මහත්තයා මරණ චේතනාවෙනුත් නෝනලාට දොළදුක් එන්න පුළුවන්
විහාරමහාදේවිය පළමු වරට ගැබ්බර වෙද්දි එතුමියට දොළදුක් තුනක් තිබී ඇත. ඉන් පළමුවැන්න රියන් 60ක් උස විශාල මී වදයක් දොළොස් දහසක් වූ මහා සංඝයාට පූජා කර ඉතිරිය තමන්ම අනුභව කිරිමයි. දෙවැන්න එළාර රජුගේ ප්‍රධාන යෝධයා වූ නන්දසාරථීගේ ගෙල සිඳ එම කඩුව සේදූ වතුර ඔහුගේම හිස මත වාඩි වී පානය කිරීමයි. තෙවැන්න අනුරාධපුර නෙළුම් කෙතෙන් නෙලාගත් නෙළුම් මල්වලින් සැදූ අලංකාර මල් දමක් ගෙල පැළඳීමයි.
කාවන්තිස්ස රජු නිමිතිකරුවන් ගෙන්වා දේවියගේ මෙම දොළදුක්වලට හේතු විමසූ පසු දැනගන්නට ලැබී ඇත්තේ මේවා නිසි ආකාරව සන්සිඳවුවහොත් උපදින පුත්‍රයා රට එක්සේසත් කර, සම්බුද්ධ ශාසනය බබළවන බවයි. මේ අසා ප්‍රීතියට පත්වූ රජු දේවියගේ සියලු දොළදුක් සංසිඳ වූ පසු පිරුණු මනදොලින් යුතුව විහාරමහාදේවිය ගාමිණී අභය කුමරුන්ට ජන්මය දී ඇත.
ඉන් ටික කලකට පසු විහාරමහාදේවිය දෙවන වරටද ගැබ්බර විය. ඒ අවස්ථාවේ හොඳින් මල් පිපී ඇති සපු ගසක් යට වැතිරී මල් සුවඳ විඳීමේ දොළදුකක් ඇයට ඇතිවිය. මුල් වතාවේ මෙන්ම දෙවැනි වතාවේද මේ ගැන නිමිතිකරුවන්ගෙන් විමසූ විට ඔවුන් කීවේ එම දොළදුකට අනුව උපදින පුත් කුමරා ගොවිතැනින් රට සශ්‍රීක කරවන නිවුන ගති ඇත්තෙකු බවයි. ඉන්පසු කාලයාගේ අවෑමෙන් විහාරමහාදේවිය තිස්ස කුමරුන්ටද ජන්මය දුන්නාය. කෙසේ නමුත් පසුකලෙක නිමිතිකරුවන් කී පරිදිම දුටුගැමුණු නමින් රජවුණු ගාමිණී අභය කුමරුන් එළාර පරාජය කර සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කළේය. එසේම තිස්ස කුමරුන් ගොවිකමට උපන් හපන්කම් ඇත්තෙකු බවටද පත්විය.
එකල අම්මලාගේ දොළදුක් එහෙම වුණත් මෙකල අම්මලාගේ දොළදුක් ඊට හාත්පසින්ම වෙනස්ය. ඇතැමුන්ගේ දොළදුක පිටරට සවාරි යන්නටය. තවත් අයට කොස්, පොළොස්, අඹ, ඇඹරැල්ලා වෙනුවට හැම්, බේකන්, චීස්, පුඩින්වල රහ බැලීමේ දොළදුකද නැතුවාම නොවේ. එසේ නම් එදා නිමිතිකරුවන්ගේ අනාවැකි අදට හරියන්නේ නැතිද? එමෙන්ම ගැබිනි මවකට ඇතිවන දොළදුක් අනාවාර්යයෙන්ම සංසිඳවිය යුතුද? පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්.හේරත් මහතාගේ මේ පැහැදිලි කිරීම ඒ ගැනය.
