නවසීලන්තයේ සිට ආ බිරිඳ මරා සැමියා ළිඳට පැනලා
එකමග එකට යාමට සිතා අත්වැල් බැඳගත්තද, ඒ අත් අතරමග ලිහී යන අවස්ථා කෙතෙකුත් තිබේ. අප්සරාත්-මියැසියත් හදවතින් බැඳුනේ මේ භවයේ පමණක් නොව මතු සංසාරයේත් එකමග එකට යන්නට සිතාගෙනය. එහෙත් හිතන පතන සියල්ල ඉටු නොවන දහම මේ යුවළටද ඒ ලෙසම බලපෑවේය.
හරියටම කිවහොත් ඒ මීට වසර හයකට පමණ පෙර දිනකි. ඒ වනවිට අප්සරා කල්පනීට වයස අවුරුදු විසිහතකි. දුටුමනින් කෙනෙකුගේ නෙත් සිත් පැහැර ගැනීමට තරම් රුවැති යුවතියක වූ ඇය, මියැසියගේ නෙත ගැටුණුදා ඔහුට දැනුණේ කල්ප කාලාන්තරයක් බලාපොරොත්තුවෙන් සිටි යුවතිය හමුවූවා වැනි හැඟීමකි. අප්සරාද මියැසියට ‘ආදරෙයි’ කියා කීවේ තමා බලාපොරොත්තු වූ ගතිගුණ සමුදායක් ඔහු තුළ තිබුණු නිසාය.
‘‘මම අම්මට ඔයා ගැන කිව්වා. ඔයාට අපේ ගෙදර එන්න කිව්වා.’’
‘‘හරි, මම විතරක් නෙවෙයි ගෙදර අය එක්කම එන්නම්.’’
අප්සරාගේ යෝජනාවට ඔහු විශ්වාසය එක්කළේ එලෙසිනි. මාතර කැකණදුර ප්‍රදේශයේ පදිංචි මියැසියගේ පවුලේ උදවිය ගම්පහ වැලිවේරිය, වෑබොඩ ගමට නෑගම් යන්නේ ඔවුන්ගේ විවාහය ස්ථිර කරමිනි. මියැසිය පවුලේ බාලයා වූ අතර අප්සරා වාගේම උපාධිකාරියෙකුද විය. අප්සරා ඒ වනවිට කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළාය. මියැසිය පෞද්ගලික ආයතනයක විධායක රැකියාවක නියැලිණි.
දෙපාර්ශවයේ ආශිර්වාද මැද සිදුවූ ඔවුනගේ විවාහයට වසරක් ගෙවුණේ ලස්සන සිහින මැදය. මේ අතරතුර දෙදෙනා කථිකා කරගත්තේ විදෙස් රටකට යන්නටයි.
‘‘අපි නවසීන්තෙට යමු. වීසා ගන්න අමාරුවෙන එකක් නැහැ. රස්සාවක් කරන ගමන් ඉගෙනගන්නත් පුළුවන්නේ.’’
ආර්ථික අතින් ස්ථාවර වී ජීවිතයේ බලාපොරොත්තු ස්වෝත්සාහයෙන් ජයගැනීමේ අදිටන දෙදෙනාටම තිබුණි. සමාජශීලී කාන්තාවක වූ අප්සරා, පාසල් සමයේ සිටම අභියෝගවලට බියවූ යුවතියක නොවේ.
නවසීලන්ත ගමනට සූදානම් වෙද්දී සියල්ල බලාපොරොත්තු වූ ලෙස සිදු නොවන බව මියැසියට තේරුම් ගියේ තමන් වෙත කඩාපාත් වූ බාධාව නිසාය. ඒ කොරෝනා වසංගතයේ වැඩි බලපෑමක් තිබුණු දින කිහිපයයි. මියැසියටද කොරෝනා වැළඳී තිබුණි. ඒ වනවිට දෙදෙනාම වීසා අයැදුම්පත් යොමුකොට තිබුණත්, කොරෝනා නිසා මියැසියගේ අයැදුම්පත ප්‍රතික්ෂේප වෙද්දී, අප්සරාගේ අයැදුම්පත අනුමත විය.
‘‘කමක් නෑ. මම පස්සේ එන්නම්. ඔයා ගිහින් ඉගෙනුම් වැඩ පටන්ගන්න. රස්සාවක් ලැබුණොත් කරන්න. මං පුළුවන් තරම් ඉක්මනට එන්නම්.’’
අප්සරාගෙන් කෙටි කලකට හෝ වෙන්වීමේ දුක මියැසියට තදින් දැනුණත්, අප්සරා සිටියේ සතුටිනි. ඒ නවසීලන්ත ගමන සැබෑවන සතුටයි.
‘‘ඒ ගියාම මාව අමතක වෙයිද දන්නේ නෑ.’’
මියැසිය කළේ විහිළුවකි.
‘‘එහෙම වෙන්නේ නෑ මියැසි. ඔයාටත් ඉක්මනින් එහේ එන්න ලැබේවි.’’
‘‘ඔව්… ඉක්මනින් මටත් එන්න පුළුවන් වෙයි. ඔයා නැතුව මට පාළුයි.’’
