විශේෂාංග

අහස උසට පිළිම නෙලුවත් ඇය මං වෙනුවෙන් කරපු දේවල් ඉස්සරහා ඒවා හරි පුංචියි

ආචාර්ය පබ්ලිස් සිල්වාට ගල්කිස්ස මහ හෝටලයේ දොරගුලු විවර වන්නේ 1956දීය. ඒ ද බිරිඳගේ නෑ හිතවතෙකු මාර්ගයෙනි. ලිපට ගල් අඟුරු දමන කම්කරුවෙකු ලෙසින් එදා ඔහුට ලැබුණු මාසික වැටුප රුපියල් 40කි. අද වනවිට ඔහු ගල්කිස්ස මහ හෝටලයේ සූපශාස්ත්‍ර සබඳතා ප්‍රවර්ධන අධ්‍යක්ෂවරයාය.

නමුත් ඇය නොහිටින්නට ඔහුට මෙතරම් සාර්ථක ගමනක් එන්නට ලැබෙන්නේ නැත. ආදරණීය බිරිඳක්, සෙනෙහෙබර මවක් ලෙසින් ඇය ඔහු වෙනුවෙන් කළ කැපකිරීම් අපමණය. එපමණක් නොව පබ්ලිස් සිංඤෝ හට දේශබන්දු ආචාර්ය පබ්ලිස් සිල්වා ලෙස වෙනස් වන්නට කමටහන් දුන්නේද ඇයයි.

‘‘අපි එදාවේල කන්න නැතුව හිටපු පවුලක්. මට මතකයි ඒ කාලේ මම අම්මත් එක්ක ගාල්ල මාර්කට් එකට ගිහිල්ලා විසිකරන කුණු වට්ටක්කා ගෙනල්ලා තම්බගෙන කෑවා. ඊටපස්සේ අම්මා ගාල්ල මාර්කට් එකෙන් විසිකරන එළවලු අහුලගෙන ඇවිල්ලා ගමේ අයට විකුණලා සුළු මුදලක් හොයාගත්තා. මට කොහොමත් ඉස්කෝලෙ ගියත් ඉගෙනගන්න උනන්දුවක් තිබු‍ණ නෑ. අඟහිඟකම් නිසාම දෙමව්පියොත් ඒකට වැඩිය බල කළේ නෑ. ඔහොම කාලයක් ඉන්නකොට හාමුදුරු කෙනෙක් මාව මහණ කරන්න කියලා එක්කගෙන ගියා. මම ඒ පන්සලෙන් පැනලා ආවා. ඊටපස්සේ වත්තල මහත්තයෙක් මාව දරුකමට හදාගන්න කියලා අරන් ගියා. අන්තිමට මට වු‍ණේ ඒ මහත්තයගෙ ළමයින්ගේ දැලි කුණු හෝදන්න. අන්තිමේ තාත්තා ඇවිත් එතැනිනුත් මාව ගෙදර අරන් ගියා. ඊටපස්සෙ ගෙදර ගිහිල්ලා කරන්න දෙයක් නැතිකමට, ලණු අඹරන්නයි, මාළු දැල් අදින්නයි ගියා.’’

ඒ වනවිට දො‍ළොස් හැවිරිදි වියේ පසු වූ පබ්ලිස්ට දස හැවිරිදි විමලාව මුණ ගැහෙන්නේ ගමේ කොහු මෝලක ලණු අඹරන්නට ගිය විටය. ලණු අඹරන අතුරතුර දැන හැඳිනගත් මේ පොඩි උන් දෙන්නා ගජ මිතුරන් බවට පත්වන්නට වැඩි කලක් ගියේ නැත. සමනල් පැටවුන් මෙන් ළමා කාලය ගෙවිය යුතු වයසක සිටියද දෙදෙනාම හරි හරියට ලණු ඇඹරුවේ සවසට ගෙදර යද්දී සතයක් හෝ වැඩිපුර අතමිට මොලවාගෙන යාමටයි. එහෙත් වැඩි කලක් නොගොස්ම මේ කොලු ගැටයා කාටත් හොරා රැකියාවක් හොයාගෙන මඩකලපුවට පැන ගියේය. නමුත් මඩකලපුවේ මුහුදු රැකියාව කිරීමත්, ජීවත්වීමත් ඔහු සිතූ තරම් ලෙහෙසි පහසු නොවුණි. අනතුරුව නැවතත් ගමට පැමිණ රැකියාවක්​ හොයාගෙන ඔහු කොළඹ ගියේය.

