මේ ජරමර අස්සෙ දරුවන්ට මන්දපෝෂණය හැදුනොත් මොන දෙයියන්ට කියන්නද?
චතුමිණී පුතුගේ කෑම පෙට්ටිය දෙස බලාගෙන කල්පනා කළේ ඔහු ඉල්ලන විදියට කටට රසට කෑමක් හදාදෙන්නට කවදා හැකිවේදැයි සිතමිනි. පුංචි එකාගේ මූණ එළිය වැටෙන්නේ බැදපු සොසේජස් කරලක්, එහෙමත් නැත්නම් මාළු පෙත්තක්වත් තිබුණු විටය.
‘‘මොකද ළමයෝ කෑම පෙට්ටිය දිහා බලන් භාවනා කරන්නේ? නිවිතියි පරිප්පුයි කියන්නේ නරක දෙයක්යෑ. අද ඔය බිත්තරේකුත් තියෙන්නේ.’’
චතුමිණීගේ කල්පනාව දුටු නැන්දම්මා කීවේ තොල පිට පෙරලමිනි. පෞද්ගලික ආයතනයක සුළු රැකියාවක් කරන සැමියාගේ ආදායම අද ජීවන බර හා ගලපාගන්නට කිසිසේත්ම බැරි බව චතුමිණීට රහසක් නොවේ. වත්තේ කොළ පළා වර්ගත්, පොල් ගස් දෙක තුනක පොලුත් ඇති නමුත් අනෙක් සියල්ල සපුරාගත යුතුව තිබුණේ සැමියාගේ වැටුපෙනි. එය කාලයකට කලින් ගෙදර ඕනෑ එපාකම් පිරිමසා ගන්නට හැකි මුදලක් වුවද අද ඒ මුදලින් හැරෙන්නටවත් බැරිය. මේ වනවිට පරිප්පු කිලෝ එකම රුපියල් පන්සියයේ කඩුල්ල පැන ගොස් ඉවරය.
‘‘හැදෙන ළමයෙකුට හොඳට කන්න දෙන්න ඕනනේ අම්මේ. අනික දරුවා සොසේජස්, මස් පෙත්තක්, මාළු පෙත්තක් බැදලා දෙනවට කැමතියි.’’
චතුමිණී කීවේ නැන්දම්මාගේ හිත නොරිදෙන්නටය.
‘‘ඒක මං දන්නවා දරුවෝ. ඉස්සර අපේ අම්මලා වත්තේ පිටියේ තියෙන කොළ ජාති හතර පහක් එකතු කරලා කොටලා උදේට හොඳ කැඳ එකක් හදනවා. ඒක බීලා තමයි අපි ඉස්කෝලේ ගියේ. ඒ ගියහම නම් ඉස්කෝලෙන් ඇදිහස බිස්කට් අටකුත් දුන්නා. සමහර දවස්වලට අම්මලා ඉස්කෝලෙටම ඇවිත් කැඳ හරි බත් හරි හදලා ළමයින්ට දුන්නා.’’
එදාද ඒ සියල්ල කරන්නට ඇත්තේ හැදෙන වැඩෙන දරුවෙකුගේ පෝෂණ මට්ටම හොඳින් පවත්වා ගැනීම වැදගත් වන නිසාය. ඒ නිසි පෝෂණය නොලැබුණහොත් දරුවාගේ ශාරීරික වර්ධනය පමණක් නොව බුද්ධි වර්ධනයටද එය බලපාන බැවිනි. විශේෂයෙන්ම වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ ආහාර වේල ගැන සැලකිලිමත් විමට මේ අත්‍යවශ්‍යම කාලයකි.
ශ්‍රී ලංකා පෝෂණවේදී සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස ඒ ගැන දැක්වූයේ මෙවන් අදහසකි.
