විශේෂාංග

නැතුවට දිගම දිග බූල් එයා හරිම කූල්

ඒ ගිය අවුරුද්දේ පෙබරවාරියේ දවසකි. ඉන්දු රණවීර පස්යාල බලා පිටත් වුණේ ඇය සේවය කරන බැංකුවේ රාජකාරී කටයුත්තක් සඳහාය. හැමදාමත් එළියට බසිද්දී පාරේ දුක් විඳින සතුන් ඇස නොගැසේවායි ප්‍රාර්ථනා කළත් එදාද ඉන්දුගේ දෑස් අවාසනාවන්ත වී තිබුණේය. එල්ලක්කල පෙදෙසේදී ඇගේ ඇස ගැසුණේ අතේ කෑල්ලක් එල්ලා වැටෙමින් තිබියදී යන එන මිනිසුන් දෙස බයෙන් බයෙන් ඇස් කරකවමින් බලන මාස දෙක තුනක පුංචි බලු පැටියෙකි. දුඹුරු පැහැති ඒ බලු පැටියා දෑසට හසුවූ එක බැල්මකින්ම සතා විඳින පීඩාව, වේදනාව, බඩගින්න සහ අසරණකම කොතෙක්දැයි ඉන්දුට දැනුණි. ඒත් වෙනදා සේ යන වාහනයෙන් බැස අසරණයාට පිහිටවන්නට ඇයට එය අවස්ථාවක් නොවුණේය. ඒ නිසා ඇය මොහොතක් පමා වී අසරණයාගේ ඡායාරූපයක් දුරකතනයට හසු කරගත්තාය. ඒ ඡායාරූපය සමඟ සටහනක් තබා ඇය එය මුහුණුපොතට එක් කළේ කවුරුන් හෝ ඒ පැටවාට පිහිට වෙනු ඇතැයි කියා සිතමිනි. ආපසු එන ගමනේදී බලු පැටවා සිටි දිහාවට ඇස් යොමු කළද ඌ පෙනෙන්නට සිටියේ නැත. තමා දැමූ පෝස්ට්ටුවට ප්‍රතිචාර ලැබී ඇත්දැයි බැලූ කල ඇයට මහා දුකක් දැනුණි. සතාට පිහිට වීමට කිසිවෙකු ඉදිරිපත් වී තිබුණේ නැත. ඒ නිසා ඉන්දු රාජකාරී නිමවා ගෙදර නොගොස් යන්නේ බලු පැටවා දුටු පස්යාලේ එල්ලක්කලටයි.

‘‘එයා හිටපු තැන හිටියේ නෑ. මට ඇඬුණා. මොකද එයා හරිම අසරණ වෙලා හිටියෙ. මං අඬ අඬාම ගොඩක් වෙලාවක් හෙව්වත් හොයාගන්න බැරි වුණා. පහුවදා උදේ වැඩට ගිහින් හවස එයාව හොයන්න ගියා. ගමේ අයත් උදව් කළා. ඒත් හොයාගන්න බැරි වුණා. තුන්වැනි දවසේ ගියාම ඒ වෙලාවෙ ළමයි ටිකක් හම්බ වුණා. ඒගොල්ලන්ට මම කිව්වා බලු පැටියා හොයලා දෙනවා නම් සල්ලි දෙන්නම්, ඔයාලා මට පණිවිඩයක් දෙන්න කියලා. ඊට පහුවදා යන්න බැරි වුණා. ඊටත් පහුවදා ඒ කියන්නෙ පෙබරවාරි පස්වෙනිදා මට කෝල් එකක් ආවා අර ළමයින්ගෙන්. අපි බලු පැටියා වටකරගෙන ඉන්නේ, අල්ලන්න බෑ, ඉක්මනට එන්න කියලා. ඒ වුණාට මං එදා උදේ වැඩට ඉන්නම ඕන. මට යා ගන්න විදිහක් නෑ. මං වත්තල කසුන් මල්ලිට කතා කරල විස්තරේ කිව්වා. කසුන් කියන්නෙ ඕන කෙනෙක්ට විශ්වාසයෙන් සතෙක් බාර දෙන්න පුළුවන් කෙනෙක්. එයා ගිහිල්ලා බලු පැටියාව අල්ලගෙන නිට්ටඹුවෙ ඩොක්ටර් ගාවට අරන් ගියාම නවත්තගෙන බෙහෙත් කරන්න කැමතිවෙලා තිබ්බෙ නෑ. සතා හොඳටම දුර්වලයි කියලා තිබ්බා. ඊට පස්සේ කඩවත ඩොක්ටර් පෙට් එකට යැව්වා. එහෙන් කිව්වා සතාට බඩඑළිය යනවා, අතේ කැඩුණ කෑල්ලෙන් ඇතුළටත් පණුවො කාගෙන යමින් ඉන්නේ. ප්‍රතිකාර කරමු කියලා. ඒත් එයාට පාවෝ වගේ නිසා, රෝහලේ නවත්තගෙන ප්‍රතිකාර කරන්න බෑ කිව්වා. නවත්තලා ඉන්න අනිත් අයටත් බෝවෙන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් හවස වැඩ ඇරිලා එන ගමන් කඩවතට ඇවිත් පැටියාව අරගෙන ගෙදර ගියා. හොස්පිටල් එකෙන් දුන්න බෙහෙත් දිදී එයාව දවස් දෙකක් ගෙදර තියාගෙන හිටියා. ඒත් සතා එන්න එන්නම දුර්වල වෙනවා කියලා මට දැනුණා.’’