‘‘කොළඹ පාරවල් ගානේ ඇවිදලා රස්සාවල් හොයද්දී මට තේ කඩේක රස්සාව ලැබුණා. නමුත් මොන අහේතුවකටද මන්දා පැය විසිහතරක් යන්නත් කලින් කඩේ මුදලාලි මාව ගහලා පන්නගත්තා. ඊටපස්සේ පිටකොටුවෙ හරස්වීදියේ තියාගෙන ලොසින්ජර වික්කා. කාලයක් යද්දි පිටකොටුවත් මට ගෙදර තරමටම හුරුපුරුදු තැනක් වුණා. ඊටපස්සේ ඉතින් නානාප්‍රකාර මිනිස්සුන්ගේ ආශ්‍රයට එකතු වුණා. ඒ වෙද්දි මට අවුරුදු දාසයක් විතර. ඒක නිසා හොඳ නරක තෝර බේරගන්න දැනුම් තේරුමක් තිබුණෙත් නෑ. ඒ නිසාම කොටුවෙදි අඳුනගත්ත මනුස්සයෙක් මාව හෙට්ටිවීදියෙ මංකොල්ල කන්න පුරුදු කරන්නත් අරන් ගියා. ඔහොම ඉද්දි දවසක් හෙට්ටිවීදියෙ සිද්ධ වුණු මීනීමැරුමක් නිසා පොලිසියෙන් අපිටත් අවවාද කරලා ගමට පිටත් කළා.’’

නැවතත් ගමට ගියද පබ්ලිස්ට කරන්නට රැකියාවක් තිබු‍ණේ නැත. කාලයත් සමඟ විමලාද හිරිමල් තරුණියක වී සිටියාය. විමලාගේත් පබ්ලිස්ගේත් ආදර අන්දරය දළු ලන්නට පටන්ගත්තේ ඔය කාලයේදීය. පසුව පබ්ලිස්ට රස්සාවකට කලින් පරස්තාව ඉස්සර වූ නිසා ආදර කතාව මඟුලකින් කෙළවර විය.

‘‘කසාද බැන්දට පස්සෙ තමයි සිහිවු‍ණේ තනියමවත් ලුණුයි බතුයි කන්න විදියක් නැති මට දැන් තවත් කෙනෙක්ට කන්න අඳින්න දෙන්න තියෙනවා නේද කියලා. පුදනකොටම කාපි යකා කියලා වැඩිකල් යන්නත් කලින්ම හාමිනේට දරුවෙකුත් ලැබෙන්න ආවා. පස්සේ ඉතින් ආපහු ගාල්ල පොළේ කරෝල කරත්ත තල්ලු කරන්නයි මුදලාලිලාගෙ අත්උදව්වටයි ගියා.’’

කාලය ගෙවී ගියේ කිසිසේත්ම සුබවාදී අයුරෙන් නොවීය. උදේ පටන් රෑ වනතුරුම කරත්ත සමඟ ඔට්ටු වුණ පබ්ලිස්ගේ අත්වල තිබූ කරගැටවලට තෙල් බෙහෙත් බෝතල් ගණන් ගෑවේ විමලාය. පසුව ඇය ගල්කිස්ස මහ​ හෝටලයේ සේවය කළ ඇගේ සොයුරෙකුට කීවේ කෙසේ හෝ තම සැමියාට එහි රැකියාවක් ලබාදෙන ලෙසය. ඒ ඔහු විඳි දුක් කන්දරාව තවදුරටත් බලාසිටිය නොහැකි තැනදීය.

‘‘අන්න ඒ විදියට තමයි මට ගල්කිස්ස මහ හෝටලේ රස්සාව ලැබුණේ. නමුත් එහෙමයි කියලා හැමදේම විසඳුනේ නෑ. මම හෝටලේ ගල් අඟුරු අදින රස්සාව කරද්දිත් පුදුමාකාර දුකක් වින්දා. නමුත් කොයිතරම් දුක් වින්දත් මගේ හිතේ හැම වෙලාවෙම තිබුණෙ මොකක් හරි අලුත් දෙයක් ඉගෙනගන්න ඕන කියන පරමාර්ථය. මගේ ඒ චේතනාව තව තවත් වැඩි වුණේ හොටලේ වැඩ කරපු ජෝන් මාමා කියන සුපවේදියා හදපු සුදු අරලිය දළු වෑංජනයක් නිසා. දවසක් ඔහු හදපු සුදු අරලිය දළු වෑංජනයකින් මටත් ටිකක් රස බලන්න කිව්වා. මට අද වගේ මතකයි ඒකේ පුදුමාකාර රසයක් තිබුණෙ. අන්න එතැන තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වුණේ.’’

