හෝටල් වල උපන්දින සැමරුවම පව් සිද්ද වෙනවද ?
“නෙතුලිලාට පිස්සුද කොහෙද? අච්චර වියදම් කරන්නේ පොඩි එකෙක්ගේ උපන්දිනයකට.” සාමා එහෙම කිව්වේ නෙතුලිගේ පුංචි දියණියගේ උපන්දින උත්සවයට සහභාගී වෙලා එන ගමන්.
“ඒක තමයි. හෝටලයට වෙනම ගාණක්. ඒක සරසලා තියෙන්නේ වෙනම කෙනෙක්. එතකොට කේක් එක හදවලා තියෙන්නේ තව තැනකින්. මල විකාර.” මාෂා කිව්වේ හිනා වෙවී.
“මේ රටේ ඕනේ තරම් දුප්පත් ළමයි ඉන්නවා. ළමා නිවාස තියෙනවා. අර්ථවත් විදිහට උපන්දිනය සමරනවා නම් කරන්න තිබුනේ ඒ වගේ දරුවෝ ටිකකට මොනවා හරි අරන් දෙන එක. අර දරුවටත් ඒක කොච්චර ලොකු ආශිර්වාදයක් වෙයිද?” සාමා ආයෙමත් කිව්වා.
මේ අතරේ නෙතුලි සහ සේනක මුදල් ගනුදෙනු බේරන්න පටන් ගත්තා.
බිම වැටිලා තියෙන ආහාර කැබලි අතු ගාන්න ආපු සුවිනිතා නෙතුලිගේ සුරතල් දියණිය දිහා බලලා ආදරෙන් හිනා වුණා.
“මටත් ඉන්නවා නෝනා මේ වගේම මිනිබිරියක්.”
“ආ එහෙමද? ඒ දුවගේ වයස කීයද?” නෙතුලි ඇහුවේ හිනා වෙලා.
“අවුරුදු තුනයි නෝනා. මගේ දූගේ දරුවා ඒ. දූගේ මහත්තයාගේ රස්සාව නැති වුනානේ හදිසියේම. මටවත් මේ හෝටලයේ රස්සාවක් තිබුණු එක හොඳට ගියා නෝනා. දැනට මගේ ආදායමෙන් තමා එයාලත් ජිවත් වෙන්නේ.” සුවිනීතා කිව්වේ හිතේ දුකෙන්. තමන්ගේ එකම දුවගේ පවුලේ ආදායම් මට්ටම කඩාගෙන වැටුණු එක ගැන වේදනාවෙන් ඉන්න නිසා සුවිනිතාට මේ ගැන කා එක්කත් කියවෙනවා.
නෙතුලි යන්තම් හිනා වෙලා සුවිනීතා දිහාවට හැරුණා.
“අපෙන් මුකුත් උදව්වක් එහෙම…”
“අනේ නැහැ නෝනා. මට මේ හිතේ දුකට කියවුණේ. නෝනලා වගේ අය මේ හෝටලයට එන නිසා නේන්නම් අපිටත් මේ රස්සාව රැකිලා තියෙන්නේ? මෙතන ලොකු තැනක් නොවුණට පනහක් විතර වැඩ කරනවා. ඒ හැමෝටම හෝටලෙන් පඩි ගෙවන්නේ ඉතින් නෝනලා වගේ අය මෙහෙ එන නිසානේ.” එහෙම කියලා සුවිනිතා බිම අතු ගාන්න පටන් ගත්තා.
හෝටලයේ මුදල් ගෙවලා ඉවර වෙලා සේනක දරුවත් වඩාගෙන ඉස්සර වුණා. මෝටර් රථයේ දොර ඇරලා දියණියව කාර් සීට් එකේ තියලා සේනක රියදුරු අසුනට ආවා. නෙතුලි අනික් පස අසුනේ වාඩි වුණා.
“කේක් එක හොඳට තිබුනා නේද? මම හිතුවේ නැහැ ඔච්චර රහට තියෙයි කියලා.” සේනක කිව්වේ නෙතුලි දිහාවට හැරිලා.
නෙතුලි ආඩම්බරකාර හිනාවක් මුහුණේ ඇඳ ගත්තා.
“ඒකනේ මම කිව්වේ. කේක් එක සඳුනි නංගිට කියලම හදා ගමු කියලා. කෙල්ලගේ කෑම රසයි. ඒ ළමයාගේ උත්සාහවන්තකමට මම හරිම කැමතියි. අර වයසක අම්මවයි තාත්තවයි තනියම බලාගෙන, බිස්නස් එකකුත් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවේනේ.”
“ඔව් ඇත්තටම රසයි තමා. පාර්ටි එකට ආපු අයත් කිව්වා ගොඩක් රසයි කියලා.” සේනක කිව්වේ සතුටින්.
“මේ ඒක නෙවෙයි ඔයා කිව්වා නේද අර අපේ ඩෙකරේෂන් වැඩ ටික කරලා දුන්නු හංසකගේ වයිෆ් එක් තැන වෙලා කියලා. පව් නේද?” ටික වෙලාවකින් නෙතුලි ඇහුවා.
“අනේ ඒකනේ. දැන් අවුරුදු දෙකක්ලු. බස්කාරයෙක් හප්පගෙන ගිහින්ලු. දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා මනුස්සයට. දරුවෝ බලාගෙන, උයා පිහාගෙන ඉන්න හෙල්පර් කෙනෙක් ඉන්නවලු. නෝනාව බලා ගන්න තව හෙල්පර් කෙනෙක් ඉන්නවලු. නෝනාගේ බේත් වලට වෙනම වියදම් කරන්න වෙනවලු. දකුණු අතට ලැබෙන ආදායම වම් අතින් වියදම් වෙනවා කියලා තමා මනුස්සයා කියන්නේ නිතරම.” සේනක කිව්වා.
“පව්. හංසකගේ ෆේස්බුක් පේජ් එකේ හොඳ රිවිව් එකක් දාන්න ඕනේ. තව බිස්නස් ලැබෙයිනේ එතකොට.” නෙතලි එහෙම කිව්වේ දුරකථනය අතට ගන්නා ගමන්.
සමිධි ඩයස්