‘‘පෙරපාසල් හා පාසල් වයසේ දරුවෝ කියන්නේ පෝෂණය නිසි පරිදි ලැබිය යුතු කොටසක්. රටේ පවතින වත්මන් ආර්ථික ගැටලු හමුවේ අහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ දුෂ්කරතාවන් බොහෝදෙනකුට ඇති බව ඇත්තක්. එම දුෂ්කරතාවන් නිසාම දරුවන් මන්දපෝෂණයට ගොදුරු වීමේ අවධානමක් පවතිනවා. විශේෂයෙන්ම එවන් දරුවන් උස යාමේ අඩුවක්, වයසට අනුව නියමිත බර ප්‍රමාණය නොමැති වීම මෙන්ම ලෙඩරෝගවලට පහසුවෙන් ලක්වීම, නිසි අධ්‍යාපන දක්ෂතා දක්වන්නට නොහැකි වීම ආදී ගැටලුවලට ලක්විමේ වැඩි ඉඩකඩක් පවතිනවා. මන්දපෝෂණය කියන වචනය නිවැරදිව විග්රහ කළොත් ඉන් අදහස් වන්නේ සෞඛ්‍යමත් දේහ ක්රියාකාරීත්වයක් පවත්වා ගැනීමට ප්‍රමාණාත්මක පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාමේ තත්ත්වයකුයි. එයට ආර්ථික දුෂ්කරතා හෝ වෙනත් කාරණා බලපෑ හැකියි. මේ නිසා සෑම මවක් පියෙක්ම මෙම කාරණා ගැන සැලකිලිමත් වීම අවශ්‍යයි.’’
මෙහිදී නිසි පෝෂණය සහිත ආහාරවේලක් යනුවෙන් අදහස් කරන්නේ පිඟාන පිරෙන්නට ලොකු බත් එකක් නොවේ. බත් හැන්දකුත් ඒ හා සමානව එළවළු වර්ග දෙකක්, කොළ මැල්ලුමක්, හාල්මැස්සන්/කූණිස්සන් දැමූ වෑංජනයක් හෝ මාළු කෑල්ලක් දරුවෙකුගේ පෝෂණ අවශ්‍යතා සපිරෙන්නට කාරණයකි.
එහෙත් අද බොහෝ දෙමාපියන්ට මෙම ආහාර වේල සපුරාගැනීම ගැටලුවකි. විශේෂයෙන් දීර්ඝ කාලයක් තිස්සේ, අදාළ ප්‍රමාණයට පෝෂ්‍ය පදාර්ථ හා සංඝටක සහිත ආහාර වේලක් නොලැබීමේ ප්‍රතිඵලය මන්දපෝෂණය නිසාම අපිට එය සුළුවෙන් තැකිය නොහැක්කකි.
‘‘දෛනිකව දරුවෙකුගේ ආහාරවේලට එක්විය යුතු කැලරි ප්‍රමාණයක් තියෙනවා. අම්මලා තාත්තලා හැටියට දරුවෙකුගේ සිනා මුහුණ තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව වෙන්නේ. ලෙඩක් දුකක් නැතුව, ඉගෙනුම් දක්ෂතා සහිතව පෞරුෂවත් දරුවෙක් නිර්මාණය වෙන්න එයාට ලැබෙන නිසි පෝෂණය ඉතාම වැදගත් බව පුන පුනා කිව යුතු නැහැ. කොහොමද එතකොට අපි වර්තමාන තත්ත්වය හමුවේ මේ අවශ්‍යතා සපුරා ගැනීම කරන්නේ? මොකද මොන බැරූරුම්කම තුළ වුවත් අපට මේ වගකීම පැහැර හරින්න බැහැ. මේ තත්ත්වය කොහොම