විශේෂාංග

කොලැජන් එක්ක තරහා වෙලා බියුටි සැලෝන් යන එක දෙවියොත් එක්ක තරහ වෙලා දේවාලෙට පඬුරු දානවා වගේ වැඩක්

දන්නවද ලියූ යෙලින් කියන්නේ කවුද කියලා? ඇය තමයි ලෝකයේ ළාබාලතම පෙනුම තියෙන වැඩිහිටි කාන්තාව. මෙයා විශ්‍රාමික චීන කතක්. පනහ පැන්නට මොකද ඇයට තියෙන්නේ අවුරුදු දාහතක පොඩි කෙල්ලෙක්ගේ පෙනුමක්. ලියූගේ සමේ රැළි, ලප, පැල්ලම් ඔය කිසිම දෙයක් නෑ. අහලා දැනගත්තොත් මිසක බැලූ බැල්මට ඇගේ වයස කියන්න අද වෙනකල් කිසිම ජගතෙක් සමත් වෙලා නැහැයිලු. ඔන්න ඉතින් දවසක් රූපවාහිනී නිවේදිකාවක් ලියූගෙන් මෙහෙම අහනවා.

‘‘ලියූ ඇත්තටම ඔබේ ලස්සන වීමේ රහස මොකද්ද?’’

‘‘කොලැජන්සුන්දරත්වය පිටිපස්සේ තියෙන එකම රහස කොලැජන් බව මම පුංචි කාලෙදිම තේරුම් ගත්තා. ඒ නිසා අවුරුදු විස්සේ ඉඳලාම මම කොලැජන් ගැන සැලකිමත් වුණා.’’

ඒ තමයි ඇගේ උත්තරය. කතාව ඇත්ත. සමහරුන්ට වයසට වඩා වයසට ගිය පෙනුමක් තියෙන්නෙත්, තව කාණ්ඩෙකට වයසට වඩා ළාබාල පෙනුමක් තියෙන්නෙත් කොලැජන්වල ආනුභාවයෙන් තමයි. ‘ධරණී’ රූපලාවණ්‍ය පිටුව කියවන අපේ ආදරණීය ලලනාවන්ට නම් කොලැජන් කියන එක අමුතු වචනයක් නෙමෙයි. මොකද මීට කලින් අපි කොලැජන් පුනර්ජනනය කරන රූපලාවණ්‍ය සත්කාර ඇති පදමට කියලා දීලා තියෙනවනේ.

රූපලාවණ්‍ය සත්කාරවලින් විතරක්ම නෙමේ එදිනෙදා ඇවතුම් පැවතුම්, ආහාරපාන වගේ දේවලිනුත් කොලැජන් වැඩිකරගන්න වගේම ඒවා රැකගන්නත් පුළුවන්. ඉතින් ඒ ගැන ටිකක් කතා කරන එක තමයි අද ලිපියේ අරමුණ.

ඇත්තටම මොනවද මේ කොලැජන් කියන්නේ? කොලැජන් කියන්නේ ස්වාභාවිකවම අපේ ශරීරයේ තියෙන ප්‍රෝටීන වර්ගයක්. සම ආශ්‍රිතව විතරක් නෙමෙයි අස්ථි, කණ්ඩරා, හිසකෙස් මේ ගොඩක් ස්ථානවල සම්බන්ධක පටක ආශ්‍රිතව තන්තු විදිහට මේ කොලැජන් ප්‍රෝටීනය පිහිටලා තියෙනවා. අපේ ශරීරයේ වැඩිපුරම තියෙන ප්‍රෝටීනය තමයි කොලැජන්.

