විභාගෙ ඉහළින්ම පාස් වෙන්න නම් පුතාට යක්කු ගස් නගින වෙලාවට පාඩම් කරන්න කියන්න
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැතැයි කියමනක් තිබේ. ලොකු පුතු කවීෂගේ නිදි වැරිල්ල ගැන දේවිකාට සිතුණේද එහෙමය. දවසක් දෙකක් නොවේ. දැන් මෙම නිදි වැරිල්ල පටන්ගෙන දෙසතියකට වැඩිය.
‘‘පුතේ ඔය විදියට පාඩම් කළොත් ඔයා ලෙඩ වෙයි. කරන පාඩම් වැඩක් වේලාසනින් කරලා, ගෙදර අනෙක් අය නිදාගන්න වෙලාවට නිදාගන්න.’’
දේවිකාගේ හඬ තුළ වූයේ ඉල්ලීමකට වඩා අණ කිරීමකි. ඇයට පුතු ගැන බියක්ද තිබුණි. වෙනදාට නැගණියද සමඟින් වෙලාසන පාඩම් වැඩ කරන ලොකු පුතු දැන් පාඩම් වැඩ පටන්ගන්නේත්, කොම්පියුටරයට ළංවෙන්නේත් ගෙදර හැමෝම නිදාගන්නා රාත්‍රී යාමයටය. දේවිකා මේ ගැන සැමියාටද පැමිණිලි කළාය.
‘‘පුතාට දැන් වයස දහතුනක්. එයාට ස්වාධීනව හිතන්න දෙන්න ඕන. ඒත් මෙයා කියන කරන දේවල් ගැන විමසිල්ලෙන් ඉන්න එකත් හොඳයි.’’
දේවිකා ඊට හිස වැනුවාය. දියණිය නිදි කරවූ ඇය තවත් පැයක් පමණ ගතවෙද්දී පුතුගේ කාමරයට කර පොවා බැලුවාය. ඔහු තවම නිදි නැත. ඇඳේ ඒ මේ අත පෙරලෙමින් ඔහු නිදන්නට උත්සාහ කරයි.
‘‘පුතා…’’
‘‘ඔව් අම්මේ.’’
‘‘ඔයා තාම නිදි නැද්ද?’’
‘‘නෑ. නිදිමත නෑ. මං අම්මා කිව්ව නිසා මේ නිදාගන්න ට්‍රයි කරනවා.’’ ඇය පුතුගේ හිස අතගා කාමරයෙන් ආවේ දුකෙනි.
සිදුවී ඇත්තේ කුමක්ද? මෙය යම් රෝගයක ලක්ෂණයක්ද? එදින රාත්‍රී එක දෙක වනතුරුත් පුතු ඇඳේ ඒ මේ අත හැරෙන හඬ දේවිකාට ඇසුණි.
ඇය පසුදා කවීෂගේ වෙනස ගැන මිතුරියකට කීවාය. ඒ ඇයගෙන් හෝ ඒ ගැන උපදෙසක් පැතීමටය.
‘‘දේවිකා.. ඕක මම දන්න තරමින් ලෙඩක් නෙවෙයි… දරුවන්ගේ ඔය වයසෙදි දකින්න ලැබෙන ස්වාභාවික වෙනසක්. ඉස්සර අපේ දුවත් පොත අතට ගත්තේ මහ රෑ… නිදිමත එන්නෙත් නැහැලු. එයා කැම්පස් ගියේ එහෙම පාඩම් කරලා.’’
මිතුරියගේ උත්තරය ඒ මොහොතට හිත සැනසෙන්නක් නමුදු, ඒ ගැන දන්නා කියන කාගෙන් හෝ උපදෙසක් ලබාගැනීම ඇයගේ අභිප්‍රාය විය.
ඒ අනුව එංගලන්තයේ යෝර්ක්හි සිටින වෛද්‍ය සුරංජි දහනායකගෙන් ඒ පිළිබඳ උපදෙසක් පැතීමට දේවිකාට මිතුරිය මගින් අවස්ථාව ලැබුණි. වෛද්‍යවරිය තම වෘත්තීය දැනුමත් ඒ පිළිබඳව ලද අත්දැකීම්ද එක් කරමින් දේවිකා දැනුම්වත් කළාය. ඒ ඇය වාගේම මෙම ගැටලුවම ඇති තවත් අම්මලා ගැනද සිතමිනි.
සැබෑවටම වයස දොළහ දහතුන වනවිට සිදුවන්නේ කුමක්ද? නව යොවුන් වියට එළැඹෙන දරු දැරියන්ගේ මොළයෙන් නිපදවෙන නිදිමත ඇති කරවන හොර්මෝනය මධ්‍යම රාත්‍රිය දක්වා නිසි ලෙස ශ්‍රාවය වීමක් සිදුවන්නේ නැත. මෙය ජෛව විද්‍යාත්මකව සිදුවන ස්වභාවික වෙනස්කමකි.
‘‘මෙය ජෛව විද්‍යාත්මක ඔරලෝසුව (body’s cricadian rhythm/an internal biological clock) නැවත සැකසීමට භාජනය වීමක් වැනියි. එහිදී සිදුවන්නේ රාත්‍රී කාලයේදී මනස අවදිව තිබීමයි. මෙලටොනින් (Melatonin) හෝර්මෝනයේ ක්‍රියාකාරීත්වය තමයි මෙම ක්‍රියාවලියට හේතුවෙන්නේ.’’
