විශේෂාංග

මුල අමතක කරන්න පුළුවන්නම් ඕවත් වැඩද?

‘‘මොකද්ද උමාලි මේ කරලා තියෙන්නේ? හරියට වැඩක් කරගන්න තේරෙන්නේ නැද්ද? මම ඊයෙත් කියලා දුන්නනේ මේක කරන හැටි.’’ වන්දනා තරහෙන් බැන වදිද්දී උමාලි හිටියේ බයවෙලා.

‘‘යමු අනේ ලන්ච් ගන්න. මට නම් මේ තොත්ත බබාලා ට්‍රේන් කරලා ඇතිවෙලා.’’ ඊළඟට වන්දනා හැරුණේ තමන්ගේ මිතුරිය, සුවින්දී දිහාවට.

‘‘පව් බන් අලුත් කෙල්ල. පොඩ්ඩක් හෙමීට කියලා දීපන්කො.’’ සුවින්දී කිව්වේ බත් පත අනන ගමන්.

‘‘පව් කියන්නේ? මම ඊයෙත් කියලා දුන්නනේ. එපා වෙනවනේ හරියට වගකීමක් නැති විදිහට වැඩ කරද්දී. තරහ යන්නේ නැද්ද?’’

‘‘ඔව් ඉතින්.’’

‘‘මතකනේ ඊයෙත්. ඩොකියුමන්ට් එකක් වැරදි ෆයිල් එකකට දාලා තිබ්බ හැටි. ඔහොම පුළුවන්ද වැඩ කරන්න? මොන සිහියෙන් ඉන්නවද මන්දා. මට නම් ඔහොම වගකීමක් නැති මිනිස්සු පේන්න බැහැ.’’ වන්දනා දවල් ආහාරය ගන්නා තුරුම කළේ උමාලිගේ අඩුපාඩු ගැන කිය කියා බැනපු එක.

මේ අතරේ උමාලි හිටියේ වැරදුණු කාර්යය නැවත නිවැරදි කරන ගමන්. කාර්යාලයේ අනිත් සගයන් දිවා ආහාරය ගන්න ගියාට උමාලිට නැගිටලා යන්න බය හිතුණා. වන්දනා ආයෙමත් ඇවිත් වැරදුණු කාර්යය ගැන විමසලා බනීවි කියන බය නිසා ඇය කුසගින්නේම පවරපු වැඩේ ඉවර කළා.

දිවා ආහාරය සඳහා ගෙන ආ බත් පත නරක් වී ඇති බව දැනුණු උමාලි ඊළඟට තවත් අසරණ වුණා. බත් පාර්සලය අකුළලා කුණු කූඩයට දාපු උමාලි බයෙන් වගේ වන්දනාට කිට්ටු වුණා.

‘‘මිස් මම ටිකක් එළියට ගිහින් එන්නද?’’

‘‘එතකොට මේ තියෙන වැඩ කරන්නේ මමද?’’ වන්දනා ආපස්සට ඇසුවේ හේතුවවත් අහන්නේ නැතුව.

‘‘අනේ මිස් මම ගෙනාපු කෑම එක නරක් වෙලා. විසි කරන්න වුණා.’’ උමාලි කීවේ හැඬුම්බර හඬින්.

වන්දනා හිස ඔසවා උමාලි දෙස බැලුවේ කරදරකාරී බැල්මක්.

‘‘හා. හා.’’ ඇය අවසර දුන්නේ නොදී බැරිකමට වගේ.

සවස්වරුවේ වන්දනා දිව ගොස්, තමාව රැගෙන යාමට පැමිණි සැමියා වූ රසිතගේ මෝටර් රථයට ගොඩ වුණා.

රථය මද දුරක් ඇදෙද්දී වන්දනාගේ නෙත නැවතුණේ පාර අයිනෙන් ඇවිද යන උමාලි අසල.

‘‘රසිත අර ඉන්නේ අපේ ඔෆිස් එකට අලුතින් ආපු ළමයා.’’

‘‘එයත් යන්නේ හංදියටද? වාහනය නවත්තන්නද?’’ රසිත විමසුවේය.

‘‘අපෝ ඕනේ නැහැ. එයා ඔය යන විදිහකට ගියදෙන්. අද මගෙන් හොඳටම බැනුම් අහලා ඔය ඉන්නේ.’’ වන්දනා කීවේ අහක බලාගන්න ගමන්.

‘‘ඒ මොකද?’’ රසිත විමසුවේ කුතුහලයෙන්.

‘‘කියා දුන්නට වැඩක් නැහැ අනේ වරද්දනවා. මට නම් තේරෙන්නේ නැහැ එක පාරක් කියා දුන්නම තේරුම් ගන්න තරම් මොළයක් නැත්තේ ඇයි කියලා. ඩිග්‍රී එකකුත් තියෙනවලු. අත උස්සලාද කොහෙද කැම්පස් ගිහින් තියෙන්නේ. කිසි ප්‍රායෝගික දැනුමක් නැති පාටයි. ඒ මදිවට වැඩ අස්සේ එළියට යනවා දවල්ට කන්න කියලා. ගෙනාපු කෑම එක නරක් වෙලාලු. ඇයි දෙයියනේ අනිත් අය කන වෙලාවට කන්න දැනගන්න එපැයි. බොරු කියනවද කොහෙද එළියට පැනගන්න තියෙන උවමනාවට.’’ වන්දනා කීවේ නොරිස්සුමෙන්.

‘‘ඒ ළමයා ඔෆිස් එකට ඇවිත් කොච්චර කාලයක්ද දැන්?’’

‘‘සතියයි දවස් තුනක් විතර.’’

රසිත සුසුමක් හෙලමින් වන්දනා දිහාවට හැරුණා.

‘‘මට මතක් වෙනවා අපි යාළුවෙලා හිටිය දවස්.’’ රසිත කියද්දී වන්දනා රසිත දිහා බැලුවේ පුදුමයෙන්.

‘‘ඒ මොකද?’’

‘‘මතකද ඒ දවස්වල ඔයා වැඩ කළා එක්ස්පෝර්ට් කම්පැනි එකක? හවසට මීට් වුණාම ඔයා වැඩියෙන්ම කරන්නේ අඬන එක. මම වැඩියෙන්ම කරන්නේ ඔයාව සනසන එක. ඒ තරමටම එතන හිටිය බොස් ඔයාට වද දෙනවනේ අඩුපාඩු හොය හොයා, බැන බැන. ඒ තරම් දුක් කාලයක් ගත කරපු ඔයාට ඒ දුක අමතක වුණු එකනේ පුදුමේ.’’ රසිත කියද්දී වන්දනාට දැනුණේ පොළොව පලාගෙන යන තරමේ ලැජ්ජාවක්. පසුතැවිල්ලක්.

ඉන්පසුව ගෙවුණේ දිග නිහැඬියාවක් සහිත විනාඩි කීපයක්.

‘‘අනේ මට තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක මම ලොකු වරදක් උමාලිට කළේ. හෙට ඉඳන් මම එයාට හොඳින් සලකනවා.’’ අවසානයේ වන්දනාම නිහඬ බව බිඳ දමමින් කිව්වා.

සමාධි ඩයස්