අපේ චර්ම සෛල තට්ටුවට යටින් කොලැජන් තට්ටුවකුත් තියෙනවා. මෙතැන තියෙන කොලැජන්වල ප්‍රමාණය වැඩියි නම් මේ තට්ටුව ශක්තිමත් වෙනවා. එතකොට නිතැතින්ම වගේ අපේ සමේ පිරිපුන්බව, නීරෝගීබව සහ ඇදෙනසුළු බව වැඩිවෙලා සම තරුණ වෙනවා. හැබැයි කොලැජන් තට්ටුවේ තිබෙන කොලැජන් ප්‍රමාණය අඩු නම් ඒ වගේම ඒවා ගුණාත්මක බවින් අඩු නම් සම ඉක්මනින්ම වියපත් වෙනවා. ඒ නිසා ඉතින් නිතරම මේ කොලැජන් ස්ථරය ශේප් එකේ තියාගන්න එක තමයි හමට ගුණ.

කොලැජන්වලට හානි වෙන්නේ කොහොමද? ඔන්න ඊළඟට මතුවෙන ප්‍රශ්නේ. වයසට යනකොට ඉබේටම වගේ කොලැජන් අඩුවෙනවා. ඒක ඉතින් මොන සක්කරයටවත් නවත්තන්න පුළුවන් වැඩක් නෙමේ. අවුරුදු 30-35 වෙනකොට අපේ ස්වාභාවික කොලැජන් ටිකෙන් ටික අඩුවෙන්න පටන් ගන්නවා. හැබැයි හරි විදිහට රැකබලාගත්තොත් මේ තත්ත්වය ප්‍රමාද කරන්න අපිට පුළුවන්.

කොලැජන් ලොක්කට වින කටින ප්‍රධාන දුෂ්ඨයෝ දෙන්නෙක් ඉන්නවා. ඉන් එක්කෙනෙක් තමයි සූර්යයාලෝකයේ අඩංගු අල්ට්‍රා වයලට් කිරණ (UV). ඉතින් හිරුඑළියට නිතර නිරාවරණය වෙනවා නම් සම ඉක්මනටම රැළි වැටෙන එක ගැන පුදුම වෙන්න එපා. ඉතින් එහෙමයි කියලා අව්වේ ගමන් නොයා ඉන්නද කියන්නේ…? නෑ… නෑ එහෙම නෙමෙයි. අව්වේ ගමන් බිමන් යනවා නම් අනිවාර්යයෙන්ම හිරු ආවරණ ආලේපනයක් ආලේප කරන්න, අව් කණ්ණාඩි පළඳින්න. එතකොට කුඩ, තොප්පි වගේ දේවල් පාවිචිචි කරන්න.

කොලැජන්වල දෙවැනි සතුරා තමයි ඔයාලගේ අතිජාත මිත්‍රයා සීනි. කොලැජන් නිෂ්පාදනය අඩාල කරන්න වගේම කොලැජන් අතර බන්ධන බිදලා දාන්නත් සීනිවලට පුළුවන්. ඉතින් සීනි නොකා ඉන්න තරමට තරුණ බව රැකගන්න ලේසියි. ඒක කරන්නම බැරි වැඩක් නම් සීනි භාවිතය ටිකක් හරි අඩු කරන්න බලන්න. අපි මුලින් කතා කරපු ලියූ යෙලින් කියන්නෙත් ඇය අවුරුදු පහළොව වෙද්දි සීනි භාවිතය මුළුමනින්ම වගේ නතර කළා කියලයි.

ඊළඟ කාරණාව තමයි මානසික ආතතිය. මේ ආතතිය එක්ක අපේ ශරීරයේ කෝර්ටිසොල් කියන ස්ට්‍රෙස් හෝර්මෝනය වැඩිපුර ස්‍රාවය වෙනවා. කොලැජන්වලට හානි කරන්න මේ හෝර්මෝනයටත් පුළුවන්. ආතතියට පත්වුණාම ගොඩක් දෙනා නින්ද ගැන හිතන්නේ නැහැ. ප්‍රමාණාත්මක නින්දක් ලබානොගන්න එකත් කොලැජන් හානි වෙන්න හේතුයි. මේ හේතුව නිසා විශේෂයෙන්ම හානි වෙන්නේ ඇස් වටා සමේ කොලැජන්වලට. ඒකනේ නොනිදා හිටියම ඇස් යට කළු වෙන්නේ. ඒ නිසා දවසට පැය හතක්වත් නිදාගන්න බලන්න. මානසික ආතතිය අවම කරගන්න යෝගා, භාවනා වගේ දේවල් කරන්න. ඒ වගේම තමයි හැමදාම අඩු තරමේ විනාඩි විස්සක්වත් ව්‍යායාම කරන්න බලන්න. ඒකෙන් අපේ ශරීරයේ රුධිර සංසරණය ක්‍රමවත් වෙලා කොලැජන් නිපදවීම වැඩිවෙනවා. ඒ වගේම මානසික ආතතිය අඩු කරගන්නත් ව්‍යායාම හොද ක්‍රමයක්.

