්‍රශ්න සේරම යටපත් කරගෙන බොහොම හොඳින් වැඩ කටයුතු ටික කරගෙන ගියා. ඉතින් මේ මෑතකදී ඔය කියන පිරිස යම්කිසි පොහොර ව්‍යාපෘතියකට මගෙන් වාචිකව අවසර ඉල්ලුවා. ඒ ගැන ටිකක් හොයලා බලනකොට ඒක මහ වංචනික විදියට රාජ්‍ය දේපළ අවභාවිතා කරන ව්‍යාපෘතියක් කියන එක අනාවරණය වුණා. ඉතින් ඒ වගේ දේකට අවසර දෙන්න මට බැහැනේ. ඒ නිසා මේ පිරිස සත්ව උද්‍යාන ඇතුළේම උද්ඝෝෂණ කරන්න පටන්ගත්තා. මේකට අවසර නුදුන්නොත් සත්තු මරනවා කියලා පවා තර්ජනය කළා. මේ තත්ත්වය සමනය කරලා මේ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පස්සේ මම ඉල්ලීම් කළා. එහි ප්‍රතිඵලයක් විදියට මේ සේවකයන්ට විරුද්ධව පොලිස් නිර්දේශ වාර්තාවකුත් ලැබුණා. හැබැයි වනජීවී අමාත්‍ය සී.බී.රත්නායකයි එතුමාගේ ලේකම්වරයා සෝමරත්න විදානපතිරණයි ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන එක ප්‍රතික්ෂේප කරලා ඇතුළේ ඉන්න අයට ඕන විදියට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න කියලා මට කිව්වා.
*ඉතින් ශර්මිලා ඉල්ලා අස්වෙන්න කැමති වුණාද?
කොහෙත්ම නැහැ. වැරැද්දක් නොකර දූෂණ වංචා කරන මිනිස්සුන්ට බයේ ඉල්ලා අස්වෙන්නේ මොකටද? ඉල්ලා අස්වෙන්නේ නැහැ කියන එක ඒ අයට මම කෙළින්ම කිව්වා.
*හැබැයි මේ වෙනකොට ඔබ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ නැහැ නේද?
ඔව්, මම ඉල්ලා අස්වෙන්න අකමැති වුණු නිසා අමාත්‍යවරයා මේ තනතුර වෙනුවෙන් වෙනත් අයෙකුගේ නම කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා ඒක අනුමත කරවගෙන තියෙනවා. ඉතින් ඉදිරියේදී තනතුර අහිමි කළ බවට ඒ අදාළ ලියකියවිලි මට ලැබේවි.
*ඔය කියන පිරිස මේ මෑතකදී වෛද්‍ය ප්‍රියසාද්ටත් පහර දීලා තිබුණා නේද?
ඔව්. මමත් ඒ වෙලාවේ රිදියගම සෆාරි උද්‍යානය ඇතුළේ හිටියා. අධ්‍යක්ෂ ජනරාල්වරිය විදියට මම මේ ගැටලු ඇති කරන්න මූලික වෙන පුද්ගලයන්ගේ වැඩ තහනම් කළා. ඒත් අමාත්‍යාංශ ලේකම්වරයා ඔහුට සේවයට එන්න අවසර දීලා තියෙනවා. ඔහුගේ පැමිණීමත් එක්ක ඇතිවුණු ප්‍රශ්නයකදී තමයි වෛද්‍ය ප්‍රියසාද්ට ඔවුන් පහර දුන්නේ. ඒ වෙලාවේ වෛද්‍යවරයා වගේම මාත් බොහොම අපහසුතාවයට පත්වුණා. එතැනදිවත් ඔය රාජ්‍ය අමාත්‍යවරයා අපි වෙනුවෙන් ඉදිරිපත් වුණේ නැහැ.
*මේ ප්‍රශ්න සේරම ඇතිවුණේ ශර්මිලා සත්ව උද්‍යාන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරිය වුණාට පස්සෙද? මොකද සත්ව උද්‍යානවල මෙහෙම විශාල අර්බුද තියෙනවා කියලා මීට කලින් ලොකු කතාබහක් ඇතිවෙලා නැහැනේ?
