බලංගොඩ පෙරහැර බලන්න ඉන්දි රාජා රක්ෂණ සමාගම් කිහිපයක් ගෙන්නපු හැටි
ඉන්දිරාජා ශ්‍රී දළදා මාළිගාවට ත්‍යාග කරනු ලැබූයේ ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි විසිනි. ඒ 1989 දීය. මේ පැටවා ක්‍රමයෙන් වැඩෙත්ම පෙරහැරවලට ආගන්තුකයෙක් නොවීය. එය කෙසේ වුව ද ඉන්දිරාජා තරමක දඩබ්බරයෙකි. බලංගොඩ පෙරහැරේ දී වරක් එය දැකගත හැකිවිය.
බලංගොඩ රාත්‍රී පෙරහැර දින පහක් පුරා පැවැත්වේ. ඉන්දිරාජා ද ඊට සහභාගී කරවීමට ගෙනැවිත් තිබිණ. නිර්වින්දන වෛද්‍යවරයා ලෙස එහි පැමිණ සිටියේ මහාචාර්ය අශෝක දංගොල්ලයි. ඉන්දිරාජා කෙරෙහි ඔහුගේ වැඩි අවධානය යොමුවූයේ ඇතා තරුණ සමය ගත කරමින් සිටි බැවිනි.
රාත්‍රී 11 ට පමණ වීථි සංචාරය ඇරඹෙන පෙරහැර සඳහා අලි ඇතුන් සූදානම් කිරීම රාත්‍රී හතේ පමණ සිට සිදු කෙරේ. එය වේලාසන වැඩියැයි වැටහුණ ද රාත්‍රී දහයට පමණ මහාචාර්ය දංගොල්ල අලි ඇතුන් පරීක්ෂා කළේ ය. පසුව හෙතෙම රාත්‍රී ආහාරය ගැනීමට පිටත් විය. ඒ, බස්නායක නිළමේවරයාගේ නිළ නිවසටයි.
වෙහෙසකර දවසක ඉදිරි පැය කිහිපයට සූදානම් විය යුතුය. මහාචාර්යවරයා ආහාර බෙදාගත්තේ ලද විරාමය දී නිදහසේ එය අනුභව කිරීමටයි. ඒ, අතරතුර හෙතෙම අසල වූ ජනේලයෙන් පිටත බැලීය. මහා ඝෝෂාවක් ද ඇසේ. එපමණක් ද? පියාසර කරන ත්‍රි රෝද රථයකි. එය තිබෙන්නේ පොල් ගස්වල කරටිය මට්ටමේ ය. මහාචාර්ය දංගොල්ල අන්ද මන්ද වූයේ ය. මද වේලාවකින් පියවි සිහිය ලද හෙතෙම කෑම පිඟාන පසෙක තබා පිටතට ගියේය.
බෙරකරුවන්, නලා කරුවන්, අයිස්ක්‍රීම් වෙළෙඳුන් මෙන්ම ශබ්ද විකාශන යන්ත්‍රවලින් නැගෙන හඬ මිනිසුන්ගේ කෑ ගැසීම් සමග එකට මුසු වී ඇත. කිසිවක් පැහැදිලි කරගැනීම අසීරුය. ඒ අතරින් වෛද්‍යවරයා කෑම කාමරයේ සිට දුටු දර්ශනය වෙත සමීප වූයේ ය. කලබලයේ මහ මොළකරු ඉන්දිරාජා ය. ඇතාගේ දළ යුගලේ ත්‍රි රෝද රිය පැටලී තිබේ. එය ගලවා ගත නොහැකිව ඉන්දිරාජා හිස දෙපසට වනයි.
කිසිවක් සිතාගත නොහැකි වූ මහාචාර්යවරයාට ඇත් ගොව්වා සිද්ධිය පැහැදිලි කළේය. යම් හේතුවකට කලබල වූ ඉන්දිරාජා දම්වැල් ගලවාගෙන ත්‍රි රෝද රථ ගාලට පැමිණ ඇත. පසුව එහි වූ වාහනවලට පහර දී තිබේ. ත්‍රි රෝද රථයක් දළෙහි පැටලී ඇත්තේ එවිටයි. දළ යුගලය වක්‍රව පිහිටා ඇති බැවින් එය ඉවත් කරගැනීමට ඇතා අපොහොසත් වූයේ ය. ඒ අනුව රථය සමගම හිස ඔසවා ඒ මේ අත වනා තිබේ. මහාචාර්යවරයා ආහාර බෙදාගනිද්දී දුටුවේ එම දසුනයි. මේ කලබලය පැය තුනක පමණ කාලයක් පැවතිණ. ඉන්දිරාජා අල්ලා ගැනීමට හැකිව ඇත්තේ ඉන් අනතුරුව ය. ඒ වන විට හානියට පත් ත්‍රි රෝද රථ ගණන විස්සක් පමණ විය. මේ ගාලගෝට්ටිය හේතුවෙන් එදින රාත්‍රී පෙරහැර ද නවතා දැමීමට සිදුවිය. මහාචාර්ය අශෝක දංගොල්ල පසු දා උදෑසන දුටුවේ රක්ෂණ නිලධාරීන් කිහිපදෙනෙකුම අදාළ ස්ථානයට පැමිණ සිටින අයුරුය. ඒ ඉන්දිරාජාගේ හපන්කම තක්සේරු කිරීමටයි.
තොරතුරු – මහාචාර්ය අශෝක දංගොල්ල (පේරාදෙණිය විශ්ව විද්‍යාලය)
රෂ්නිකා ලියනගේ