ඉස්පිරිතාලෙට ආවම හතුරෙකුට වුණත් අපි ප්‍රතිකාර කරනවා…
ගාලු මුවදොර පිටියේ පිරිසක් සාමකාමීව උද්ඝෝෂණයක නියැලෙමින් සිටියේ, ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට ගෙදර යන්නයැයි කියමිනි. එම අරගලයට මසක් සපිරෙනදා, ඊට ප්‍රතිවිරුද්ධ මතවාදීන් පිරිසකගෙන් එල්ල වූ ප්‍රහාරයත් සමඟ ඇතිවූයේ කලහකාරී තත්ත්වයකි. එම සිදුවීමත් සමඟ දෙපාර්ශවයේම පිරිස් තුවාල ලද අතර, ඔවුන් ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයටයි. එහිදීද පිරිසක් කලහකාරීව හැසිරෙමින් තුවාලකරුවන් රෝහලට ඇතුළත් කර නොගන්නැයි බලපෑම් කරද්දී එම තත්ත්වය පාලනය කර ගනිමින් වෛද්‍යවරුන් ප්රමුඛ හෙද කාර්යය මණ්ඩලය කටයුතු කරනු දක්නට ලැබුණි.
එම අවස්ථාව කළමනාකරණය කරගනිමින් තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම්, සෞඛ්‍ය ක්ෂේත්රයේ මේ වනවිට පවතින අර්බුදය වටහා ගනිමින් මහජනතාව සහාය දැක්විය යුතු ආකාරය ගැන අප සමඟ කතාබහ කළේ එම රෝහලේ හදිසි අනතුරු අංශය භාර, පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවියයි.
පසුගිය මැයි 9 වෙනිදා ගාලු මුවදොර සිදුවීමෙන් පසු තුවාලකරුවන් රැසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා. ඒ සඳහා රෝහලේ පෙර සූදානමක් තිබුණද?
ඇත්තටම එදා සවස් වෙද්දී, එම සිදුවීම ගැන මාධ්‍ය ඔස්සේ අප දැනුවත්ව සිටියා. එවන් සිදුවීමකින් පසුව තුවාලකරුවන් රෝහලට රැගෙන එන බව අප දන්නවා. ඒ අනුව වෛද්‍යවරුන් ප්රමුඛ හෙද කාර්යය මණ්ඩල සහ අනෙකුත් අංශ සූදානමින් හිටියා.
1991 මාර්තු මාසේ 15 වෙනිදා තමයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය ස්ථාපනය කළේ. මේ වනවිට අප වසර තිහක් රටේ සිද්ධ වෙච්ච විවිධ ආපදාවන් නිසා විවිධ අත්දැකීම් ලබා තිබෙනවා. කොළඹ මහබැංකු බෝම්බය පුපුරපු අවස්ථාවේ තුවාලකරුවන් 1558 දෙනෙක් රෝහලට ඇතුළත් කළා. එතකොට රෝහලේ තිබුණේ ඇඳන් තුන්දහසයි. හයදාහක කාර්යය මණ්ඩලයක් හිටියා. උතුරු නැගෙනහිර යුදමය තත්ත්වය හමුවේ රෝහලට තුවාලකරුවන් දෙතුන් සියය ඇතුළත් කළ අවස්ථා තිබෙනවා. ඒ අත්දැකීම් අනුව ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න අපට හැකියාව තිබෙනවා.
ගෝල්ෆේස් සිදුවීමෙන් අනතුරුව කී දෙනෙක් රෝහල්ගත කළාද? ඔවුන්ගේ තත්ත්වය කොහොමද?
පළමු දිනයේ තුවාලකරුවන් දෙසිය තිස්පස් දෙනෙක් ඇතුළත් කළා. ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ මට්ටමේ තිබුණ නිසා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළා. දැනට රෝගීන් හැටහය දෙනෙකු මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
කලහයකදී, බෝම්බ පිපුරුමකදී හෝ වෙනයම් කාරණයකදී තුවාල ලබන රෝගියෙක් ප්‍රතිකාර සඳහා හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ගනිද්දී මොන වගේ කාරණා ගැනද සෞඛ්‍ය අංශ සැලකිලිමත් වෙන්නේ?
අපි එහිදී මූලිකව කරුණු තුනක් ගැන අවධානය යොමු කරනවා. එහිදී අපි පළමුව රෝගීන් වෙන් කරගන්නවා. අසාධ්‍ය රෝගීන් වගේම අසාධ්‍ය නොවන රෝගීන් සහ පුද්ගලයා මියගිහින්ද කියන කාරණාව යුහුසුළුව පරීක්ෂා කරනු ලබනවා. රෝහලට යම් පුද්ගලයෙක් ඇතුළත් කළ පසු ඔහු රෝගියෙක් ලෙස සලකායි රෝහල කටයුතු කරන්නේ. මොකද එවන් පුද්ගලයෙක් සිටින්නේ දැඩි තැතිගැන්මකින්. ඔහු දෙස කරුණාවෙන් දයාවෙන් බැලීම අවශ්‍යයි.
