විශේෂාංග

කළු කෙල්ලො හරි ගණන්

කූඩියාට තිබුණේ ඉතා සුන්දර පෙනුමක් නම් නොවේ. ඇය උපතින්ම අසාමාන්‍ය ලෙස කළු පැහැති තරුණියක්. කොතරම් කළුද කිව්වොත් ඇයගේ මුහුණත්, කොණ්ඩයත් වෙන් වෙන්ව හඳුනාගත නොහැකි තරමට ඇය කළු පැහැතියි. ඒ අසාමාන්‍ය පැහැය නිසාම කූඩියාගේ ළමා කාලයත් එතරම් සුන්දර වුණේ නෑ. බොහෝදෙනෙක් ඇයට සමච්චලයට මෙන් ‘කළු කෙල්ල’ සහ ‘කැත කෙල්ල’ කියලයි කතා කළේ. ​ බොහෝවිට පවුලේ වැඩිහිටියන් පවා ඇයට කතා කළේ එහෙමයි. එවැනි අවස්ථාවල ලැජ්ජාවෙන් හඬාගෙන ගොස් මව ළඟ දැවටීමයි ඇය කළේ.

කාලය ගතවෙලා තමා නවයොවුන් වියට පැමිණෙද්දී මේ අසාමාන්‍ය කළු පැහැය අඩුවෙයි කියලයි කූඩියා හිතුවේ. ඒත් ඒක එහෙම වුණේ නෑ. මුහුණ බලන කණ්ණාඩිය ඉදිරියට ගොස් බලන වාරයක් වාරයක් ගානේම ඇයට සිතුණේ තමාගේ කළු පැහැය තවත් වැඩිවී ඇති බව. ඒ වනවිට කූඩියාට වයස අවුරුදු දහඅටයි. ඒ විදියට ගෙවිලා ගියපු දහඅට අවුරුද්ද පුරාවටම සමාජයෙන් ලද ගැරහුම් නිසා ඇයට ජීවිතය තිත්ත වෙලයි තිබුණේ. ජීවිතය නැතිකරගන්න පවා සිතුණු වෙලාවලුත් තිබුණා. පසුව ඇය කාමරයට වෙලා දවස් ගණන් එකදිගට කල්පනා කළා. ඒ තමා මෙලෙස විඳින නින්දා අපහාසවලින් ගැලවෙන ආකාරයක් ගැන.

අවසානයේ තුන්හිතකවත් නොතිබුණු විදියේ තීරණයක් තමයි ඇය ගත්තේ. ඒ තමයි නිරූපිකාවක් වෙන්නට තීරණය කිරීම. ඒත් නිරූපණ ශිල්පිනියක් වෙන්නට වැදගත්ම දේ රූපයයි. කූඩියාගේ රූපය අනුව නිරූපණය වැනි වෘත්තියක් තෝරාගැනීමම හාස්‍යයජනකයි. ඒ වගේම ඇය උපන් නැගෙනහිර යුරෝපීය රාජ්‍යයක් වෙන ස්ලෝවැකියාවේ සිටියේම සුදු හමක් සහිත තරුණියන්. ඒ නිසා එවැනි වෘත්තියක් තෝරාගැනීම තුළ තවදුරටත් ඇයව සමාජය ඉදිරියේ හාස්‍යයට ලක්වෙන එකයි වෙන්නේ. ඒ බව කූඩියාත් හොඳින්ම දැන සිටියා. නමුත් ඉදිරියට තැබූ පියවර යළිත් වතාවක් පසුපසට ගන්නට තරම් ඇයට හිත දුන්නේ නෑ.

කූඩියා නිරූපණ ශිල්පිනියක් වෙන්නට ගත් තීරණය ඇසූ ඇයගේ දෙමව්පියෝ පුදුමයටත් විශ්මයටත් පත්වුණා. එයින් නොනැවතී දැඩි වේදනාවටත් පත්වුණා. ඒ ඇගේ රූපය අනුව ඇය තෝරාගත් වෘත්තියේ නොගැළපීම නිසා. එහෙත් ඒ බවක් ඔවුන් කූඩියාට පෙන්වූයේ නෑ. ඒ තවදුරටත් ඇගේ සිත රිද්දන්න බැරි නිසා. හැබැයි මෙතරම් කළු තරුණියක් නිරූපණ වෘත්තියට ගියොත් ඇයට ලැබෙනා නින්දා අපහාස ගැන ඔවුන් බය වුණා. ඒ නිසා කූඩියාගේ තීරණයට දෙමාපියන් විරුද්ධ වුණා. නමුත් ඔවුන් ඒකට හේතුව කෙළින්ම කිව්වේ නෑ.

‘‘දරුවෝඒ වාගේ රැකියාවක් අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නෑ. ඔයා වෙනත් පැත්තක් තෝරගන්න.’’

එසේ පැවසූවේ ඇගේ පියාය. ඒත් තීරණය වෙනස් කිරීමට කූඩියා කිසිවිටෙකත් සූදානම් වුණේ නෑ. ඇය පෙරළා තමාගේ පියාට මෙසේ පැවසුවාය.

