දකින දකින බෝධියට වතුර කළ ගෙඩි හල හලා මම පුතෙක් ඉල්ලුවා
පුංචි කෙල්ලක් වෙලා ඉන්න කාලෙට වඩා මල්වර නැකතින් එළියට එන දැරිවියක්ගෙ හිතේ උපදින හිතුවිලි දිගෑරෙන්නෙ හරිම සිනිඳුවට. ඒත් ගෑනු හිතක හැඟීම් කියන්නෙ ඒ සිනිඳු හැඟීම්වලට විතරක්ම නෙමෙයි කියලා අපිට තේරුම්යන්නේ පවුල, ගෙදර, ගම අතහැරලා විවාහයකින් පස්සෙ නන්නාඳුනන තැනක, නන්නාඳුනන මිනිස්සු අතරේ නුහුරු ගෙදරක තනිවෙන්න වුණාම. එහෙම පසුබිමක තවන, දවන, රිදවන හැඟීම් හා අත්දැකීම් අතරේ නොවැටී ඉන්න උත්සාහ කරපු එවන් ගැහැනු හිතක දිගහැරුම තමයි මේ…
හුරුපුරුදු වෙච්ච හැමදේම අතහැරලා තරුණියකට යන්න වෙන දවසක් එනවා. ඒ විවාහයකදි. තමන්ගෙ ගෙදර, ගෙදර සාමාජිකයො, යාළු මිත්‍රයො, තමන් එතෙක් දවස් හැදුන ගම, වටපිටාව. ඒ ඇරෙන්න සමහරුන්ට තමන් ඇඳපු පැළඳපු විදිහ, හැසිරීම, කන බෙන දේවලුත් අත අරින්න වෙනවා.
මස් මාළුවලට ගිජුව හිටි මගේ මිතුරියකට කසාදෙන් පස්සේ එළවළුයි බතුයි විතරක් කන්න වුණා කියලා ඇය කීවේ ආයාසයකින් මවාගත්ත හිනාවක් එක්ක.
විවාහය කියන තැන ජීවිතයේ සුන්දරම නවාතැන්පොළ වෙන්නත් පුළුවන්. ඒ වගේම ජීවිතයේ අසූන්දරම තැන වෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ ගොඩක් වෙලාවට විවාහයෙන් පස්සේ අපිට හම්බවෙන අලුත්ම නෑදෑයො හින්ද. ඒක බොරුවක් නම් නෙවෙයි. ජීවිතේ අතරමගදී මුණගැහෙන අය හා මුසුවීම හරියට තරඟ විභාගයක ප්‍රතිඵල වගේ. හොඳම හා නරක යන අවස්ථා දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම ප්‍රතිඵල විදිහට ලැබෙනවා.
මගෙ කසාදය වුණේ යෝජනාවකින්. ගෙදර ඉඳන් හැතැම්ම සීයකටත් වඩා දුරකට තමයි මටත් යන්න වුණේ. විවාහයෙන් පස්සෙ අවුරුදු දෙකක් විතර යනකන්ම දරුවෙක් ලැබුණෙ නැහැ. පුංචි පුංචි කහට රස මුලදී මුලදී ටික ටික දැනුණත්, කසාද ජීවිතේ ලොකුම තිත්ත රහ පළවෙනියට දැනුණෙ එතැනින් තමයි. නැන්දම්මාත්, එයාගෙ නෑදෑයිනුත්, අහල පහල උදවියත් එතැන ඉඳන් මගේ ජීවිතයේ එක පැත්තක් පුරාම කළු පාට කරන්න පටන්ගත්තා.
‘‘ළමයො මොකද තවම මොනවත් නැත්තෙ?’’
‘‘පවුලෙ කවුරුත් නෑ නේද ඔහොම?’’
‘‘දොස්තර කෙනෙක්වත් මුණ ගැහෙන්න ගියොත් නරකද?’’
‘‘දේවාලෙකට ගිහින් බාරයක් වුණොත් නරකද?’’
‘‘පුතාලගෙ පරම්පරාවෙ නම් වැරැද්දක් නෑ. හැමෝටම දරුවො හිටියනෙ.’’
‘‘දැන්ම ළමයි හදන්නෙ නැද්ද?’’
‘‘දරුවෙක් මල්ලෙක් නැත්නම් කසාද ගෑනියෙක්ගෙන් වැඩක්ද ළමයො?’’
