විශේෂාංග

අලියා මෙල්ල කරනවද? කෙල්ල දුන්නු කුඩේ පරිස්සම් කරනවද?

අලි බැලිල්ල හිතන තරම් ලෙහෙසි නැත. පොඩ්ඩ ගැස්සුණහොත් කුමකින් කුමක් වේවි දැයි කිව නොහැකිය. වරක් රුහුණු මහා කතරගම දේවාලයේ අලියා උරණ විය. ප්‍රතිඵලය බුත්තලදී ඇත්ගොව්වා මරා දැමීමයි. කතරගම දේවාලයේ බස්නායක නිලමේ මේ බව මහාචාර්ය අශෝක දංගොල්ලට දැනුම් දුන්නේය. දංවැල් සියල්ල ගලවාගත් අලියා මළ සිරුර මුර කරමින් සිටින බවද එහිදී සඳහන් කෙරිණ. නාහෙට නාහන ගති ඇති මේ අලියා ගැන හොඳ හැටි දැන සිටි මහාචාර්යවරයා සත්වයා නිර්වින්දනය කිරීමට අත්‍යවශ්‍ය බව තීරණය කළේය. ඊට අවශ්‍ය ඖෂධ සහ උපකරණ මෝටර් රථයට දමාගත් හෙතෙම විශ්වවිද්‍යාල අවසන් වසර සිසුන් දෙදෙනෙකුද සමඟ බුත්තල බලා පිටත් විය.

රාත්‍රිය උදාවීමට පෙර රාජකාරිය කළ යුතු බැවින් හෙතෙම කඩිනමින් රථය ධාවනය කළේය. කෙසේ වෙතත් නියමිත ස්ථානයට ළඟා වනවිට අඳුර වැටෙන්නට පටන්ගෙනය. ඒ මදිවාට පොද වැස්සකි. ඇත්ගොව්වාගේ සිරුර මැදි කරගත් අලියා මැණික් ගං ඉවුරේය. ඒ වෙත ළඟා විය හැක්කේ ගඟ හරහා පමණි. මිනිත්තුවක් හෝ අපතේ යැවිය නොහැකිය. අලියා ඉක්මනින් සිහි නැති කිරීම අවශ්‍ය බැවින් මහාචාර්ය දංගොල්ල නිර්වින්දන ඖෂධ තුවක්කුවද සමඟ ගඟට බැස්සේය. මෙම ක්‍රියාව පරිස්සමෙන් කළ යුතු බව මෙන්ම එහි අවදානම් සහගත බව හෙතෙම සිසුන් දෙදෙනාටද පැහැදිලි කළේය. ගඟට බැස ඉලක්කය ගැනීමට සැරසුණද එය ඉතා අසීරු බව මහාචාර්යවරයාට තේරුම් ගියේය. ඇහි පිල්ලම් මත වැහි බිඳු පතිත වීම ඊට හේතුවයි. ඒ අනුව සිසුවෙකුට පිටුපස ඇති ගලක නැගී කුඩයෙන් තමා ආවරණය කරගන්නැයි හෙතෙම දැන්වීය. දැන් වැඩේ සාර්ථකය. වැසි පොදවලින් බාධාවක් නැත. නිසි ඉලක්කය ගෙන මහාචාර්ය දංගොල්ල අවිය ක්‍රියාත්මක කළේය. ඒ සමඟම විශාල යමක් මහ හඬින් ගඟට වැටිණ. පසුපසට හැරුණු මහාචාර්යවරයා දුටුවේ කුඩය ඉහළාගෙන සිටි සිසුවා ගඟේ ගසාගෙන යන අයුරුයි. කුඩයට වතුර බදන බැවින් ගසාගෙන යාම වේගවත් වේ. කුඩය අතහරින්නැයි ගුරුතුමා දුන් නියෝගය පිළිපැදීමට සිසුවා සූදානම් නැත.

‘‘මේක දවස් තුනකට කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ් දුන්නේ.’’

මරු තුරුලට ගියද පෙම්වතියගේ ත්‍යාගය අත නොහරිමියි යන තිර අදිටනින් යුතුව ගසාගෙන යන අතරම සිසුවා කෑ ගැසීය. එහෙන් අලියා බැලිය යුතුය. මෙහෙන් කුඩය වෙනුවෙන් දිවි පූජා කිරීමට යන සිසුවා බැලිය යුතුය. මහාචාර්ය දංගොල්ල වහාම නිර්වින්දන තුවක්කුව ගොඩබිම සිටි සිසුවා වෙතට විසි කර ගඟට පැන්නේය. කුඩය සමඟ කොලුවාද යහතින් ගොඩ ගැනීමට ඔහුට හැකිවිය. ඒ වනවිට නිර්වින්දනයට ලක්වූ අලියා වැටීමට ආසන්නය. ඊට දැඩි අවධානය දිය යුතුය. මක්නිසාදයත් හොඬය යටවන ලෙස ඇද වැටුණහොත් අලියා මියයාමටද ඉඩ ඇති බැවිනි. අලියා මෙල්ල කිරීමද සාර්ථකව කිරීමට මහාචාර්යවරයාට හැකිවිය. එමෙන්ම ඇත්ගොව්වාගේ මරණයට අමතරව දියේ ගිලී මියගිය විශ්වවිද්‍යාල අවසන් වසර සිසුවකු ගැන ප්‍රවෘත්තියක් ප්‍රචාරය වීම වළකා ගැනීමට මහාචාර්ය අශෝක දංගොල්ල එදින සමත් වූයේය.

රෂ්නිකා ලියනගේ

තොරතුරු – මහාචාර් අශෝක දංගොල්ල (පේරාදෙණිය විශ්වවිද්‍යාලය)