‘‘ඇත්තටම දොළදුක් කියලා මතුපිටට ඉස්මතුවෙන්නේ ගැබ් ගන්න කලින් කාන්තාවකට තමන්ගේ සැමියා විසින් ඉෂ්ඨ කරලා නොදුන්නු ආසාවල්. දරුවෙක් ලැබෙන්න ඉන්න ගැබිනි මවකගේ ඉල්ලීමක්, ආසාවක් පැහැර නොහරින චාරිත්‍රයක් අපේ රටේ තියෙන නිසා ඔවුන් ගැබිනි කාලයේදී ඒ ආසාවල් ඉෂ්ඨ කරගන්න උත්සාහ දරනවා. ‘දොළ’ කියන්නේ ආශාව කියන එකටනේ. අන්න ඒ වගේ දොළක් ඉෂ්ඨ නොවීම නිසා යටිහිතේ තැන්පත් වෙලා තියෙන දුකකට තමයි දොළදුක කියන්නේ. එහෙම නැතුව ගොඩක් අය කියන විදියට කුසේ ඉන්න දරුවගේ කර්ම ශක්තීන්වල හැටියට මවකට දොළදුක් ඇතිවෙන්නේ නෑ.
විහාරමහාදේවියගෙ වගේම බිම්බිසාර රජතුමාගේ අගබිසවගේ වුණත් යටිහිතේ ඇතිවුණු ආසාවල් නිසා එවැනි ගතිගුණ තියෙන කුමාරවරු බිහිවුණා මිසක, කුමාරවරුන්ගේ උප්පත්ති කර්ම නිසා බිසෝවරුන්ට එවැනි දොළදුක් ඇතිවුණේ නෑ. ගැමුණු කුමාරයා කුසට එන්න කලින් ඉඳලම කොහොමින් හරි එළාරව පලවා හැරලා රට එක්සේසත් කරන්න ඕන කියන ඒකායන අරමුණ විහාරමහාදේවියගේ හිතේ තිබිලා තියෙනවා. හැබැයි කාවන්තිස්ස රජතුමා යුද්ධෙට අකමැති නිසා එතුමියට ඒ අසාව ඉෂ්ඨ කරගන්න විදියක් තිබුණේ නෑ. ඒ හින්දා පුතෙක් වදලා හරි ඒ අපේක්ෂාව ඉෂ්ඨ කර ගන්නවා කියන අරමුණෙන් තමයි එතුමිය ජීවත්වෙලා තියෙන්නේ. ගැමුණු කුමාරයා යුද්ධ කළෙත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා මිස හුදු යුද්ධය කිරීමට නොවේ කියන පොරොන්දුව පිට. අනික එළාරගෙන් පස්සේ ගැමුණු කුමාරයා කුරාකුහුඹුවෙකුවත් ඝාතනය කළේ නෑ. හරිනම් දරුවෙක් කුසේ ඉද්දි අම්මා කෙනෙක් කාගෙහරි බෙල්ලක් කපපු කඩුවක් හෝදපු වතුර බිව්වහම ඒ දරුවාට කොයිතරම් දරුණු සිතිවිලි තියෙන්න ඕනද? එහෙමනම් මෙතැනදී හොඳින්ම පැහැදිලි වෙනවනේ ගැමුණු කුමාරයගේ මනසට තදින්ම කාවැදිලා තියෙන්නේ කුසේ ඉද්දි විහාරමහාදේවියගේ හිතේ තිබුණු සිතුම් පැතුම් කියලා. එතකොට මං මුලින් කිව්වා වගේ මේක දේවියගේ දොළදුකක් මිසක් ගැමුණු කුමාරයාගේ දොළදුකක් නෙවෙයි.
දෙවැනි කාරණය බිම්බිසාර රජුගේ අගබිසව, රජතුමාගේ උරය පලලා ලේ බීපු නිසා අජාසත්ත එතරම් දරුණු වුණා මිසක්, අජාසත්ත සසරේ පියා මරණ චේතනාවෙන්ම ඉපදුණු නිසා දේවියට එහෙම කරන්න හිතුණා නෙවෙයි. ඒත් දේවියට ඒ වගේ සිතුවිල්ලක් පහල වුණේ ඇයි කියන එක ගැන ඉතිහාසයේ කරුණු සඳහන් වෙලා නෑ.
ජාතක කතා පොතේ තියෙනවා එක්තරා බිරිඳක් ගර්භිනී වෙලා ඉද්දි තමන්ගේ දුප්පත් සැමියට කියනවා තමන්ට රජුගේ වත්තේ තියෙන වනික් මලක පාටින් චීත්ත රෙද්දක් මහලා අඳින්න දොළදුකක් තියෙනවා කියලා. අන්තිමට අනේ කොහොමහරි බිරිඳගේ දොළදුක සංසිඳවන්න ඕන කියලා හිතලා රජාගේ වනික් මල හොරෙන් කඩන්න ගිය මේ පුද්ගලයාව රජා උලේ ඉන්දවලා මරනවා. හොඳම කතාව කියන්නේ මේ පුරුෂයාව උලේ ඉන්දවලා මරණ වෙලාවේ අර ස්ත්‍රිය සොර සැමියත් එක්ක ගෙදර පෙම් සුව විඳිනවා. දුරදිග බලන්නැතුව ගෑනිගෙ රෙද්දට පාට හොයන්න ගිය මේ පුද්ගලයාට නිකරුණේ මැරෙන්න සිද්ධ වුණා.