නැහැ. මේවා මේ අදක ඊයෙක ඇතිවුණු ප්‍රශ්න, ගැටලු නෙමෙයි. අවුරුදු ගාණක් තිස්සේ තියෙන ප්‍රශ්න. මේ ගැන මීට කලිනුත් යම් යම් කතාබහ ඇතිවෙලා තියෙනවා. මේ අය අලි වසුරුවලට පවා මහාපරිමාණ වංචා කරපු අය. හැබැයි ඉතින් මේ කියන පිරිසගේ පදේට නටන්න කැමති අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට ඔවුන් ලොකුවට ප්‍රශ්න ඇති කරන්නේ නැහැ. මම එහෙම නැති නිසා තමයි මට මේ තරමට ප්‍රශ්න ඇතිකළේ.
*ශර්මිලාට මෙච්චර මාධ්‍ය සහාය ලැබෙන්නේ පොත්ත සුදු නිසා කියලා අමාත්‍යවරයා කිව්වා කියන්නේ ඇත්තද?
ඇත්තටම ඒ ගැන කතා කරන්නත් හරිම කණගාටුයි. කෙනෙක්ගේ හැකියාව, ඒ කෙනා කරන වැඩ කොටස ගැන හිතන්නේ නැතුව පොත්තෙන් මිනිස්සු මනින්නේ ඇයි කියන එක මට තේරෙන්නේ නැහැ. ‘හම රැලි වැටුණම මාධ්‍ය සංදර්ශන පෙන්නලා ඉවරයි’ කියලත් අමාත්‍යවරයා මට කිව්වා. ඔය සමහර ඇමතිවරු වගේ හම රැලි වැටෙනකල් තනතුරේ තණ්හාවෙන් ඉන්න ඇත්තටම මට උවමනාවක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ රටක් හදන මිනිස්සුනේ. ඉතින් මේ අයම ගෑනු අපිට මෙහෙම කතා කරනවා නම් මේ රටේ කාන්තාවන්ට යන කලදසාව ගැන කවර කතාද? මේක මට විතරක් නෙමෙයි මේ රටේ හැම ගැහැනියක්ටම කළ අපහාසයක්. ඉතින් ඊළඟ ඡන්දෙදිවත් මේ වගේ පරණ හණමිටි අදහස් තියෙන අයට ජනබලය නොදෙන්න කාන්තාවෝ බුද්ධිමත් වෙන්න ඕනේ.
*ඇත්තට ශර්මිලාට හොඳ මාධ්‍ය සහායක් ලැබුණු කතාව නම් ඇත්ත. ඒකට මොකක් හරි හේතුවක් තියෙනවද?
මම මේ තනතුරට පත්වෙන්න කලින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කියන්නේ කිසිම ලාබයක් නොලැබුව ආයතනයක්. කොවිඩ් මධ්‍යයේ වුණත් ඒ තත්ත්වය නැති කරන්න මම වැඩ කළා. ඒකට සියලුම මාධ්‍ය ආයතනවල වගේම යූටියුබ් නාළිකාවල පවා සහාය මම ඉල්ලුවා. ප්‍රථම වතාවට මම ඩෝරාව මාධ්‍ය මගින් හඳුන්වලා දුන්නා. ළඟදි ඉපදුණු බෙංගාලි කොටි බබා ශාන්ව ජනගත කළා. ඒ දේවල් නිසා සත්වෝද්‍යානවල මේ වගේ ආශ්චර්මයත් පැටවුන් ඉන්නවා කියලා රටේ මිනිස්සු දැනගත්තා. ඉතින් මාස කිහිපයක් ඇතුළත ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ලාබ ලබන ආයතනයක් වුණා. මේ වගේ ව්‍යාපෘති කලින් ක්‍රියාත්මක නොවුණු එක මගේ වරදක් නෙමෙයිනේ.