ඒ වගේම හිතුමනාපෙට ආලේප කරන ආලේපන නිසාත් මේවට හානිවෙනවා. ඒ නිසා සමට ආලේප කරන ආලේපනවල ප්‍රමිතිය ගැන හිතන්නත් අමතක කරන්න එපා. සමට ආලේපන ගන්නකොට හයලුරොනික් ඇසිඩ්, රෙටිනෝල් වගේ සංඝටක අඩංගු දේ ගන්න. ඒවා කොලැජන් වැඩි කරන රූපලාවණ්‍ය සංඝටක.

කොලැජන් වැඩි කරගන්න උපකාරී වෙන තව උපදෙස් ටිකක් බලමු. ආහාරපානවලින් අපිට කොලැජන් සෑහෙන මට්ටමකින් වැඩි කරගන්න පුළුවන්. විටමින් C බහුල හැම ආහාරවලටම කොලැජන් උත්තේජනය කරන්න පුළුවන්. ඊට අමතරව සෝයා, මධ්‍යම ප්‍රමාණයේ මාළු, මුහුදු ශාඛ, බිත්තර, බෙල්පෙපර්ස්, නිවිති, කන්කුන්, මුකුණුවැන්න, කුකුල් මස්, සුදුලූනු, කජු, පේර, කොත්තමල්ලි කොළ, හතු වර්ග මේ කියන ආහාරත් නිතරම ආහාරයට ගන්න බලන්න.

සමේ වියළිබව වැඩි නම් සම වගේම කොලැජන් තට්ටුවත් ඇකිලෙන්න බලනවා. ඒ නිසා වියළි සමට ප්‍රමිතිගත මොයිස්චරයිසර් ආලේපනයක් ආලේප කරන්න. අද වෙනකොට වෙළඳපොළේ කොලැජන් වැඩි කරන ආලේපන වර්ග ඕනතරම් තියෙනවා. වෛද්‍ය නිර්දේශ මත එවැනි දේ භාවිත කරන්න පුළුවන්.

ගෙදරදි හදාගන්න පුළුවන් කොලැජන් පානයක් ගැනත් කියන්නම්. දොඩම් ගෙඩියක්, කැරට්, මිදි, නිවිති එකට මිශ්‍රකරලා දිනපතා පානය කරන්න පුළුවන්. ඒ වගේම සත්ත්ව අස්ථිවලින් හදාගන්න සුප්වලිනුත් කොලැජන් වැඩි කරගන්න පුළුවන්. කොලැජන් වැඩි කරන්න කෝමාරිකාවලටත් පුළුවන්. ඉතින් දිනපතාම පුංචි කෝමාරිකා කැබැල්ලක් ආහාරයට ගන්න පුළුවන් නම් හොඳයි.

ඒ වගේම හයිපොතයිරොසිසම් සහ යම් යම් හෝර්මෝන ගැටලු නිසාත් නිසි වයසට පෙර ඇතැමුන්ගේ කොලැජන්වලට හානි වෙනවා. එවැනි තත්ත්වයන්වලදී ආහාර ඇවතුම් පැවතුම්වලින් තත්ත්වය පාලනය කරන්න බැහැ. හොදම දේ ප්‍රතිකාර වෙත යොමුවෙන එක කියලත් මතක් කරන්න ඕනේ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි