කිහිල්ල ගැන කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැද්ද?
අද අපි කතා කරන්නේ අත් යට එහෙමත් නැත්තම් කිහිලි ප්‍රදේශය අවපැහැ ගැන්වෙන එක ගැන.
බොහෝම ඉස්සර ඉඳපු ගෑනු උදවිය නම් අත් යට ප්‍රදේශය ගැන උනන්දු වුණා කියලා කියන්න කිසිම සාක්ෂියක් නැහැ. හැබැයි අසූව දශකයේ අගභාගය විතර වෙනකොට යූරෝපීය කාන්තාවන් අතර අත් රහිත ඇඳුම් මෝස්තර ප්‍රසිද්ධ වෙන්න පටන් අරන් තියෙනවා. එතුවක් කාලෙකට වහන් කරන් ඉඳපු අත් යට ප්‍රදේශය සමාජෙට විවර වෙන්න ගත්තෙ ඔය කාලෙලු.
ඒ වගේම හොලිවුඩ් කර්මාන්තයේ නැගී ඒමත් එක්ක තරුණ ගෑනු ළමයින්ට චිත්‍රපටි නිළියෝ වීමේ උන්මාදයකුත් ඇතිවෙලා තියෙනවනේ. ඉතින් තිර පරීක්ශණවලදි (Screen Test) ගැහැනු අය කිහිල්ල ප්‍රදර්ශනය වෙන ආකාරයට ඡායාරූපවලට පෙනී සිටින්න ඕනෙලු. එතකොට අත් යට කළු නම් හෝ අනවශ්‍ය රෝම එහෙම තියෙනවා නම් ඒ කෙනා තිර පරික්ෂණයෙන් අසමත්!
ලොකේ මුලින්ම බියුටි පැජන්ට් කියන ජාතිය පටන් අරන් තියෙන්නේ ඇමරිකාව. ඒ ‘මිස් ඇමරිකා’ කියන පැජන්ට් එකෙන්. ඉතින් මිස් ඇමරිකා තෝරනකොටත් තරඟකාරියන්ගේ අත් යට සුදුද, කළුද, ලස්සනද කියලා හොයලා බැලුවලු. ඊටපස්සේ තමයි එහෙ කාන්තාවොත් කිහිල්ල ගැනත් හිතන්න පටන් අරන් තියෙන්නේ.
මූණ කොච්චර ලස්සන වුණත් කිහිල්ල අවපැහැගැන්වුණු කෙනෙක්ට ආසාවටවත් අත් නැති ඇඳුමක් අඳින්න බැහැ. අනික මේක කෙනෙක්ට අපුල දනවන දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අත් යට කළු වෙන එක කෙනෙක්ගේ පුද්ගලික සබඳතාවලටත් අහිතකර ලෙස බලපාන්න පුළුවන්.
අපේ කිහිල්ල ප්‍රදේශයේ තියෙන දහඩිය ග්‍රන්ථිවලින් වැඩිපුර දහඩිය පිටවෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයේ ආම්ලිකතාවය සාපේක්ෂව ඉහළයි. ඒ නිසා මෙතැන බැක්ටීරියා වර්ධනය වෙනවත් වැඩියි. අනික මේ ප්‍රදේශයට හරි හමන් වාතාශ්‍රයක් ලැබෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා හරියට බලාගන්නේ නැත්තම් කිහිල්ල කොහොමත් කළු වෙනවා.
අත් යට කළු වෙන්න බලපාන ඊළඟ ප්‍රධානම කාරණාව තමයි රේසරය භාවිතා කරලා අනවශ්‍ය රෝම ඉවත් කරන එක. කිහිල්ලේ සම හරිම සංවේදියි. මේ ප්‍රදෙශයේ සම ඇස් යට සමට සමානයිලු. ඉතින් මෙතැනත් මලක් වගේ බලාගන්න ඕන තැනක්. රේසරයකින් කිහිල්ලේ අනවශ්‍ය රෝම ඉවත් කරද්දී සමේ ඇහැට නොපෙනෙන සියුම් සීරීම් ඇති වෙනවා. ඉතින් දිගින් දිගටම රේසරය භාවිතා කරද්දි අත් යට නිකම්ම වගේ කළු වෙනවා. අනික ඉතින් රේසර් කරද්දි ඉවත් වෙන්නේ රෝම කූපවල උඩ කොටස විතරනේ. එතකොට රෝම මූලය සමේම ඉතිරි වෙලා කිහිල්ල කොහොමත් කළු පාටට පේනවා. රේසරවල ලෝහ ඇලජික් වෙන අයත් ඉන්නවා. හැබැයි තමන්ට රේසරේ ඇලජික් වෙලා කියලත් සමහරු දන්නෙ නෑ. එහෙම වුණාම තමා රෝම ඉවත් කළාට පස්සේ බිබිලි, රතු ලප එහෙම ඇති වෙන්නේ. කාලයක් තිස්සේ මේවා ඇති වුණාමත් අත් යට කළු වෙනවා.