*ඔය වගේ අනිසි ප්‍රකාශ ඇරුණුකොට ශර්මිලාට වෙනත් වෙනස්කමුත් සිද්ධවුණාද?
මොකද නැත්තේ. ඉතා මෑතකදී මම රිදියගම සෆාරි උද්‍යානයේ ඉඳලා එනකොට මගේ වාහනේ ඉස්සරහා හුළං පුරවන නොසල්ස්වලට වැලි හිර කරලා තිබුණා. අතරමගදි නොදැනෙන්න හුළං ගිහින් වාහනේ පෙරලෙන එක තමයි ඒ අයගේ අපේක්ෂාව වෙලා තිබුණේ.
*මේ අය ඔය තරම් දේවල් කළේ ශර්මිලා කාන්තාවක් වෙච්චි නිසාද?
එහෙමමත් නෙමෙයි. ගෑනුද පිරිමිද කියන එක එයාලට අදාළ නැහැ. ඒ අය කියන දේට එහෙයි කියන එක තමා වැදගත්. 2008 වසරේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහත්මයෙක් මේ අය කියපු දේකට අකමැති වුණා කියලා ඒ මහත්මයට ඇඳුම් ගලවලා පහරදීලා තියෙනවා. ඔහුව සතුන්න්ගේ කූඩුවකට දාලා වහන්න පවා උත්සාහ කරලා. ඒ නිසාම ඔහු ඉල්ලා අස්වෙලා තියෙනවා. ඉතින් මම අහන්නේ මනුෂ්‍යත්වය හඳුනන්නේ නැති මේ වගේ මිනිස්සු මේ සත්ව උද්‍යානවල ඉන්න කතා කරන්න බැරි අහිංසක සත්තුන්ට කොහොම සලකනවා ඇද්ද? හිත්වල තෙතමනයක් නැති මේ අය සත්තුන්ව බලාගන්න සුදුසුද කියන එක ලොකු ගැටලුවක්.
*සත්ව උද්‍යානවල සහ සත්තුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔබ ව්‍යාපෘති කිහිපයක් සැලසුම් කරලා තිබුණනේ. දැන් ඉතින් ඒවට මොකද වෙන්නේ?
ඔව් මේ වෙනකොටත් මම ඒ වගේ ව්‍යාපෘති කිහිපයකටම අවශ්‍ය පදනම හදලා ඉවරයි. ඉතින් අලුතින් පත්වෙන අධ්‍යක්ෂක ජනරාල්වරයා හෝ වරිය මෙතුවක් කල් තිබුණු කඹ ඇදිල්ල දේශපාලන මැදිහත්වීම් සියල්ලම පැත්තකට කරලා සත්ව උද්‍යානයේත් සතුන්ගේත් අභිවෘද්ධිය වෙනුවෙන් ඒ සැලසුම් ඉදිරියට කරගෙන යයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
*ඩෝරා, ශාන් වගේම සත්ව උද්‍යානවල අනිත් සත්තුන් ශර්මිලාට බොහොම ළෙංගතුයි. ඉතින් මේ වෙන්වීම දරාගන්න අමාරු නැද්ද?
ඒක තමයි මට කරන්න අමාරුම වැඩේ. ඒ අයගෙන් ඈත්වෙන එක. මට වගේම ඩෝරාටත් මං නැතුව පාලු හිතෙයි. ශාන්වත් මම ගොඩක් වෙලාවට අතේ තියාගෙන නිදි කරවනවා. සජ්ජන, දිශා, සුරංගි මේ හීලෑ අය විතරක් නෙමෙයි ළඟට යන්න බැරි අයව පවා මම තනි තනිව අධීක්ෂණය කළා. ඉතින් මේ දරුවෝ වගේ ඉන්න හඬක් නැති සත්තු පැටව් ටිකට ඉතාම මානුෂීයව සලකන්න කියලා මම සත්ව උද්‍යානයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මගෙත් එක්ක තියෙන තරහට එයාලගෙන් පලිගන්න එපා!
සෙව්වන්දි හෙට්ටිආරච්චි