විශේෂාංග

ගෑනුන්ට රට ගිනි තියන්නත් පුළුවන් රටේම ගිනි නිවන්නත් පුළුවන්

මීට වසර කිහිපයකට පෙර HNDA සිසුන් පිරිසක් උද්ඝෝෂණයකට පෙළගැහෙන බව පොලිසියට දැනගන්නට ලැබුණි. එදාමෙදා තුර පැවති උද්ඝෝෂණවල රඟ හොඳටම දන්නා පොලිසිය උද්ඝෝෂණයේ සැර බාල කරන්නට අපූරු උපක්‍රමයක් යෙදුවේය. එනම් උද්ඝෝෂකයන් එන මග ඉදිරියේ පොලිස් නිලධාරිනියන් පිරිසක් සීරුවෙන් තැබීමයි.

කටේ හයිය පෑවත් ගැහැනුන්ට අතේ පයේ හයිය පෙන්වීම හරිහමන් පිරිමියෙකුට ඔබින්නේ නැති බව සිසුන්ගේත් මතය වූ නිසා එදා පොලිසිය යෙදූ උප්පරවැට්ටිය සාර්ථක විය. තරුණ මදයෙන් පිරි සිසුන්ගෙන් උණුසුම් වෙන්නට ගිය උද්ඝෝෂණය එදා එලෙස සාමකාමී මාවතකට හැරුණි.

මේ හා සමානම සිද්ධියක් පසුගියදා මියන්මාරයේදීද වාර්තා විය. එරට ආණ්ඩුව පෙරලා හමුදාව රටේ පාලනය සියතට ගැනීමත් සමඟ මියන්මාර ජනතාව ඉන් මහත් පීඩනයට පත්වී සිටියහ. එනිසා එම පාලනය නුසුදුසු බව කියමින් ඔවුන් දිගින් දිගටම විරෝධතාවල නියැලුණහ. ඒ විරෝධතාවක් අතරතුරදී හමුදා නිලධාරියෙකුගේ ඉහළට එසවුණු අවියක් අභියස ‘‘අනේ අපි අහිංසකයි. අපිට වෙඩි තියන්න එපා’’ යනුවෙන් මියන්මාර කන්‍යා සොයුරියක් වූ ඈන් රෝස් ආයාචනය කළාය. ඇගේ ඒ ආයාචනය ඉදිරියේ හමුදා නිලධාරියාගේ ඉහළට එසවූ අවිය පහල වැටු​ණේය.

ගිනි තියන්නට පමණක් නොව ගිය නිවන්නටද ගැහැනුන්ට පුදුම හැකියාවන් ඇති බවට මේවාම හොඳ නිදසුන්ය.

මේ හා සමාන සිදුවීම් කිහිපයක් පසුගියදා නැවතත් අපි මෙරට අරගල භූමියේදීද දුටුවෙමු. ඉකුත් සතියේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ තරුණ තරුණියන් දැවැන්ත උද්ඝෝෂණයට සූදානම් වූයේ කල්තියාම ඒ බව ආණ්ඩුවටත් අඟවමිනි. ඒ අනුව ඔවුන් කොළඹ ලෝටස් පාර හරහා ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණේවි යැයි සිතා පොලිසියද මාර්ග බාධක දමා වැඩේට ලකලැහැස්ති විය. ඒ සමීපයේ වතුර බවුසර්, කඳුළු ගෑස් මෙන්ම මුහුණු ආවරණද සූදානමින් තිබුණි. නමුත් ඊට ටිකකට පසු කන්‍යා සොයුරියන් පිරිසක් පැමිණ මාර්ග බාධකය ඉදිරිපිට පවුරක් මෙන් සිටගත්හ. ඒ තරුණ තරුණියන්ට පොලිසියෙන් එල්ලවිය හැකි ප්‍රහාරයන් වළකනු පිණිස‍ය. කන්‍යා සොයුරියන්ගේ ඇඟට අතක් තියන්නට පොලිසියේ කවුරුත් ආවේ නැත.

ඊට පසුදා අපේ නෙත ගැටුණේ ජනාධිපති නිල නිවස ඉදිරිපිට කැරලි මර්ධන ඒකකයේ පොලිස් නිලධාරිනියන් පිරිසක් පවුරක් මෙන් එක පෙළට සිටගෙන සිටින දර්ශනයකි. එනිසා එදිනද පොලිස් බාධක මැඩගෙන ඉදිරියට ආ විරෝධතාකරුවන්ට ඔවුන් පසුකර යෑමට නොහැකිවිය. උද්ඝෝෂණ සහ විරෝධතා මැඩ පැවැත්වීමට පොලිසිය විවිධ උපක්‍රම අනුගමනය කරන ආකාරය පසුගිය කාලයේ දිගින් දිගටම දක්නට ලැබුණද සාර්ථක වූ එකම ක්‍රමය මෙය බව බැලූ බැල්මට පෙනෙයි. එනිසා එදාද විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇතිවෙන්නට ගිය උණුසුම් තත්ත්වයන් මගඇරී ගියේ කවුරුත් බලා සිටියදීමය.

ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කියන්නේ මෙවැනි කතාවකි.

‘‘කැරලි මර්ධන අවස්ථා සඳහා කාන්තා නිලධාරිනියන් යොදවන එක සැලසුම් සහගතවම නෙවෙයි අවස්ථානුකූලව කරන දෙයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි හිතමු විරෝධතාව අතරතුරේ පිරිමි පුද්ගලයෙක් හෝ කීපදෙනෙක් ඇවිත් රාජකාරියේ යොදවලා තියෙන පොලිස් නිලධාරිනියකට හිරිහැර වෙන විදිහට හැසිරුණා කියලා. අන්න එතකොට පොලිසිය විදිහට අපිට පුළුවන් කාන්තා හිංසනය යටතේ ඒකට විරුද්ධව නීතිමය පියවරක් ගන්න. මොකද රටේ සාමාන්‍ය කාන්තාවකට තියෙන අයිතිවාසිකම් ඒ විදිහටම පොලිස් නිලධාරිනියන්ටත් වලංගුයි.’’

කොහොම නමුත් ආණ්ඩුවට අභියෝග කරන අපේ අරගලකරුවන්, සම්ප්‍රදායට අභියෝග කරන්නට දෙපාරක් හිතීම අපි දකින්නේ හොඳ ලකුණක් හැටියටය. ඒ නිසා කාන්තා පොලිස් බාධක ඇති තැන්වල එකී ගැහැනු ශරීරවලට අත තියන්නට ඔවුන් ඉදිරියට එන්නේ නැත. කන්‍යා සොයුරියන් ඉදිරියට පැමිණ සිටගත් මොහොතේ පොලිස් නිලධාරීන්ද ඔවුන්ට තට්ටු බට්ටු දමන්නට ආවේ නැත. කැමැත්තකින් හෝ අවසරයකින් තොරව කාන්තාවකගේ ශරීරයට අත තැබීම මෙරට නීතියට අනුව කාන්තා හිංසනයක්ද වෙයි. ඒ නිසා නීතියට බයේ හෝ සංස්කෘතික රැහේ එවුන් විදියට අරගලබිමකදී හෝ කාන්තාවකට අත නොතබන පිරිමි දැකීම සතුටක් නොවේද?

භාතිය වෙඩිවර්ධන