දාහක් ප්‍රශ්න හැම පැත්තෙන්ම ඇහෙන්න වුණා. ළිඳට ගියත්, කඩේට ගියත්, පාරෙ ගියත්, මඟුල් ගෙයක, මළ ගෙයක, දානෙ ගෙයක ගියත් මේ ප්‍රශ්න පත්තරේ දකින දකින නෑදෑ සනුහුරේම මගෙ ඉදිරියේ දිගාරින්න වුණා.
ගැහැනියක් විදිහට තවත් ගැහැනියකට අනුකම්පා කළ යුතු හොඳම තැන මේ අවස්ථාව කියලා මම නම් අද වුණත් හිතනවා. ගැහැනු බොහොමයක් කරන්නෙ එවන් අවස්ථාවක අනිත් ගැහැනියකගෙ හිත රිදවීම විතරයි. ආදරය, අනුකම්පාව හා මගපෙන්වීම් පසෙක ලා සරදම් කිරීම දැනුවත්වම හෝ නොදැනුවත්ව කරන්නේ ගැහැනුන්ම තමයි. ඒත් එතැන මට මගේ සැමියා විශාල හයියක් වුණා. කවුරු මොනවා කිව්වත් ඔහු ඒක ප්‍රශ්නයක් කරගත්තෙ නෑ. වැඩ ඇරිලා ගෙදර ඇවිත් අපේ ගේ ළඟම තිබ්බ මහගෙදරට ඔහු අම්මා තාත්තා බලන්න ගිහින් ආවා. සමහරවිට ඒ දේවල්වලින් ඔහුගේත් කන් පිරෙව්වා වෙන්න පුළුවන්. නමුත් ඒ කිසි දෙයක් මා එක්ක කතා කළේ නෑ.
නිබ්බූත පද කියන්නට කෙනෙක් අලුත් නෑදැයින් අතර හිටියෙ නෑ. මේ කන්දොස්කිරියාවෙන් ගැලවෙන්න තියෙන හොඳම මග ලැබෙනකන් නොඉඳ ඉක්මනටම දරුවෙකු හදාගැනීම කියලා මට හිතුණෙ ඊටපස්සෙ. හොඳයි කියන දොස්තරවරු හොය හොයා යන්න බලකෙරුවෙ මම. මොකද මේ වගේ වෙලාවකදි ගෙදරක පිරිමියෙකුට දික් නොකරන ඇඟිලි ඔක්කොම ගැහැනිය දිහාටම උලුක්කරන හින්දා. දවල් කාලයේ තනියම ගෙදර හිටිය මම දරු සම්පත පමාවීම ගෑන කියැවෙන රූපවාහිනී වැඩසටහන් දැක්ක තැන බැලුවා. පොත් පිටු, පත්තර පිටු පෙරල පෙරලා බැලුවා. වෛද්‍යවරුන්ගෙ අවවාද, උපදේශන වලින් ඔලුව පිරෙනකොට ඇහෙන දොස් පරොස්වලට මගේ හිතේ ඉඩ නැතිව ගියා.
‘‘අම්මෙ හැමවෙලාවෙම ධනාත්මක වෙන්න.
අම්මෙ හැමෝටම මෛත්‍රී කරන්න.
අම්මෙ පුළුවන් තරම් පොඩි දරුවො එක්ක ඉන්න.
අම්මෙ ඔයා බබාලා ලැබෙන්න ඉන්න අම්මලාට කෑම ටිකක් එහෙම හදලා දෙන්න.
මට දරුවෙක් ලැබෙනවමයි කියල හැම විනාඩියෙම හිතන්න.
නිතරම පෙනෙන්න පොඩි බබාලගෙ පිංතූර ටිකක් නිදියන කාමරෙ අලවගන්න. ඒ වගේ බබෙක් ළඟදිම මට ඉන්නවා කියලා හිතන්න.’’
ඒ ගිය හැමතැනකින්ම මට ලැබුණේ හිත නිවන උපදෙස්.
දොස්තර මහත්වරු පැල කරපු අලුත් බලාපොරොත්තු ගොඩක් දවසින් දවස මගෙ හිත ඇතුළෙ පඳුරු දාන්න පටන්ගත්තා. මල් තියෙන්න වල් ඔක්කොම හිත ඇතුළෙන් ගලවන්න මං පටන්ගත්තෙ ඊටපස්සෙ.