ඉන්දු රණවීර ඒ නිසා ඊට පසුදා, ඉරිදා බලු පැටවාව පේරාදෙණිය පශුවෛද්‍ය රෝහලට රැගෙන ගියාය. ඒ වනවිට පැටවාගේ අත ඉවත් කර ප්‍රතිකාර ලබාදී තිබුණත් ඉන්දුට ඕනෑවූයේ සතා පේරාදෙණියේ නවතා ප්‍රතිකාර ලැබ දෙන්නටයි. ඒත් එතැනද සතා නැවතීමට බැරි වුණේය.

‘‘එදා බෙහෙත්වලට වියදම් වුණේ රුපියල් හයසීයයි. ඒත් පේරාදෙණියේ එක්ක ගිහින් එක්ක එන්න රුපියල් හත් දහස් ගණනක ත්‍රීවිල් බිලක් ගියා. ඔය අතරෙ මට ඩොක්ටර් පෙට් එකෙන් කතා කරලා ආයෙ එයාව ගේන්න කියලා කිව්වා. එතකොට නම් බඩේ අමාරුව තරමක් සුව අතට හැරිලා තිබුණේ. මම පැටියාව එහෙ අරන් ගියා. ඒ වෙලේත් කිව්වෙ උදේ හවස එක දිගට බෙහෙත් කරන්න ගේන්න කියලා. මං වැඩට යන සිද්ධියයි, ඉන්නේ දුරයි නිසා මං මුහුණුපොතෙන් උදව් ඉල්ලුවාම ඉසුරින්දි රාමසිංහ සතාව නවත්තගෙන ප්‍රතිකාර කරලා දෙන්න කැමති වුණා. එයින් දවස් තුනකට පස්සෙ එයාව ඩොක්ටර් පෙට් එකේ නවත්තගත්තා. මං ඊටපස්සේ පෝස්ට් එකක් දැම්මා එයා හොඳ වුණාම කාට හරි දෙනවා කියලා. ඒ වෙලාවේ නුවර ගෑනු ළමයෙක් බලු පැටියාව ගන්න පොරොන්දු වුණා. එදා මං සතුටු වුණා. මං කිව්වා තුවාලෙත් හොඳටම සනීප කරලා දෙන්නම් කියලා.’’

අත සුව කරන්නටත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් දෙන්නටත් ඉන්දු බලු පැටවාව මාසයක් ගෙදර තබාගෙන බේත් කළාය. ඒ කාලය තුළ ඇය පුදුමාකාර ලෙසින් පැටවාට බැඳුනාය. පාරෙන් ගෙනෙනාවිට අන්තිම දුර්වල තත්ත්වයේ සිටි පැටවා මාසයක් හොඳ සත්කාර මැද වැඩෙද්දී ලස්සන වුණේය. සතා ගෙන යන්නට එනවා කී දිනයද දවසින් දවස ළං විය. ඒ ගැන හිතද්දී ඉන්දුට දැනුණේ පපුව කඩාගෙන යන දුකකි. ගන්නට පොරොන්දු වූ කෙනාද විටින් විට සතාගේ විස්තර ඇසුවාය. ඒත් බලු පැටවා දෙන්නට බැරි ලෝබ සිතුවිල්ලකින් ඇගේ හිත පිරී තිබිණි. තම දෑතින් කරනා සාත්තුව හොඳම සාත්තුව ලෙසත් තම හිතේ ඇති ආදරය හොඳම ආදරය බවත් ඇයට විටින් විට සිතුණේ දෑසට කඳුළු පුරවමිණි.