වෛද්‍යවරිය දේවිකාට කරුණු පැහැදිලි කරද්දී ඇයට පුතු ගැන දැනුණේ කණගාටුවකි. ශාරීරිකවත්, මානසිකවත් නව යොවුන් විය තුළ සිදුවන වෙනස්කම් පිළිබඳව අවබෝධය පුළුල් කරගන්න ලැබීම ගැන නම් ඇය සතුටු වූවාය.
‘‘ඇත්තටම ඩොක්ටර්, මම පුතාට නිදාගන්න කියලා සැර කරපු එක වැරදියිනේ එතකොට?’’
දේවිකාගේ හඬ තුළ ඇත්තේ දුකකි.
‘‘ඇත්තටම දරුවෙකුගේ යොවුන් වියේ ස්වභාවික වෙනස්කම් පිළිබඳ කරුණු නොසළකා හරින්න හොඳ නැහැ. අපි දන්නවා දරුවෙකුට පැය අටක නවයක නින්දක් අවශ්‍යයි. මධ්‍යම රාත්‍රියට පෙර නිදාගන්න කියලා දරුවට බල කළත් ඒ දිහා ආදරයෙන් බලන්න හැකියාවක් දැන් අම්මා කෙනෙක් තුළ තිබිය යුතුයි. මොකද ඒකට අපි ඉහත කිව්ව කාරණා බලපාන නිසා. අම්මා එතැනදී සන්සුන්ව කාරුණිකව දරුවාට ලබාදෙන සහයෝගය වැදගත් වෙනවා. එය තවදුරටත් විස්තර කරනවා නම් නව යොවුන් වියේ දරුවෙකුගේ ප්‍රීතිමත් වර්ධනයට මවගේ ආදරණීය කාරුණික හැසිරීම ඉතාමත් වැදගත් වෙනවා.’’
ඒ පැහැදැලි කිරීම් හමුවේ දේවිකාගේ හිතේ තිබුණු කුතුහලය අවසන් විණි. දරුවා පරිගණකයට ළංව සිටිනු දැකීම ගැනද දේවිකාට වූයේ බියකි. ඒ අන්තර්ජාලය හොඳ දේට වාගේම නරක දේටද මග කියන්නක් බැවිනි. එහෙත් තම පුතු ගැන එසේ වූ සිතිවිලි නිමා වූවා සේම දරුවෙකුගේ වර්ධනීය කාලය තුළ සිදුවන වෙනස්කම් හිතට කරදරයක් කරගත යුතු නැති වග ඕ තේරුම් ගත්තාය. එමෙන්ම ඒ ගැන පුතු සමඟින් වඩා විවෘතව කතා කිරීමේ වැදගත්කම පිළිබඳවද දේවිකා අවබෝධ කරගත්තාය.
‘‘මට ඒ වෙලාවට තමයි අම්මේ හොඳටම පාඩම් මතක හිටින්නේ. එහෙම නැතුව පාඩම් කරන්නත් බෑ. නිදිමත නැතුව නිදාගන්නත් බැහැ.’’
කවීෂ සිටින්නේ ටික කලකින් අ.පො.ස. සාමාන්‍ය පෙළට සූදානම් විය යුතු වයස් කාණ්ඩයේයි. දේවිකා ඒ වෙනුවෙන් පුතුට ලබාදිය යුතු මානසික නිදහස, ඊට සුදුසු වටපිටාව ගැනද සිතුවේ වෙනදාට නැති උනන්දුවකිනි.
‘‘ඇත්තටම සමන්ත අපේ පුතා විතරක් නෙවෙයි ඩොක්ටර් කිව්වා, ඩොක්ටර්ගේ පුතාගෙත් මේ වෙනස්කම් තිබුණා කියලා. මුලදි ඒ දරුවත් යක්කු ගස් නගින වෙලාවට තමයිලු පාඩම් කරන්නේ. පස්සේ මේ වෙනසට හේතුව දැනගත්තම ඒ දිහා බොහොම කරුණාවෙන් කල්පනා කළා කියලා ඩොක්ටර් කිව්වා. ඒ විතරක් නෙවෙයි මෙතෙක් කරපු අධ්‍යාපන කටයුතු ගැන දවසට පැය බාගයක් වගේ වෙලාවක් සමාලෝචනයක් කරමු කිව්වම, ඒ පුතා ඒකට වෙලාව වෙන්කරගෙන තියෙන්නෙත් මධ්‍යම රාත්‍රියට ළංවෙලා කියලා ඩොක්ටර් හිනාවුණා.’’
දේවිකා වෛද්‍යවරිය කී කතාව සමන්තට කීවේ හදවත සැහැල්ලුවෙන් පුරවා ගනිමිනි. ඉගෙනීම, නව අධ්‍යාපනික සොයාගැනීම් මේ ආදී කුමන දෙයක් සඳහා වුව පිබිදීමක්, නව උද්වීපනයක් ඇතිවන කාලය නව යෞවනයයි. එම කාලය නිසි පරිදි කළමනාකරණය කරගතහොත් දරුවාගේ ජයග්‍රාහී මොහොතවල් දැක දෙමාපියන් ලෙස ඔබටද සතුටු වීමට අවස්ථා ඉන් උදාවනු නිසැකය.
දීපා වසන්ති එදිරිසිංහ