‘‘මට හැමෝම විහිළු කරනවා මං කළුයි මං කැතයි කියලා. ඒ නිසා මං නිරූපණ ශිල්පිනියක් වෙනවාමයි.’’

කොතරම් උත්සාහ ගත්තත් කූඩියාගේ තීරණය වෙනස් කරන්නට ඇගේ දෙමව්පියන්ට හැකියාවක් ලැබුණේ නෑ. පළමු ඔඩිෂන් එකට ගියාම වුණේ ඇය හැල්ලුවට ලක්වීම පමණයි. ඇයට කැමරා ශිල්පීන් ඇතුළු එතැන සිටි සියල්ලෝම සිනාසුණා. ඔවුන් එක හඬින් පවසා සිටියේ ඇයගේ රූපය එවැනි වෘත්තියකට නොගැළපෙන බව. ඒත් කූඩියා එතැනට ගොස් තිබුණේ ඒ සියලුදේට මුහුණදෙන්නට බලාගෙන. ඒ නිසා ඇය එම අවස්ථාවට සාර්ථකව මුහුණ දුන්නා. ඊටපස්සෙ ඇය පුවත්පත් සහ සඟරාවල නිරූපණය සඳහා යොමුවුණා. නමුත් එතැනදිත් ඇයට සිදුවුණේ ඒ ක්ෂේත්‍රයේ මිනිසුන්ගේ හාස්‍යයට බඳුන්වෙන්න.

වැදගත්ම දේ තමයි කොතරම් අමාරු කාලයක් ගතවෙමින් තිබුණත් ඇය කිසිඳු අවස්ථාවක හිතින් වැටු​ණේ නෑ. නිරූපණ ක්ෂේත‍්‍රයේම රැඳී සිටින්නට ඇය දිගටම උත්සාහ කළා. කූඩියා ඒ වෙනුවෙන් නොකළ දෙයක් නෑ. ප්‍රතික්ෂේපවීම් පරාජයන් හමුවේ ඒ සියල්ලම ඇය තනිවම දරාගත්තා. අවසානයේ ඇය නතරවුණේ ජාත්‍යන්තරය තුළ ඉතා ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වෙමින්. දැන් ඇය කොතරම් ජනප්‍රියද කිව්වොත් ඇගේ ට්විටර් ගිණුම තුළ පරිශීලකයින් මිලියන ගණනක් ඉන්නවා.

දැන් කූඩියාව එරට රූපවාහිනී නාළිකාවල නොපෙන්වා සිටින දවසක් නැති තරම්. එසේම ඇය නොමැති නිරූපණ තරඟයක් ඒ රටේ දැන් නැති තරම්. පුවත්පත්, සඟරාවල මුල් පිටු සරසන්නට ඇයට එන ආරාධනාවල වුණත් කිසිඳු අඩුවක් නෑ. අදටත් ඇය දකින බොහෝදෙනෙක් කූඩියාගෙන් අසන්නේ ඇයට ඇති අසාමාන්‍ය කළු පැහැයත් සමඟ නිරූපණය වැනි වෘත්තියකට යොමුවූයේ කොහොමද කියන එක. එවිට ඈ සිනාමුසු මුහුණින් හරි අපූරුවට උත්තර දෙනවා.

‘‘ඔබලා තවමත් එහෙම අහන්නේ ඇයි කියලා මං දන්නේ නෑ. ඇත්තටම මගේ මේ පාට වෙන කිසිම කෙනෙකුට නැති පාටක්. ඉතින් මං හිතුවා මට ලැබුණු මේ අසාමාන්‍ය රූපය ලෝකයාට පෙන්විය යුතුයි කියලා. දැන් මං ගොඩාක් සතුටින් ජීවත්වෙනවා.’’

අද වනවිට කූඩියා ගිය පාරේම යමින් නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන රූපයෙන් කළු පැහැ තරුණියෝ බොහෝමයි. ඔවුන් දැන් සුදු කෙල්ලන්ට පවා අභියෝගයක්. සුදු කෙල්ලන් අභිබවා යමින් කළු කෙල්ලන් අද ජාත්‍යන්තර රූ රැජිනියන් ලෙස පවා කිරුළු දරන්නේ එහි ප්‍රතිඵලයක් විදියට. ඉතින් කළු කියන්නෙ වෙනම BRAND එකක්. කවුරු ගනන් ගත්තත්, නැතත් ඒක BRAND එකක් වෙන්නේ හරිම තැන හොඳම වෙලාවට. එහෙම බලද්දි අද කූඩියා කියන්නේ කළු කියන BRAND එක නිසාම ලෝකයේ ඉහළම මිල අය කරන නිරූපිකාවන් අතර එක්කෙනෙක්. ඉතින් කොහොමද කියන්නෙ ජීවිතය දිනන්න අවශ්‍ය නම් කෙනෙකුට තවදුරටත් තමන්ගෙ පෙනුම ඒකට ප්‍රශ්නයක් කියලා?

රුවන් එස්.සෙනවිරත්න