විශේෂාංග

තරුණ දරුවන්ගේ අරගලයට මමත් දෑතම ඔසවා ආශිර්වාද කරනවා!

අද වෙද්දි රට තුළ ජීවත් විය නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙලා. ගෘහනියක්, මවක් විදියට ඔබට මේ ජීවන බර දැනෙන්නේ කොහොමද?

ඇත්තටම මමත් මධ්‍යම පාන්තික පවුලක අම්මා කෙනෙක්. බිරිඳක්, ගෘහනියක් විදියට මට මේ බර දැනෙන්න ගන්නකොටම මම ඔයාලගේ සහෝදර පුවත්පතක් වන ‘අරුණ’ පුවත්පතට කිව්වා අපි කනවා නෙවෙයි දැන් ලෙවකනවා කියලා. මේ අර්බුදය ටික ටික ආවේ. වැරදි ආර්ථික කළමනාකරණය ඇතුළු කාරණා රැසක් ඊට බලපෑවා. අද සුළු පඩියෙන් ජීවත්වෙන කෙනෙකුට, ජීවත්වෙන්න බැරි තත්ත්වයටම රට ඇවිල්ලා ඉවරයි. මමද ඇතුළුව බොහෝ මධ්‍යම පාන්තික අම්මලට මේ ජීවන බර දරාගන්න බැහැ. මමත් බඩු ගන්නේ තොග කඩෙන්. බොහොම සරල ජීවිතයක් අපට තියෙන්නේ. ඒත් බඩුවල මිල ගණන් අහන හැම මොහොතකම මට හිතෙනවා අපේ අහිංසක අම්මලා, දරුවන්ගේ තුන්වේල කොහොමද හදන්නේ කියලා. දරුවන්ට කිරිපිටි පැකට් එක අරන් දෙන්නේ කොහොමද කියලා. ඒක දුකක්. හැබැයි ඒ දුක ඇතුළේ මම එක දෙයක් ගැන සතුටු වෙනවා.

මොනවා ගැනද ඔබ සතුටු වෙන්නේ?

ඇත්තටම තරුණ දරුවන්ගේ අරගලය ගැන මට ලොකු සතුටක් තියෙනවා. පක්ෂ පාට භේදයකින් තොරව එය ආරම්භ වුණා. 2019 වසරේ හැටනම ලක්ෂයක් ගෝඨාභය මහත්තයා බලයට ගෙනාවේ ලොකු විශ්වාසයකින්. ඒ බලාපොරොත්තු හොරකම හෝ මොනයම් කාරණයක් නිසාවෙන් හරි බිඳ වැටෙනවනම් තරුණයින් හැටියට නැගිටින්න ඕන. නැත්නම් රට තවත් අගාධෙට යනවා. අපේ තරුණ දරුවෝ ක‍ළේ කළ යුතුම දෙයක්. ඒ තරුණ දරුවන්ගේ අරගලයට මමත් දෑතම ඔසවා ආශිර්වාද කරනවා.

කලාකාරිනියෝ බොහෝදෙනෙක් ඔබ කියන අරගලභූමිය තුළ දැක්කා. හැබැයි ඔබ එහි හිටියේ නැහැ?

ඔව්. මම මගේ සහෝදරියකගේ පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් ගිහින් ඒ දවස් ටිකේ හිටියේ ප්‍රංශයේ. මම ගිහින් සතියකින් විතර තමයි මේ අරගලය පටන්ගත්තේ. මම ඒකට දක්වන උනන්දුව දැකලා මගේ සහෝදරිය කිව්වා, ඔයා මෙහේ හිටියට හිත ලංකාවේ නේද කියලා. ඇත්තටම මම ඒ මොහොතේ ලංකාවේ හිටියනම් මමත් ඒ අරගලභූමියට යනවා. දැන් මම එතැනට යන්න ප්‍රමාදයි. හැබැයි අම්මා කෙනෙක්, සහෝදරියක් හැටියට මම හදවතින්ම එතැන ඉන්නවා. මම කියන්නේ පක්ෂ පාට ගාගත්තු අරගලය ගැන නෙවෙයි තරුණ දරුවන්ගේ සැබෑ සාමකාමී අරගලය ගැනයි.

අපට අද නිතරම ඇහෙන දෙයක් තමයි පාර්ලිමේන්තුවේ 225ම හොරු කියලා ජනතාව නගන චෝදනාව. එහෙම දේවල් ඇහෙද්දි ඔබට මොනවද ඔබේ සැමියා ගැන හිතෙන්නේ?