යථාවත් වේවිද කියලා අපිට කියන්නත් බැහැ. ඒ නිසා ආහාර ගැටලුවට අපේ ගෙවත්තෙන් විසඳුම් සොයන්න පටන්ගන්න අපට පුළුවන්. කෘත්‍රිම ආහාරපාන වර්ග හැකිතාක් අවම කරලා, දේශීය ආහාර වර්ගවලට යොමුවීම කළ හැකියි. පුළුවන් තරම් ගෙවත්තේ ඉඩ තියෙන අය එළවලු ටික, කොළ පළා ටික වත්තෙම වගා කරගැනීම වැදගත්. දැනට ඒ ටික කරගත්තොත් අපි ප්‍රමාද නැහැ. ඒ වගේම තව කෙනෙකුට පුළු පුළුවන් ලෙස උදව් කිරීම අපි අමතක නොකළ යුතු ගුණාංගයක්. ’’
ඒ වාගේම ඇය පෙන්වා දුන් තවත් කාරණයකි. ඒ ගර්භණී මව්වරුන්ද සෑමවිටම නිසි පෝෂණයෙන් යුත් ආහාරවේලක් ලබාගත යුතු බවයි. ඊට හේතුව නම් දරුවෙකු ලැබෙන්නට සිටියදී මව පෝෂණ ගැටලුවලට මුහුණ දිමෙන් සිදුවන්නේද අඩු බර හා කෘශ බවින් යුත් දරුවෙක් බිහිකරන්නට සිදුවීමයි. අදාළ දරුවා උපත් ආබාධ සහිත වීමටද ඉඩ ඇති බැවින්, ගර්භණී මවක් සපුරාගත යුතු දෛනික පෝෂණ අවශ්‍යතා ගැනද අවධානය යොමු කිරීම වැදගත්ය.
ඉකුත් වසරවල පෝෂණ දර්ශකයෙන් ශ්‍රී ලංකාව හොඳ ස්ථානයක සිටියත්, දැනට පවතින තත්ත්වය තුළ එම ප්‍රතිඵලය වෙනස්වීමට ඉඩ තිබේ.
‘‘අපි දන්නවා මේ මොහොතේ හැමදෙනාටම අමාරුයි. ඒත් එහෙමයි කියලා අපිට මේ ප්‍රශ්නවලින් ගැලවිලා යන්න බැහැ. අපි කතාවටත් කියනවා හොඳම දේ දරුවන්ට කියලා. ඉතින් මිල වැඩි දේවල් දරුවන්ට දෙන්න මේ කාලය නොවෙන්න පුළුවන්. ඒත්, හැකි පමණින් දරුවාගේ පෝෂණ මට්ටම ගැන හිතලා ආහාරවේල පිළියෙල කරන්න. දරුවෝ, ගැබිනි මව්වරු වගේම ගෙදර වැඩිහිටියෙක් ඉන්නවානම් මේ කාරණා එයාලටත් අදාළයි. මොකද අවිධිමත් හා ප්‍රමාණාත්මක නොවන ආහාර රටාව ඔවුන්ටද පෝෂණ ගැටලු ගෙන දෙනවා.’’
ඇය පෙන්වා දුන්නේ වත්තේ පිටියේ වැවෙන ගස්ලබු, කෙසෙල්, පේර, වෙරළු වැනි පලතුරු ගස් යට පරවෙනවා වෙනුවට හැකි පමණින් ආහාරයට එක්කර ගැනීමෙන් විටමින් අවශ්‍යතා කිහිපයක් සපුරාගත හැකි බවයි.
එපමණක්ද නොවේ. ඔබේ ගෙවත්තේ ගොටුකොළ පඳුරක් සිටුවන්නට ඉඩක් වේ නම් ඒ ඉඩ හිස්ව නොතබන්න. අමාරු කාලයන් ජයගත හැක්කේ අමාරුවෙනි. ඒ කාලය තුළ හැදී වැඩී සමාජගත වන ඔබේ දරුවා සැබෑ ශක්තිවන්තයෙක් කළ හැක්කේද එවිටය.
දීපා වසන්ති එදිරිසිංහ