කතාවේ හැටියට තමන්ගේ ස්වාමියාට ඒ ඉරණම අත් කරනවා කියන අරමුණ ඇයගේ යටිහිතේ තිබිලා තියෙනවා. නමුත් ඒක ඉෂ්ඨ කරගන්න අවස්ථාවක් ලැබුණේ ගර්භනී සමයේ.’’
පසුව ඔහු මෙම සියලු කරුණු අද කාලයට අනුව සසඳමින් පැහැදිලි කළේ මෙසේය.
‘‘දවසක් මගේ ශිෂ්‍යාවකගේ අම්මා කෙනෙක් මගේ ළඟට අඬාගෙන ඇවිත් කිව්වා ‘අනේ මහත්තයෝ මගේ දුව මාව දකින දකින තැන ගහලා මරාගෙන කන්න හදනවා’ කියලා. පස්සේ මම මේ අම්මත් එක්ක දිගින් දිගටම කතා කරද්දි තමයි දැනගත්තේ මේ අම්මා ගර්භිනී කාලේ දොළදුකට කියලා මහත්තයව කැලේට යවලා සතෙක් මරවලා උන්දෑ ලවාම උයාගෙන කාලා කියලා. මේ අම්මා කියපු විදියට දොළදුකට කියලා ඒ ආශාව සන්සිඳවා ගත්තට සතෙක් මරලා දඩමස් කන්න ඕන කියන ආශාව කලින් ඉඳලම තිබිලා තියෙනවා. නමුත් කොයිතරම් කිව්වත් මහත්තයා ඒකට කැමති වෙලා නෑ. පස්සේ දරුවා ලැබෙන්න ඉද්දි දොළදුක මුවාවෙන් ඇය සැමියා ලවා ඒ අශාව ඉෂ්ඨ කරගෙන තියෙනවා. එතකොට දඩමස් කන එක ඒ දරුවගේ උප්පත්ති කර්මයක් නිසා දරුවගෙ හිතට පහල වුණ දොළදුකක් නම් කුසේ ඉද්දි තමන්ගේ ආශාව ඉෂ්ඨ කරපු අම්මට ඇයි අද ඒ දරුවා ඒ තරම් වෛර කරන්නේ?
හැබැයි ඕකෙ මෙහෙම පැත්තකුත් තියෙනවා. ගැබ්බර වෙලා ඉන්න ඕනම අම්මා කෙනෙක් තමන්ගේ අතින් උයපු නැති අනුන්ගේ බතක් කන්න හරි ආසයි. ඒක ඉතින් පෘතග්ජන මිනිස්සු විදියට බොහොම අහිංසක සිතුවිල්ලක්. නමුත් ඔය කාලෙට හැම්, බේකන්, චීස්, පුඩින්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් කන්න හිතෙන දොළදුක් හැදෙන්නේ නම් මම අර කලින් කියපු කරුණු නිසා. ගොඩක් මහත්තරු බැන්දට පස්සේ කලින් හිටි විදියට නෝනා කන්න ආසා දේවල් ගෙනත් දීලා, යන්න ආස තැන්වල ගෙනියනවා අඩුයි. එහෙම කළත් කරන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. ඉතින් අර කිව්ව හැම්බේකන්, චීස්, පුඩින් කන්න මහත්තරු නිතරම නෝනලව එළියට එක්ක යන්නෙත් නෑ. ගෙනල්ලා දෙන්නෙත් නෑ. නමුත් තමන්ගේ දරු පැටියා කුසේ තියාගෙන ඉන්න ගැබ්බර බිරිඳ ඉල්ලන කෑමක් සැමියෙක් බෑ නොකියා ගෙනත් දෙනවා. ඒක බිරින්දෑවරුන් හොඳාකාරවම දන්නවා. අන්න ඒ වෙලාවට අම්මලා හිතේ තියෙන ආශාව ඉෂ්ඨ කරගන්න කටයුතු කරනවා. ඒකයි අද කාලේ දොළදුකත් මොඩ්වෙලා පොෂ්වෙලා කියලා අපිට පේන්නේ.