‘‘එයාව ගෙනියන්න එන්නෙ හෙට කියන දවසත් ආවා. එදා නම් මට හොඳටම ඇඬුණා. මගේ මහත්තයා ඇහුවා ඔය බලු පැටියා දෙන්නම ඕනද කියලා. පොරොන්දු වුණ හින්දා දෙන්න වෙනවා කියලා මං කිව්වා. එයා කිව්වා, ඒ ගොල්ලන්ට මොනවා හරි කියන්න, ඔයා බලුපැටියා තියාගන්න කියලා. අම්මෝ.. මට දැනුණ සතුටක්. එයා එහෙම කිව්වම මට ඒක ලොකු හයියක් වුණා, නුවර කට්ටියට මෙයා දෙන්නෙ නෑ කියන්න. ඉතින් මං ඒ ගොල්ලන්ට එහෙම කියලා මෙයාව තියාගත්තා. එයා තමයි මගෙ කූල්.’’

ඉන්දු මේ තරමට කූල් දෙන්නට ලෝබකම් කරමින් කඳුළු සැලුවේ නිවසේ තවත් බල්ලන් තුන් දෙනෙක් සිටියදීය. ඉන් එක් අයෙක් පැංචිය. කූල් වැනිම පාරෙන් ගත් සතෙකි. අනෙක් දෙන්නා ග්‍රේඩ්ඩේන් වර්ගයේ බල්ලන් දෙන්නෙකි. ඒ ටීනු සහ රූනිය.

‘‘පොඩි කාලේ ඉඳලා දිගටම අපි බලූලයි පූසොයි හැදුවා. ඉස්සර මං පොඩි කාලේ සෙල්ලම් බඩුවලට අම්මා මට ගෙනත් දුන්නෙත් ඇත්තම බලු පැටව් පූස් පැටව්. ග්‍රේඩ්ඩේන් දෙන්නා හදන්න ගත්තෙ අපි දෙන්නා බැඳලා වෙනම ජීවත් වෙන්න පටන් ගත්තට පස්සෙ ආසාවට මිසක් පැටවු හදලා විකුණන්න එහෙම නෙවෙ‍‍‍‍‍යි.

එහෙමයි කියලා අනිත් අය අමතක කළේ නෑ. ඒ දෙන්නා හදන්න ගත්තට පස්සෙ තමයි මං පැංචි හදන්න ගත්තෙත්. පැංචියි, බංචියි දෙන්නත් පාරෙන් ගත්තෙ. බංචි ලස්සන වුණ නිසා, පොඩි කාලෙම එයාව කෙනෙකුට දෙන්න පුළුවන් වුණා. පැංචි මං ළඟ ඉතුරුවුණා. ඊටපස්සෙ තමයි කූල් ලැබුණේ. දැන් මේ හතරදෙනාම පුදුම විදිහට යාළුයි. ඒ දිහා බලලා අපි දෙන්නා සතුටු වෙනවා. සත්තුන්ගෙ බඩවල් පුරවලා එයාලා සතුටින් ඉන්නවා දකින තරම් තව වෙන සතුටක් කොහෙන්ද?’’

ඉන්දු රණවීරගේ හිතේ සතුන් කෙරේ බැඳි ආදරේ වැඩි වනවා මිස අඩු වීමක් නම් නොවන්නේය. මිනිස්සු සත්තුන්ව වර්ග කර පෙන්නුවාට, හැදුවට, හොඳ වර්ගයේ කියන බලූ කෙනෙක්ගෙ අහලකටවත් සාමන්‍ය බලුවෙකුට එන්ඩ නොදෙන අය අතරේ ඇත්තටම ඉන්දු සහ මිලාන් ඒ කතා සියල්ල බොරු බව පෙන්වා ඇත. පැංචිත්, කූල් සහ ටීනු සහ රූනිත් එකට එක්ව සිටින්නේ ඒ නිසාය.

බියංකා නානායක්කාර