විශේෂාංග

දොස්තර මහත්තයට පෙරලා සලකන්න අලියෙක් එතුමව ගෙදර එක්කගෙන ගිහිල්ලා

රෝගී අලියෙකුට ප්‍රතිකාර කිරීමේදී පශු වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම්වලට දැරීමට සිදුවන අවදානම අතිමහත්ය. ඒ සියල්ල දරාගෙන රෝගියාට ප්‍රතිකාර කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. ඊට කැපවූ විට වෙනත් කිසිවක් කෙරෙහි අවධානය යොමු නොවේ. මෙය වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ පුත්තලම කලාපයේ සේවය කරමින් සිටියදී මුහුණ දුන් අත්දැකීමකි. එවිට ඔහු වනජීවී දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී වසරක් එකහමාරක් පමණ ගතවූවා පමණි.

කකුල් ඉදිමුණු අලි රෝගියෙකුට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් විය. ඒ අනුව ඖෂධ ඇතුළු උපකරණ සමඟ සූදානම් වුණු කණ්ඩායම කඩිනමින් අදාළ ස්ථානයට ගියේය. එහෙත් රෝගියා වෙත ළඟාවීමට අසීරුය. සතා සිටියේ කටු පඳුරු සහිත ළඳු කැලෑවක රිංගාගෙනය. ඊට පිවිසීම පහසු නැත.

‘‘ගොඩක් වෙලාවට රෝගී වුණු අලි ඒ වගේ තැන්වල තමයි ඉන්නෙ. මොකද මිනිසුන්ගෙන් හරි වෙන දෙයකින් හරි වෙන බලපෑම අඩු නිසා. ඒ වගේ තැනක ඔවුන්ට නිදහසේ ඉන්න පුළුවන්. ඒ වුණාට ඒ වගේ තැන්වලට ගිහින් ප්‍රතිකාර කිරීම හරිම අපහසුයි.’’ඉහත කී රෝගී අලියා වෙනුවෙන්ද ඒ දුෂ්කරතාව අත්විඳීමට වෛද්‍යවරයා ඇතුළු පිරිසට සිදුවිය. නිර්වින්දනය කිරීමට දරණ ප්‍රයත්නයද සාර්ථක නැත. කටු පඳුරු අස්සේ නිසි එල්ලය ගන්නේ කෙසේද? එය ප්‍රයෝජනයට ගත් අලියා කෙමෙන් කෙමෙන් වනය ඇතුළට ගියේය. වනජීවී කණ්ඩායම ඒ පිටුපසිනි. පිරිසට අවදානම අමතක විය. ඔවුන්ගේ එකම අභිප්‍රාය වූයේ සතාට ප්‍රතිකාර කිරීමයි. අලියා මායාකරුවකු මෙන් පිරිසද රැගෙන ගියේය. ටික වේලාවකින් සියල්ලෝ විශාල එළිමහනකට පිවිසියහ. වෛද්‍යවරයා ප්‍රමුඛ පිරිසට ඒ ගැන අවබෝධ වනවිට ප්‍රමාද වැඩිය. දැන් සියල්ලන් සිටින්නේ අලියාගේ රාජධානියේය. ඒ මදිවාට සතා නිර්වින්දනය කිරීමද ඒ වනවිටද සාර්ථකව නොතිබිණ. ටික වේලාවකින් ප්‍රතිකාර කිරීම ත්‍රාසජනක ජවනිකාවක් බවට පරිවර්තනය විය. රෝගියා එකවරම හැරී තමාගේ උදව්වට පැමිණි අය දෙසට දුවන්නට පටන් ගත්තේය. අලියා සහ පිරිස අතර පරතරය මීටර පනහක්වත් නැත.

‘‘මෙයා එකපාරටම අපේ පැත්තට හැරිලා එනකොට අපට කිසි දෙයක් හිතාගන්න බැරි වුණා. අපි තුවක්කු අරන් ගියාට ලේසියෙන් ඒවා පාවිච්චි කරන්නෙත් නෑ. අපි එක්ක එදා මාධ්‍යවේදියෙකුත් මේ ගමනට සම්බන්ධ වුණා. මේ රාජකාරිය කෙතරම් අවදානම්සහගතද කියන එක එදා තමයි ඔහුටත් අවබෝධ වුණේ. ඊටපස්සෙ ඔහු ඒ වගේ කටයුතුවලදී වැඩිය ළඟට ආවෙත් නෑ. ඉතින් එදා අපි කලබලේට බෙහෙත් පෙට්ටි ටිකත් දාලා එහෙට මෙහෙට දිව්වා. බෙහෙත් පෙට්ටි සුදු පාටින් තිබුණ නිසා අලියාගෙ අවධානය යොමු වුණේ ඒවට. එයා දුවගෙන ඇවිත් ඒවා කුඩු කළා. ඒකෙන් කේන්තිය පිටකර ගත්තට පස්සෙ එයා අපිට කරදර නොකර ආයෙම හැරිලා ගියා. කැලෑවට යනකොට වර්ණවත්, කැපී පෙනෙන ඇඳුම් අඳින්න එපා කියන්නෙත් ඒකයි. මොකද පහසුවෙන් සතෙකුට ඉලක්ක වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්.’’

කෙසේ වෙතත් වෛද්‍ය ඉසුරු ඇතුළු නඩයද මෙහෙයුම අතහැරියේ නැත. ඔවුන් එදින නැවත පැමිණියේ අලියාට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුවය. හදවතින් රාජකාරිය කරන්නෙකුට එය මග දමා පැමිණිය නොහැකිය. එය රාජකාරියට එහා ගිය එකකි. එදා ජීවිත අවදානම දරමින් අසීරුවෙන් ප්‍රතිකාර කළ අලියා අදටද නිරුපද්‍රිතව වෙසෙන බව පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ සිහිපත් කරන්නේ බොහෝ සතුටිනි.

තොරතුරු – පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ

රෂ්නිකා ලියනගේ