මම නිස්කලංක තැන්වලට ප්‍රිය කෙරුවා. පන්සල්වලට ගිහින් දකින දකින බෝධියට වතුර කළ ගෙඩි හල හල පුතෙක් ඉල්ලුවා. තාත්තා පත්තු කරන පහන මතක් කර කර රත්නපුරේ ගිහින් සමන් දෙයියන්ගෙනුත් පුතෙක් ඉල්ලුවා.
හිත තිබුණෙ අමුතුම තැනක. පා වෙන නොවෙන තැනක. එකම අරමුණක. එතැන හිටියෙ පුංචි පුතෙක් විතරයි. එයා එක්ක මං කතා කළා. හිනා වුණා. එයාව නෑවුවා. නිදි කළා. කිරි පෙව්වා. හිත ධෛර්යමත් කරගත්තා මිසක් ඉහරවගන්න ඕන වුණේම නෑ.
දවසක මම දැක්කා රූපවාහිනී වැඩසටහනක හේමන්ත පෙරේරා වෛද්‍යතුමාව. මට හිතුණා එතුමාවත් හමුවෙන්න. ජයවර්ධනපුර මහරෝහලේ ප්‍රසිද්ධ ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ හේමන්ත පෙරේරා වෛද්‍යතුමා අපේ සියලු වෛද්‍ය වාර්තා බලමිනුත් කිව්වෙ,
‘‘අම්මෙ, ඔයාලට කිසිම වැරැද්දක් නෑ. අනිවාර්යයෙන් දරුවෙක් ඉන්න ඕන. ස්වාභාවික විදිහට දරුවෙක් ලබාගන්න අම්මට කිසිම බාධාවක් නෑ’’ කියලමයි.
‘‘කෝකකටත් තව මසෙකින් එන්න. පොඩි ටෙස්ට් එකක් තියෙනවා. ඒකත් කරලම බලමු.’’
ඒ මාසෙ ඉක්මනට ගෙවිල ගියා. හේමන්ත පෙරේරා වෛද්‍යතුමා දුන් දිනය ආදා ශ්‍රී ජයවර්ධනපුර ඉස්පිරිතාලෙට මම ගියේ කුතුහලයෙන් හා ලොකු තිගැස්මක් එක්ක. එදා මාව පරීක්ෂා කළේ මටත් වඩා ළාබාල වෛද්‍යවරයෙක්. එක අතකින් මගේ ශරීරය තුළට යවපු කැමරාව හසුරවන ගමන් ඔහු බලා හිටියෙ හරිම තියුණු විදිහට පරිගණක තිරය දිහාමයි. ඔහුට තිබුණේ සුන්දර පෙනුමක්. හැඟීම්බර කල්පනාකාරි ගතියක් තිබ්බ ඒ මූණෙ පිරෙන්නම සන්සුන්කමකුත් තිබ්බා. කම්පියුටර් තිරයෙ ඇකිළෙන, දිගෑරෙන, වෙනස්වෙන ආයෙ එන රූප දිහා බලාගෙනම ඔහු මට කිව්ව ඒ ලස්සනම ලස්සන වචන ටික මට හොඳට මතකයි.
‘‘අම්මෙ මම හිතන්නෙ ඔයාට දැනටමත් මිලිමීටර් ගාණක බබෙක් ඉන්නවා කියලා. ඒක විස්වාස කරන්න පුළුවන් අම්මේ.’’
ඉදින් ඒ ජීවිතේ ඇරඹුම දෙවැනි උපතක් ලැබීම හා සමානවම දැනෙන්නට ගත් මොහොතේ කොයිතරම් නම් සතුටකට මුල පිරුවාදැයි කොහොම කියන්නද? මට සමච්චල් පෑ මුහුණු මත අංගසම්පූර්ණ ගැහැනියක විදිහට ආඩම්බරයෙන් එබී බැලීමේ ආසාව ලොකුවට මට දැනුණා.
ඒ දවස, ඒ මොහොත මගේ ජීවිතය ලොකුම ලොකු වෙනසකට අරගෙන යන බවක් එදානම් මට මේ තරමට තේරුණේ නෑ.
(මේ ඇරඹුමක මතකය පමණමය. තව ඉතිරියක් ඇත.)
ප්‍රියංකා නානායක්කාර