අනික අද කාලේ සල්ලි තියෙන අම්මලාට හැදෙන දොළදුකක් තමයි රට සවාරි යන්න ආසා හිතෙන එක. නමුත් නිකමට හිතන්නකෝ ඒකත් සාමාන්‍ය දොළදුකක් නම් දුප්පත් සැමියෙක් කොහොමද ඒක සංසිඳවන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි. සල්ලිකාර බිරිඳ සැමියට සල්ලි තියෙන බව දන්න නිසා රට දොළදුක හැදෙනවා. දුප්පත් බිරිඳ සැමියට සල්ලි නැති බව දන්න නිසාත්, කිව්වට පලක් නැති බව දන්න නිසාත් ඒ දොළදුක හැදෙන්නේ නෑ.’’
ගැබිනි කාලයේදී මව්වරුන්ගේ සිත් තුළින් ඉස්මතුවන මෙවැනි ආශාවන් සහ ඒවා ඉටු කරගැනීමට යාමේදී එය කුසේ සිටින දරුවාට බලපාන ආකාරය ගැනද අත්තනායක මහතා පැහැදිලි කළේය.
‘‘අපි කලින් පෙන්නලා දුන්න කරුණු කාරණාවලින් මනාව පැහැදිලි වෙනවා අම්මගේ හිතේ තියෙන සිතුවිලි ලැබෙන්න ඉන්න දරුවගේ මනසට තදින්ම කාවදිනවා කියලා. ගොඩක් වෙලාවට ගැබිනි මවක් රහතන් වහන්සේ නමක් වගේ හැසිරෙන්න ඕන කියලත්, ගැබිනි මවට රහතන් වහන්සේ නමකට වගේ සලකන්න ඕන කියලත්නේ කියන්නේ. ඒ නිසයි දරුවෙක් ලැබෙන්න ඉන්න මවකට මස්, මාළු කෑල්ලක් කපන්නෙ නැතුව, බිත්තරයක් කඩන්නෙ නැතුව නිතරම බණ භාවනාවලට, සෙත්පිරිත්වලට හිත යොමු කරන්න කියන්නේ. හැමවෙලාවෙම අම්මගෙ නිදියහන ළඟ පිරිත්, බණ ඇහෙන්න සැලැස්සුවම කුසේ ඉන්න දරුවටත් ඒවා ඇහෙනවා. අම්මගේ හිතේ ඇතිවෙන පින් සිතිවිලි දරුවගේ මනසටත් කා වැදිලා පින්වන්ත දරුවෙක් බිහිවෙනවා.
අවසාන වශයෙන් දරුවෝ බලාපොරොත්තුවෙන් ගැබ්බර වෙලා ඉන්න මව්වරුන්ට මෙන්න මේ කාරණය කියන්නම අවශ්‍යයි. ගැබිනි සමයේදී තමන්ගේ හිත, කය ක්‍රියා කරන විදිය ගැන තමන්ම හොඳ අවධානයකින් ඉන්න. නිකමට හරි තමන්ට අසාමාන්‍ය දොළදුකක් පහල වුණාත් ඒක ඇත්තටම ගැබ්බර විම නිසා පහල වුණ දොළදුකක්ද එහෙමත් නැත්නම් තමන්ගේ හිතේ කාලෙක ඉඳන් තැන්පත් වෙලා තිබුණ ආසාවක්ද කියලා සිහිනුවණින් හිතලා බලන්න. අනික මෙතැනදී පුරුෂ පාර්ශවයත් හොඳ බුද්ධියකින් කටයුතු කරන්න ඕන. ගැබිනි සමයේදී තමන්ගේ බිරිඳ කන්න බොන්න යන්න එන්න ඕන කියන දේවල්වලින් ඇයගේ හිතේ වැඩ කරන සිතුම් පැතුම් මොන වගේද කියලා තේරුම් ගන්න බලන්න ඕන. නිකමටවත් ඒ දේවල් ගැබිනි මවකට නුසුදුසුයි කියලා හැඟුණොත් ඇයට ආදරයෙන් කරුණු පහදලා දීලා ඇගේ හිත වෙනතක යොමු කරන්න තරම් සැමියා සූක්ෂම වෙන්නත් ඕන.’’
ලිහිණි මධුෂිකා