සුදු අරලිය දල්ලක් තමාගේ ඉරණම මේ තරම්ම උඩුයටිකුරු කරාවි යැයි පබ්ලිස් සිල්වා එදා කිසි ලෙසකින් නොසිතන්නට ඇත. එතැන් පටන් මෙරට තුළ ආහාරමය සම්පත් සෙවීමට පරීක්ෂණ කිරීමට බොහෝ සේ උනන්දු වූ ඔහු මෙරටින් පමණක් ආහාරයට ගත හැකි එළවලු 365කට අධික සංඛ්‍යාවක් සෙයාගෙන ඇත. අපටම ආවේණික වූ පලතුරු වර්ග පමණක් 76ක් සොයාගෙන ඇත. දේශීය සූප ශාස්ත්‍රය ලෝකයට හඳුන්වා දෙමින් තවමත් ඒවායේ පරීක්ෂණ කටයුතුවල නියැලෙමින් සිටින්නේය. පාසලේ හතර පන්තියට පමණක් ඉගෙනගත් ඔහු අද වනවිට පොත් විසි එකක කතුවරයෙකි. නියපොත්තක ප්‍රමාණයට ලෝකයේ කුඩාම ආහාර පොත සම්පාදනය කරමින් ලෝක වර්තාවක්ද තැබීය. එපමණක් නොව ඔහු ලියූ ආහාර සූපවංශය කිලෝ දෙකහමාරක් බරය. පබ්ලිස් සිල්වා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් සහ ලන්ඩන් විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධි පදවි දෙකකින් පිදුම් ලබන්නේ දේශීය සූප ශාස්ත්‍රය වෙනුවෙන් කළ මෙහෙවර නිසාමය. ඔහු ගැන කියන්නට තවත් බොහෝ දෑ ඇතත් මේ කතාව ඊට නොසෑහේ.

‘‘මම මුළු ජීවිතේම කැප කළේ මේ රස්සාව වෙනුවෙන්. ගල්කිස්ස මහ හෝටලේ තමයි එදා ඉඳන් මගේ මහගෙදර වු‍ණේ. මම රස්සාව වෙනුවෙන් කැපවෙලා ඉන්නකොට හාමිනේ තමයි දරුවන්ගේ හැම බරක්ම දැරුවේ. මේ රස්සාවට ආපු මුල් කාලේ ඉඳලම මට මාස හතේ අටේ ගෙදර යන්න බැරිවුණ අවස්ථා තිබුණා. එහෙම කාලෙට ඇය රත්ගම ඉඳලා හතිදාගෙන මාව හොයාගෙන ඇවිල්ලා ගල්කිස්ස මහ හෝටලේ ගේට්ටුව ළඟ හිටගෙන ඉන්නවා. ඒ වෙලාවට මම කරන්නේ පඩි සල්ලි ටික දීලා ආපයින්ම ඇයව ආපහු හරවලා යවන එක.’’

පබ්ලිස් විමලා දෙපළට අද වනවිට පුතුන් දෙදෙනාත්, දියණියන් තිදෙනාත් සමඟ දරුවන් පස්දෙනෙකි. මුණුපුරු මිණිපිරියන් එකොළහකි. තුන්මුණුපුරු මිණිපිරියන් හතකි.

‘‘මට මතකයි අපේ දරුවෝ පස්දෙනාගෙන් එක්කෙනෙක් ලැබෙන්න අමාරුවෙනකොට විතරක් අහම්බෙන් වගේ නිවාඩුවකට ඇවිත් මම ගෙදර හිටියේ. අනිත් දරුවො හතරදෙනාම ලැබිලත් මාස තුන හතරකට පස්සේ තමයි මම ගෙදර ගියේ. නමුත් ඇය මහ පුදුමාකාර දරාගැනීමේ ශක්තියකින් ඒ හැමදෙයක්ම දරාගත්තා. කවදාවත් මට දොස් නැගුවේ නෑ. දික්කසාද වෙන්න ඕන කිව්වේ නෑ. අද ලැබිලා තියෙන කිසිම දෙයක් ලේසියෙන් ලැබුණ දේවල් නෙවෙයි. ඒ වෙනුවෙන් මටත් වඩා හාමිනේ ලොකු කැපකිරීම් කරලා තියෙනවා. මට නැතිබැරි කාලේ මගේ ළඟ හිටපු ඇය වෙනුවෙන් මට ඇතිහැකි කාලේ ඒ ණය පියවන්නයි මම මේ නවරියන් බුදුපිළිම වහන්සේ නෙලුවේ.’’

ඔහු එසේ කියද්දි ඒ ආදරය ගැන තවත් කුමක් කියන්නද කියා අපට සිතුණි. සසර පුරා පතාගෙන එන ආදර කතා මේවා නොවේ දැයි සිතන තරමට ඒ කතාව අව්‍යාජය.

