සමහර කලාකාරයෝ කඩේ ගියපු යෑමට අරගල බිමට එන්න ලැජ්ජා ඇති
දුලීකා මාරපන කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය සහ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනියක්. අපි සමහර වෙලාවට කතාවටත් කියනවනේ ‘කට කෑවත් කියන්න තියෙන දේ කියනවා’ කියලා. දුලීකාත් ඒ වගේ කෙනෙක්. ඒ නිසා ඉන්නෙ අරගල භූමියේ බව දැන දැනත් අපි දුලීකාට කතා කළේ ඒ පැත්තෙ විස්තර ටිකක් දැනගන්න.
*දුලීකා මේ දවස්වල අරගලය නිසා රඟපෑම අතෑරලාද? නැත්නම් ඇතෑරිලද?
ඔය දෙකෙන් එකක්වත් වෙලා නෑ. රටේ සමස්තය කඩාගෙන වැටිලයි තියෙන්නේ. ටෙලිනාට්‍ය කලාවට වගේම චිත්‍රපටි කලාවටත් ඒක අදාළයි. මේ රටේ හැමෝටම තියෙන ගැටලුව කලාකාරයො විදියට අපිටත් බලපාලා තියෙනවා. හැබැයි මම රංගනය අතෑරලා හෝ මට රංගනය ඇතෑරිලා නෑ.
*අරගල බිමට ඔබ එන්නේ අවංකවමද? නැත්නම් නාවොත් ප්‍රතික්ෂේප වෙයි කියන බයටද?
එහෙම එන අය කවුද කියලා ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්. ඒත් මං එන්නේ අවංකවමයි. මොකද මං කවදාවත් කිසිම පුද්ගලයෙක් හෝ පක්ෂයක් වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් නෙවෙයි. දුලීකා මාරපන කියන්නේ හැමදාම ජනතාව පැත්තේ හිටගත්ත කෙනෙක්. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි.
*කෙළින් කතා කරන එක පුංචි කාලේ ඉඳන් තිබුණු පුරුද්දක්ද?
ඔව්. මං කවදාවත් පිටිපස්සට ගිය කෙනෙක් නෙවෙයි. හැංඟිලා හිටපු කෙනෙකුත් නෙවෙයි. මගේ දෙමව්පියෝ මට පුංචි කාලේ ඉඳන්ම කියලා දුන්නේ වැරැද්දක් දැක්කම ඒ දැකපු වෙලාවෙම නැගී සිටින්න කියලා.
*හැබැයි පහුගිය දවසක එක්තරා අමාත්‍යවරයෙක් ඉලක්ක කරගෙන ඔබ කියපු කතාවකට ගොඩක් අයගේ හිත් රිදුණා?
ඒ ගැන ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. මං කවුරුත් රිදෙව්වේ නෑ. ඒත් මං කියපු කතාවේ සමහර වචන අරන් ඇතැම් අය රිද්දගත්තා. ඒ ගැන මම පස්සේ තේරුම් කළා. ආයෙත් ඒකේ එල්ලිලා ඉන්න මට උවමනාවක් නෑ. ඒක එතැනින් ඉවරයි.
*ඔබට නම් ජනප්‍රිය නිළියක් නිසා තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල ඉන්න වෙන්නේ නැතුව ඇති නේද?
මං නිළියකගේ භූමිකාවේ ඉන්න රඟපාන වෙලාවට විතරයි. ගෑස් පෝලිමේදි, තෙල් පෝලිමේදි මං මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්. ඒ නිසා අදටත් මං ඔය තියෙන හැම පෝලිමකම රැයක් දවාලක් නැතුව ඉඳලා තියෙනවා.
*ගොඩාක් කලාකරුවෝ මේ වෙනකොට අරගල බිමේ වුණාට තවත් කලාකරුවන් පිරිසකට තාමත් එහි රස්නය දැනිලා නෑ වගේ නේද?
ඒ අය කඩේ ගියපු යෑමට රස්නෙ දැනුණත් අරගල බිමට එන්න ලැජ්ජා ඇති. මං නම් කියන්නේ කලාකරුවා ජනතාව පැත්තෙයි හිටගන්න ඕනේ. කඩේ යන එක කලාකරුවෙකුට සුදුසු දෙයක් නෙවෙයි.
*අපි දැක්කා ඔබේ ක්ෂේත්‍රයේම එක්තරා චරිතයක් කියලා තිබුණා අරගල බිමේ කලාකරුවෝ රඟපානවා කියලා. ඒ ගැන මොකද කියන්නේ?
රඟපාන කෙනා අරගලය කළ යුත්තේ රඟපෑමෙන්. ගීත ගයන කෙනා අරගලය කළ යුත්තේ ගීත ගායනයෙන්. චිත්‍ර අඳින කෙනා අරගලය කළ යුත්තේ චිත්‍ර ඇඳීමෙන්. ඒ ඒ විදිහට තම තමන්ගේ වෘත්තියේ ඉඳනුයි මේ අරගලය කරන්න ඕනේ. සාමකාමී අරගල එහෙමයි.
*ඔබ පෞද්ගලිකව හිතන විදිහට ලංකාවට වැරදුණේ කොතැනද?
මේ රටට සර්වජන ඡන්ද බලය ලැබුණේ කවද්ද එදා ඉඳන් අපේ රටට වැරදුණා. කක්කුස්සි පෝච්චියට, ටකරං තහඩුවට රැවටෙන මිනිස්සු ටිකක් හැදුනේ ඒකයි. ඒ නිසා ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. පුද්ගල වන්දනාව වෙනුවට මේ රටේ ප්‍රතිපත්ති වන්දනාවක් බිහිවිය යුතුයි කියන තැන මං ඉන්නවා.
*මේ වෙනකොට අරගලය යම්තාක් දුරකට හරි ජයග්‍රහණය කරලා තියෙනවා කියලා ඔබ හිතනවද?
දැනටමත් අපි අරගලයෙන් ජයග්‍රහණ අරගෙනයි තියෙන්නේ. ආයෙත් කිසිම පාලකයෙකුට ජනතාවට බොරු කරන්න බෑ. හොරකම් කරන්න බෑ. කක්කුස්සි පෝච්චියට, ටකරං තහඩුවට රැවටුණු යුගයක් ආයෙත් එන එකක් නෑ. ඉතින් ඒක ජයග්‍රහණයක් නෙවෙයිද?
*ඔබේ රසික රසිකාවියෝ කවදා හරි ඔබට දේශපාලනයට එන්න කියලා ඉල්ලීමක් කළොත් ඔබ එනවද?
රසික රසිකාවියෝ කාලෙක ඉඳන් ඔය ඉල්ලීම මගෙන් කරනවා. ඒත් කවදාවත් දේශපාලනේට එන්න මගේ කැමැත්තක් නෑ. ඒත් පොඩි මිනිහට වැරැද්දක් වෙන්නේ කොතැනද අසාධාරණයක් වෙන්නේ කොතැනද මං එතැන ඉන්නවා.
භාතිය වෙඩිවර්ධන