හිත ඇවිලෙන හැම වෙලාවකම නිවෙන්න හේතු ගෙදරින් හොයාගන්න
හැම සතියකම සිකුරාදා කියන්නේ මගේ සතුට වැඩිවෙන දවසක්. ඒ වෙන දෙයක් හින්දා නෙවෙයි, සතිඅන්තේ එන නිසා. බැරිවෙලාවත් එහෙම සතිඅන්තෙකට පස්සෙ එන සඳුදාත් නිවාඩු නම් මම ඉන්නෙ ඉහේ මල් පිපිලා වගේ. ගිය සුමානේ සඳුදාත් නිවාඩු දවසක් හින්දා සිකුරාදා මම හිටියෙ පුදුම සතුටකින්. දවස් තුනක්ම නිවාඩු නිසා අපි එළියට යමු කියලා මම පැටව් තුන්දෙනාටත් කිව්වා.
ඉතින් මේ කියන සිකුරාදා දහම් ඔෆිස් එකෙන් එන්න වෙනදාට වඩා පරක්කු වුණා. ඔෆිස් එකෙන් එළියට ආපු ගමන් කෝල් එකක් අරන් ‘‘දැන් බබා වැඩ ඉවර වුණේ, මම එනගමන්’’ කියලා, තවත් කතාවක් කියන්න ලෑස්ති වුණා. ‘‘ඔයාට කියන්න තව දෙයක් තියෙනවා, බිස්නස් ට්‍රිප් එකක් සෙට් වුණානේ… හෙට උදෙන්ම යන්න ඕනේ’’ දහම් ඔය වචන ටික කිව්ව ගමන් මගේ සැලසුම් ඔක්කොම කඩන් වැටුණා වගේ මට දැනුණේ. මට එවලේ තද කේන්තියක් ආවාත් මං ඒක පිට කළේ නෑ.
‘‘උදේ 6.30ටවත් ගෙදරින් යන්න ඕනේ. පොඩි අය නිදි කරවන්න එපා මං එනකන්. මං උදෙන් යද්දි එයාලා නිදිනේ’’ කියලා දහම් කියද්දී මම ‘‘හ්ම්’’ කියලා විතරක් කිව්වා. මට ඕන වුණේ ඒ කතාව ඉක්මනට ඉවර කරලා ෆෝන් එක තියන්න. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි මට හිතුණා මගේ කටින් ඕන නැති දෙයක් පිටවෙයි කියලා. ඊටත් වඩා මං හිටපු නොසන්සුන්තාවය දහම්ට දැනෙන්න දෙන්න මට ඕන වුණේ නෑ. ඉතින් මම ෆෝන් එක තියලා ඇස් පියාගෙන පොඩ්ඩක් හිටියා. කේන්ති ගියාම මං දැන් කරන්නෙම ඒක. එහෙම ඉඳිද්දී මට මගේ නොසන්සුන්කම නිවාගන්න හොඳම හේතු හොයාගන්න පුළුවන් කියලා මං අත්දැකීමෙන්ම දන්නවා. ඒ වෙලාවෙත් දහම් ගැන ආපු කේන්තිය අඩු කරගන්න නිවීසැනසිල්ලේ මං හේතු හෙව්වා. හෙව්ව ඉක්මනට මට ඒ හේතු හම්බුණා. දහම් දන්නේ නෑ මං එළියට යන්න සැලසුම් කළා කියලා. අනික එයාගේ රස්සාවේ විදිය මං නොදන්න දේකුත් නෙවෙයිනේ. මේ වගේ දේකට මූණ අවුල් කරගෙන හෙට උදේ යන්න ඉන්න දහම්ව අවුල් කරන්න මට ඕන වුණේ නෑ. ඉතින් දහම් ගෙදරට එද්දී මගේ මූඩ් එක හරි. උදෙන්ම නැඟිටලා ‘‘දරුවොත් පරිස්සමෙන් බලාගෙන ඔයත් පරිස්සමෙන් ඉන්න’’ කියලා නළලත් ඉඹලා ගෙදරින් දහම් පිටත්වුණා.