අප්සරා ලංකාවෙන් ගිය දිනය මියැසියට තදින්ම දැනුණි. ඒ පාළුව විඳ දරාගන්නට හැකි වූයේ ඇගෙන් ලද ඇමතුමකිනි. රැකියාවට ගියත් ඇය මතක් නොවුණු මොහොතක් ඔහුට නැත.
එහෙත් දින, සති, මාස ගෙවෙද්දී, මියැසියට අප්සරාගේ වෙනසක් දැනෙන්නට වූයේය. ඇය කතා කරන වාර ගණන අඩුවිනි. ඊට හේතු විමසද්දී දෙදෙනා අතර බහින්බස්වීම්ද ඇතිවිය. වෙනදාට නැති වෙනසක් අප්සරාගේ වෙතැයි මියැසිය කියද්දී අප්සරාද නිකන් හිටියේ නැත. අනතුරුව ඔවුන් එකිනෙකාට චෝදනා කරගන්නට වූයේ සැමියා බිරිඳ ලෙස නොව සදාකාලික හතුරන් විලාසයෙනි.
‘‘මම තමුන්ගෙන් ඩිවෝස් වෙනවා.’’ අප්සරා කීවාය.
මියැසියට ඈ ගැන සැක ඇතිව තිබුණි. ඔහුගේ නවසීලන්ත ගමනද හරි නොගියෙන්, ඔහු තුළ තරහක්ද වැඩිවෙමින් තිබුණි. අප්සරාද මියැසියගේ හිත හැදෙන්නට වචනයක් හෝ කතා කළේ නැත. ඇය ඔහුගෙන් දික්කසාද වනවා යැයි කී දිනෙන් පසු නැවත ඔහුට ඇය හා කතා කරන්නට නොහැකි වූයේ ඔහුගේ ඇමතුම් නොම්බරය ඇය බ්ලොක් කර දමා තිබුණු නිසාය.
මේ අතර අසල්වැසියෙකු මියැසියට කියන්නේ අප්සරා ගෙදර පැමිණ ඇති බවයි. හිතේ තිබූ වෛරය අලුත්වන්නට වැඩිවෙලා ගියේ නැත. ඔහු අප්‍රේල් විසිහතරවනදා මාතර සිට වැලිවේරියට එන්නේ තියුණු ආයුධයක්ද බෑගයේ සඟවාගෙනය.
අප්සරාත්, ඇයගේ මිතුරියකුත්, නැගණියත් එම මොහොතේ නිවසේ සිට ඇත. රෑ බෝ වනතුරු බලාසිටි මියැසිය නිවසේ පිටුපසින් ගෙට ඇතුළු වූයේ මේ මොහොතේයි.
‘‘ඒ වෙලාවේ අප්සරා ඉඳලා තියෙන්නේ ගෙයි ඉදිරිපස. ඇය සැමියාව දැකපු ගමන් කලබල වෙලා තියෙනවා. කොහොමහරි සැකකරුගෙන් බේරෙන්න ඇයට හැකිවුණේ නැහැ. ඇයව තියුණු ආයුධ පහරවලින් බරපතළ තුවාල සහිතව බිම ඇද වැටිලා. ඇයගේ කෑගැහිල්ලට නැගණියත්, යෙහෙළියත් දුවගෙන ඇවිත් තියෙනවා. ඒ වෙලාවේ සැකකරු ඔවුන්ටත් එම තියුණු ආයුධයෙන් කොටලා තියෙනවා. අප්සරා එම ස්ථානයේදීම මියගියා. යෙහෙළියත්, නැගණියත් රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.’’
පොලිසිය කියන්නේ අප්සරාව කපා කොටා ඔහුද එම ආයුධයෙන්ම ගෙල කපාගෙන ඇති බවයි. ඔහුට ජීවත් වෙන්නට බලාපොරෙත්තුවක් ඒ වනවිට ඉතිරිව නොතිබූ බැවින්දෝ ඔහු ළිඳට පැන්නේ අප්සරාව යැවූ ගමනම ඇය හා යන්නට සිතා වන්නට ඇත. එහෙත් දෛවය මෙවරද එම අවස්ථාව මියැසියට දුන්නේ නැත. ඔහුව ළිඳෙන් ගොඩගෙන ගම්පහ රෝහලට ඇතුළත් කරන්නට ගම්මු කටයුතු කළහ.
සති දෙකක නිවාඩුවකට මවගේ සුවදුක් විමසා යන්නට ලංකාවට ආ අප්සරා දැන් ජීවතුන් අතර නැත.
මියැසිය තමන්ට තමන්ම කරගත් තුවාල සුව වූ වහාම නීති මගින් දඬුවම් ලබන්නෙකු වනු ඇත.
ආදරයෙන් බැඳී, එක වහලක් යටට වී ජීවිතය ආදරයෙන් බෙදාගත්, ජීවිතය ගැන අනන්ත සිහින දුටු යුවළකගේ බලාපොරාත්තු සුණු විසුණු වී ගියේ එලෙසිනි.
‘සැකය’ එය බියකරු නමුත්, කතාබහකොට ආදරයෙන් එය විසඳාගැනීම හෝ අතහැර දැමීමට තරම් තව පියවරක් ගැන මියැසිය සිතුවා නම් එම ජීවිත දෙකම, එකම මාවතක හෝ මාවත් දෙකක හෝ අදත් ලස්සනට ජීවත්වනවා නොවේද?
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධනගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
දීපා වසන්ති එදිරිසිංහ