කිහිල්ලේ තියෙන රෝම ඉවත් කරන්න හොඳම ක්‍රමේ තමා වැක්ස් කරන එක. නැත්තම් ලේසර් කරලා රෝම වදයෙන් සදහටම මිදෙන එක. ඒත් ඉතින් රේසරය භාවිත නොකරම බැහැ කියලා හිතෙනවා නම් ශේව් කරන්න කලින් කිහිල්ල මත ශේවින් ක්‍රීම් ටිකක් හරි කෝමාරිකා යුෂ ටිකක් හරි ගාන්න අමතක කරන්න එපා. ශේව් කරද්දි රේසරය රෝම වැවිලා තියෙන දිශාවට විතරක් ගෙනියන්න මතක තියාගන්න. අනික එකම තැනින් දෙපාරක් රේසරය ගෙනියන්න එපා. ශේව් කරලා ඉවර වුණු හැටියේ අත් යට පිරිසුදු කරලා හොඳට තෙතමාත්තු කරන්න. මොකද හරි හැටි තෙතමාත්තු නොකිරීමත් අත් යට කළු වෙන්න එක හේතුවක්. එහෙම කරලා මොයිස්චරයිසර් ක්‍රීම් ටිකක් ගාන එකත් වැදගත්. අහ්… තව දෙයක් එකම රේසරය හතර පස් වතාවකට වඩා භාවිත කරන්නත් එපා. මොට්ටා වුණු රේසරවලින් අත් යටට වෙන හානිය වැඩියි.
ඊළඟ කාරණාව මධ්‍යසාර අඩංගු ඩියෝඩ්‍රන්ට් සහ සුවඳ විලවුන් භාවිතය. අත් යට සම බොහොම සියුමැලියි කිව්වනේ. ඉතින් මේ වගේ දේ නිතර කිහිල්ලේ තැවරුණාම ඒ රසායනික සංයෝග සමට ආසාත්මික වෙලා අත් යට අවපැහැවෙනවා. ඒ නිසා ඩියෝඩ්‍රන්ට් හරි සුවඳ විලවුන් හරි මිලදී ගන්නකොට මධ්‍යසාර රහිත ප්‍රමිතිගත ඒවා ගන්න.
මූණේ මැරුණු සම ඉවත් කළාට ගොඩක් අය මේ ප්‍රදේශවල මැරුණු සම ඉවත් කරන්නේ නෑනේ. ඒකත් කිහිල්ල කළු වෙන්න හේතුවක්. ඊට අමතරව හෝර්මෝන ගැටලු සහ ජානමය තත්ත්වයන් නිසාත් ගොඩක් අයගේ අත් යට කළු වෙනවා. ඒ දේවල්වලට නම් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ගන්නම වෙනවා. ඒ වගේ ගැටලු ඇරුණුකොට අපි කලින් කිව් හේතු නිසා අත් යට කළු වුණු කෙනෙක් නම් මෙන්න මේ සත්කාර කරලා බලන්න.
අයිස් කැට කිහිපයක් අරගෙන කපු රෙදි කෑල්ලක ඔතලා නින්දට යන්න කලින් විනාඩි දහයක් විතර අත් යට තියාගෙන ඉන්න. මේ සත්කාරය දිනපතා කරන තරමට ප්‍රතිඵල වැඩියි. තව එතකොට කස්තුරි කහ කඩල පිටි සහ ලෙමන් යුෂ ටිකක් එකට මිශ්‍ර කරලා අත් යට ආලේප කරන්න. විනාඩි 15ක් තියලා සෝදලා අරින්න.
දෙහි ලෙලි ටිකක් වියළලා කුඩු කරලා ඒකට මුල්තානි මිට්ටි සහ රෝස වතුර මිශ්‍ර කරලා ආලේප කරන්න.
ලෙමන් යුෂ සහ සියුම් සීනි මිශ්‍ර කරලා අත් යට සියුම්වට ස්ක්‍රබ් කරන්න. අර්තාපල් පෙත්තක් කපලා විනාඩි කිහිපයක් අත් යට තියාගෙන ඉන්න එකත් කිහිල්ලට හොඳ සත්කාරයක්.
කිහිල්ල ප්‍රදේශයේ ආසාදන, රතුවීම්, කැසීම්, බිබිලි වගේ දේවල් තියෙනවා නම් ඉක්මනටම ප්‍රතිකාර කරන්න.
හැබැයි මේ මොන සත්කාරය කළත් අත් යට සම එකපාර යථා තත්ත්වයට පත් කරන්න බැහැ. ඒකට කාලයක් ගත වෙනවා. ඉතින් අත් යට කළු වෙන්න නොදී ආදරෙන් බලාගන්න එක තමයි හොඳම වැඩේ.
සෙව්වන්දි හෙට්ටිආරච්චි