එහෙම ඇහෙද්දි නම් ඩලස් ගැන මට ලොකු දුකක් දැනෙනවා. අපි අයථා විදියට ඇල්පෙනෙත්තක දෙයක් හොරකම් කරලා නැහැ. මම වුණත් ඔහුගේ මන්ත්‍රීකමේ, ඇමැතිකමේ වරප්‍රසාද අරගෙන එක විදේශ සංචාරයක් ගිහින් නැහැ. ඔහු මැති ඇමතිකම් දැරුවා කියලා අපේ ජීවන පැවතුම් වෙනස් වෙලත් නැහැ. ඔහුගේ පැවතුම් වෙනස් වුණෙත් නැහැ. අපි වාහන පර්මිට් අරන් නැහැ. සරලව පොළොවේ පය ගහලා ජීවත්වෙන සාමාන්‍ය මිනිස්සු හැටියට එහෙම කතා ඇහෙද්දී දුක හිතෙනවා. ඒ වගේම ඔය 225 අතරේ රට ගැන හැඟීමක් තියෙන අවංක දේශපාලනඥයෝ නැතුව නෙවෙයි.

මම වගේම අපේ දරුවොත් ඔහුට කියන දෙයක් තමයි, ඕනම වෙලාවක ඔය තනතුරු අතහැරලා දාලා ගෙදර එන්න කියන කාරණය. මේ ළඟදි දවසකත් මම ඔහුට කිව්වා, අපිට ඔයාගේ සෙවනැල්ල තියෙනවා, ඔයාව බලාගන්න මම ඉන්නවා, මාව බලාගන්න අපේ දරුවෝ දෙන්නා ඉන්නවා කියලා.

අපි වැඩි කලක් ජීවත්වුණේ නිල නිවාසවල. විවාහවෙලා අවුරුදු විසිපහකට පස්සෙයි අපිට අපේම කියලා ගෙයක් හදාගන්න පුළුවන් වුණේ. ඉතින් දන්න අය අපේ ජීවිත ගැන දන්නවා. ඇමැතිකමෙන් අයින් වුණ ගමන් ඔහු වාහන බාර දුන්නා.

එතකොට ඔබ කොහොමද මේ දිනවල ගමන් බිමන් යන්නේ?

මම දන්න කියන අයෙකුගේ ත්‍රීවීලර් එකක ගමන් බිමන් යනවා. ඒ ගිහින් ඇවිත් ගාණ බේරනවා. ඒ ගමන් හරි සැහැල්ලුයි. හිතේ බරක් නැහැ. කොහොමටත් අපි සරල, පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු. මේවා අපට නුහුරු දේවල් නෙවෙයි.

ඔබේ සැමියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් සභාග රජයක් ගැන යෝජනාවක් කර තිබුණා. ඒ සභාග රජයේ අගමැතිවරයා ගැනත් ඉඟි මේ වනවිට පළවෙනවා නේද?

එම දේශපාලන කාරණා ගැන මා දන්නේ නැහැ. ඔහු එම ලිපිය සකසද්දී මම ලංකාවේ හිටියේ නැහැ. මට ඕන මේ වැටිලා තියෙන තැනින් රට ගොඩගත හැකි ක්‍රමවේදයක් ඉක්මනින් ඇතිවෙනවා දකින්නයි. ඇත්තටම බඩු ගේන්න කඩේට යද්දී බඩු මිල දවසින් දවස වැඩි වෙනවා අහද්දී, මගේ හිතට ලොකු බරක් දැනෙනවා. ඒ බර ඇතුළේ මේ රටේ අහිංසක අම්මලා තාත්තලා ගොඩක් ඉන්නවා. එකවර ගෑස් එක රුපියල් දෙදහස් එකසියයකින් වැඩි වුණහම පුංචි වැටුපක් අරන් ජීවත්වන පවුල් මොනතරම් අසරණයිද? මේ තරුණ නැගිටීම හමුවේ මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න දැන්වත් පාලකයෝ පෙළඹේවි. ජනතාවගේ පැත්තේ සිටයි ඔවුන් තීන්දු තීරණ ගත යුත්තේ.

මම ඇහුවේ පසුගිය දිනවල අලුත් ආණ්ඩුවේ අගමැතිවරයා ගැන කියද්දී ඔබේ සැමියගේ නමත් කියැවුණා?

අද වෙනකොට සමාජ මාධ්‍ය ඉතාම ජනප්‍රියයි. මේ මොහොතේ සමාජ මාධ්‍ය තුළ විවිධ මත පළවෙනවා. එහෙම දෙයක් මමත් දැක්කා. හැබැයි ඊට ප්‍රතිචාර දක්වන්න මම උත්සාහ කළේ නැහැ.

එහෙම තනතුරක් ගැන ඔහු ගෙදරදි කතා කරලම නැද්ද?

ඇත්තටම නැහැ. ඔහුට වැඩක් කරන්න අවස්ථාවක් ලැබුණද කියන ගැටලුව නම් මට හැමදාම තියෙනවා. හැබැයි මට මතකයි අධ්‍යාපන අමාත්‍යංශයේ, තරුණ කටයුතු අමාත්‍යංශයේ ඔහු තනතුරු දරද්දී තීන්දු තීරණ ගත්තේ තාත්තා කෙනෙක් වගේ, සමස්ත දරු පරපුර ගැනම ආදරෙනුයි. ඔහු දේශපාලනයේ නියැලෙනවානම් ඒ විදියට දේශපාලනයේ නියැලෙනවට මා කැමතියි.

දීපා වසන්ති එදිරිසිංහ