‘‘ඒ පුණ්‍යකර්මයට ගොඩක් අය මුදලින් දායක වෙන්න අවස්ථාව ඉල්ලුවා. ඒත් මට ඕන වු‍ණ් කාගෙන්වත් රුපියලක්වත් නොගෙන මගේම මුදලින් ඇය වෙනුවෙන් ඒ දේ කරන්න. ඒ වගේම ඉදිරියේදී ඇය වෙනුවෙන් වෙහෙර වහන්සේ නමක් ඉදි කරනනත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා.’’

සාජහාන් රජු ටජ්මහල ඉදිකළේ මුම්ටාස් දේවිය ගැන තිබූ ප්‍රේමය ලොවට කියන්නටය. ආචාර්ය පබ්ලිස් සිල්වා සිය බිරිඳට ආදරය, ගෞරවය ප්‍රකාශ කරන්නේ රත්නපුර සිංහරාජ ගම්මානයේ බුදුගල්ලෙන චන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාර ගෙය පිහිටි ගල්ලෙන තුළ අඩි 12කුත් අඟල් දෙකක (නවරියනක්) සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් නෙලා සසුනට පුජා කිරීමෙනි. එමෙන්ම ඇය වෙනුවෙන් තවත් බොහෝ දේ කළ බවත්, කරන්නට ඇති බවකුත් ඔහු කියා සිටියේය.

‘‘අපි විවාහ වෙලා දැනට අවුරුදු 64ක්. කාලය තුළ මම ඇයට අඩුවක් නැතුව මගේ සෙනෙහස දුන්නා. මට නැතිබැරි කාලේ කන්න අඳින්න දෙන්න බැරිවුණ හැම දෙයක්ම මට තියෙනකොට අඩුවක් නැතුව දුන්නා. ලෝකයේ රටවල් 21ක සංචාරය කෙරෙව්වා. ගුවන්යානා, නැව්, සබ්මැරීන්වලින් පවා ගමන් බිමන් එක්කගෙන ගියා. ඒත් ඇය මං වෙනුවෙන් කරලා තියෙන කැපකිරීම් දිහා බැලුවම මං නිසා ජිවිතය දරාගෙන තියෙන විදිය බැලුවම මේවා සුළු දේවල් කියලයි මට හිතෙන්නේ.

අවසාන වශයෙන් මට මේ ලෝකේ සෑම ස්වාමි පුරුෂයෙකුටම කියන්න දෙයක් තියෙනවා. මගේ බිරිඳ වගේම තවත් බහුතරයක් බිරින්දෑවරුන් තමන්ගේ මුළු ජීවිත කාලයම කැප කරන්නේ ස්වාමියාගේ, දරුවන්ගේ දියුණුවට. ඒ අය තමන්ගේ ජීවිතවලින් බොහොම පොඩි කාලයයි දෙමව්පියෝ ළඟ ඉන්නේ. විවාහ වෙලා ආවට පස්සේ ජීවිතේ මැරෙනකන්ම ඉන්නේ අපි ළඟ. ඔවුන්ටත් අපිට වගේම ලස්සන හීන තියෙනවා. ඒත් සමහරක් වෙලාවට ඒ හීන සේරම දියවෙලා යන්නේ කුස්සිය මුල්ලට. ආස කරන කෑමක්, ඇඳුමක් අරන් දෙන්න ගියත් එයාලා මුලින්ම කරන්නේ ඒකෙ ගාණ කීයද කියලා බලන එක. ඊටපස්සේ ගාණ වැඩි නම් අපෝ ඕවට මම ආස නෑ, අනේ ඕවා මම කන්නේ නෑ කියලා නිකන් ඉන්නවා. ඒත් ඇය හිත යටින් ඒවාට ආසයි. ඉතින් අපේ ජීවිතේ නැති බැරි කාලේ ඒ විදියේ කැපකිරීම් කරන බිරිඳකට අඩුම තරමේ අපිට පුළුවන් කාලෙදිවත් කෘතගුණ සලකන එක නේද කළගුණ දන්න උතුම් පිරිමියෙකුගෙන් වෙන්න ඕන? මම කියන්නේ නෑ සෑම ස්වාමිපුරුෂයෙක්ම බිරිඳ වෙනුවෙන් වෙහෙර විහාර හදවලා පූජා කරන්න ඕන කියලා. නමුත් ජීවිතේ අන්තිම හුස්ම යන්න කලින් තමන්ට පුළුවන් ප්‍රමාණයට හරි ඒ උත්තමාවියට උපහාරයක් කරන්න පුළුවන් නම් වටිනවා.’’

ඉතින් ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වාටත්, ඔහුගේ ආදරණීය බිරිඳ විමලා රාජකරුණා මහත්මියටත්, තවත් සුවහසක් කාලයක් සතුටින්, ආදරයෙන් ජීවත්වීමට වාසනාව ලැබේවායි අපිද සුභාෂිංසන එක් කළෙමු.

ලිහිණි මධුෂිකා