පස්සේ ආයෙමත් මගේ හිතට නොසන්සුන්කමක් ආවා. කලින්දා හම්බුණ හේතු මට මදි වගේ. ඒත් දරුවෝ එක්ක ඉඳිද්දී හිත නොසන්සුන් කරගෙන ඉන්න බෑ. ඒ නිසා මං පැයක් විතර ඉඳලා දහම්ට කතා කළා. ‘‘දැන් කොහෙද මහත්තයා?’’ කියලා මං අහද්දී, ‘‘ටෝකියෝ ස්ටේශන් එකේ. ට්‍රේන් එක එනකන් ඉන්නේ’’ දහම් කිව්වාම, මං ආයේම කිව්වා ‘‘සඳුදාත් නිවාඩු නිසා මං එළියට යන්න හිතුවේ අපි ඔක්කොම ඔයාට ඔහොම යන්න වැටෙයි කියලා හිතුවේ නෑ’’ කියලා. මගේ සාමාන්‍ය කතාවේ අසාමාන්‍ය ගතිය දහම්ට හොඳට දැනෙනවා.
දහම් හරි නිස්කලංකව කතා කරන්න ගත්තා ‘‘රෝසි මාත් හිතන් හිටියේ එහෙම, ඒත් මේක එකපාරට යන්න කිව්වේ.’’ ඊට අමතරව එහෙම එකපාරටම යන්න වුණ විශේෂ හේතුවත් එයා මට පැහැදිලි කරලා කිව්වා. එහෙම ගියාම ලැබෙන අත්දැකීමත් මට තේරෙන විදියට කියලා දුන්නා. දහම් කරන රස්සාවේ වටිනාකම මං දන්නවා. එයා මට එච්චර ආදරෙන් ඒ ගැන තේරුම් කරද්දිත්, තවදුරටත් කතාව ඇදන් ගිහින් එයාටත් පීඩනයක් දීලා මාත් පීඩනේකින් ඉන්න ඕන නැති බව මං තේරුම්ගත්තා.
ඒ නිසා මගේ සැලසුම් අමතක කරලා මම දරුවෝ එක්ක සතුටෙන් ඒ දවස් තුන හිටියා. වැඩත් වෙනදාට වඩා හොඳින් කරගත්තා. හැමදේටම වඩා මං සතුටු වුණේ මගේ කේන්තිය පාලනය කරගන්න පුළුවන් වුණු එකට.
දවස් දෙකක් ගෙවිලා, දහම් කිව්වාම පහුවදා ආපහු ගෙදර එනවා කියලා, ඒ දවස පටන් ගත්ත වෙලේ ඉඳන් මං හිටියේ ඒ සතුටෙන්. දහම් එහෙම ටික දවසකට වැඩවලට වෙන පළාතකට ගිහින් ආපහු ගෙදර එන දවසට මට දැනෙන්නේ එයා මාව මුලින්ම බලන්න ආපු දවසේ වගේ හැඟීමක්. ඇත්තමයි එහෙම දවසට වෙනදාට වඩා මගේ හිත සතුටින් පිරිලා. මට ලැබෙන මේ ජීවිතේ පුංචි අත්දැකීම්වලින් නොසන්සුන් තැන් අවබෝධෙන් තේරුම්ගත්තාම පවුල් ජීවිතේ කොච්චර සුන්දරද කියලා ආයේ ආයේ මම තේරුම්ගන්නවා.
සැනසීම කියන්නේ මොකක්ද? සැනසීම තියෙන්නේ කොහෙද? සතුටින් ඉන්නේ කොහොමද? සතුට තියෙන්නේ කොහෙද?
කාලෙකට කලින් මට තිබ්බ ප්‍රශ්න ටිකක් මේ. සැනසීම, සතුට මං ගාවම තියෙද්දී මං ඒක වෙන දේවල්වලින් හොයන්න ගිය කෙනෙක්. මගේ සැනසීම මොකක්ද, මගේ සතුට මොකක්ද කියලා අද මං දන්නවා. මගේ සැනසීම මගේ පවුල. මගේ පවුල ඇතුළෙනුයි මගේ හැම දුකකටම උත්තර හොයාගන්න ලැබුණේ. හිත ඇවිලෙන හැම වෙලාවකම පවුල ඇතුළෙනුයි මට හිත නිවාගන්න හේතු ලැබුණේ. මේ පුංචි සිද්ධිය මං ලියුවෙත් ඒකයි. හැමදේටම උත්තර, ඇවිලෙන තැන නෙවෙයි නිවුණ තැනයි තියෙන්නේ කියලා ආදරෙන් මතක් කරන්න.
හෂීණි මනමේන්ද්‍ර