ඒත් ගෝල්ෆේස් සිදුවීමේදී අපි දැක්කා තුවාලකරුවන් රෝහලට ඇතුළත් කරගැනීමේදී පවා යම් යම් බාධා එල්ලවනවා. කොහොමද එම අවස්ථාව සමතයකට පත්කරගත්තේ?
ඇත්තටම යම් සිදුවීමක් වුණා. රෝහල් ගේට්ටුව පවා අරින්න නොදී පිරිසක් ඒ මොහොතේ ඔවුන්ගේ විරෝධය පෑවා. එම විරෝධයට මුල්වුණු කාරණා ඔවුනට අනුව සාධාරණ ඇති. නමුත් අපට රෝගියෙක් ඔහු දරණ දේශපාලන මතවාදය අනුව මනින්න පුළුවන්කමක් නෑ. අප ඉවසීමෙන් යුතුව, කරුණාවෙන් කරුණු පැහැදිලි කර දෙමින්, රෝගීන්ට ප්‍රතිකාර ලබාදුන්නා. එකඳු තුවාලකරුවෙකුටවත් ප්‍රතිකාර නොකර හිටියේ නැහැ. කෙටියෙන්ම කිව්වොත් අපිට බැහැ අපේ හතුරෙකුටවත් රෝහලේදී ප්‍රතිකාර නොකර ඉන්න. මොකද ඒ වෙනකොට ඔවුන් ශාරීරිකවට වඩා මානසිකව ඇදවැටුණු පුද්ගලයින්.
එම සිදුවීමේදී රෝහල් සේවකයින් පවා රෝගීන්ට අකාරුණිකව සලකන දර්ශන අප මාධ්‍ය ඔස්සේ දුටුවා. එය නොවිය යුතු දෙයක් නේද?
මෙම සිදුවීමට මුල්වුණු කාරණා සමඟ ගනිද්දී ඇතැමුන් ප්‍රකෝපකාරීව හැසිරෙනු දුටුවා. නමත් එම සිදුවීම් සමනය වෙමින් තිබෙනවා. මිනිසුන් මිනිසුන් හැටියට එම තත්ත්වයන් අප කාරුණිකව අවබෝධ කරගත යුතුයි. අපි රට නිවැරදි දිශාවට ගේන්න අරගල කරනවා වගේම ඒ අරගලය ඇතුළේ තියෙන ආදරය අනෙකා වෙනුවෙන් පෙළගස්වන්න පුළුවන් වෙන්න ඕන. මම හිතන්නේ අපි එම කාරණා නැවත නැවත සිහිපත් කළ නොයුතුයි වගේම එවැනි සිදුවීම්ද යළි සිදු නොවීමට වග බලා ගැනීම වැදගත්. මොකද අපි හැමෝම මිනිසුන්.
ඒ වගේම රටේ ආර්ථික අර්බුදයක් තිබෙන මොහොතක මෙවැනි සිදුවීම් වළක්වා ගන්න හැකිනම් එම ප්‍රතිකාර සඳහා වැයවන සම්පත්, ශ්‍රමය, ධනය ඉතිරි කරගන්න හැකියාව තිබෙනවා.
එය තවදුරටත් පැහැදිලි කළොත්?
මෙවැනි පහරදීම් අවස්ථා වගේම, නිවසේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුණු කාන්තාවන්, රිය අනතුරු වගේම කලකෝලහාල කරගත්, මත්පැන් මත්ද්‍රව්‍ය නිසා තුවාල කරගත් පුද්ගලයින් ඇතුළුව රෝහල්ගත කරන පිරිස් ඉන්නවා. මේ බොහොමයක් අනතුරු වළක්වා ගත හැකි මට්ටමේ ඒවායි. එසේ නොමැතිව මෙවැනි කාරණාවකදී රෝහල්ගත කරන පුද්ගලයෙක් වෙනුවෙන් දරන්නට වන පිරිවැය විශාලයි. මොකද සුළු තුවාලයක් තිබුණත්, අංශ ගණනාවක පරීක්ෂණ, ප්‍රතිකාර ඒකකවලට අදාළ අය යොමු කිරීමට සිදුවෙනවා. සෞඛ්‍ය සේවක පඩිනඩිවලට ගෙවන්න වෙන්නෙත් මේ හැමදෙනාගෙම පොකැට් එකෙන් තමයි. අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීමේ ගැටලු රට හමුවේ තියෙනවා.
ඒ වගේම අරගලය කියන්නේ දේශපාලන භාවිතය පමණක් නොවෙයි. අපේ තරුණයෝ අවශ්‍ය වෙනස්කම් කරන්න අරගල කරනවා වගේම ඉහත කිව්ව සමාජ ගැටලු සැබෑ තරුණයෙකු තරුණියක ලෙස ඔබ දැකිය යුතුමයි. වඩාත්, ලස්සන මානව දයාවෙන් පිරුණු ලෝකයක් ගොඩනගන්න නම් අපි ලෝකයට ආදරණීයව අප හමුවට එන ප්‍රශ්න ගැටලුවලට පිළිතුරු සෙවීම වටිනවා.
දීපා වසන්ති එදිරිසිංහ