වෙසක් උත්සවය සමරන්න විදියක් තිබුණේ නෑ කියන එක බොරුවක්
හැම පෝය දවසකටම හඳක් අහසට නැගුණා. එහෙම පායපු හඳ හැමදාම බැහැලා ගියේ බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ජීවිතේට එකතු කරගන්න, හිතන්න යමක් ඉතුරු කරලා. හැබැයි වෙසක් දවසට පායන හඳ අනිත් හැමදාම පායන පෝය හඳට වඩා විශේෂයි. ඒ එදාට ලොව්තුරා බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම කියන මේ උතුම් ත්‍රිවිධ මංගල්‍යයන් සිහිපත් කරන නිසා.
හැබැයි බෞද්ධ ජනතාවට මේ ත්‍රෛ මංගල්‍යය උත්කර්ෂයෙන් සැමරීමට නොහැකි වුණු හතරවන වෙසක් පොහොය මෙවර උදා වුණා කිව්වොත් හරි. 2019 පාස්කු ප්‍රහාරය නිසා වෙසක් උත්සව පැවැත්වීම අපිට මඟහැරුණා. 2020, 2021 කොවිඩ් වසංගතය නිසා අපිට නිවසටම වෙලා වෙසක් සමරන්න සිද්ධ වුණා. දැන් මේ පාරත් රටේ උද්ගත වෙලා තියන දේශපාලන ප්රචණ්ඩකාරීත්වය නිසා මේ වෙසක් පොහොයෙත් බෞද්ධයන්ට ආමිස පූජාවන් විතරක් නෙවෙයි ප්‍රතිපත්ති පූජාත් මඟහැරුණා කියල අපිට හිතෙනවා.
මේ ගැන කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණේ ආචාර්ය, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ගයාන් චානුක විදානපතිරණ මහතාගේ අදහස මෙවැන්නක්.
“මේ වෙසක් පොහොය දවසෙ ලැබුවේ සිංහල බෞද්ධයාගේ 2566 වෙනි අලුත් අවුරුද්ද. මං එහෙම කිව්වෙ බුද්ධ වර්ෂවලට අනුව බලනකොට බෞද්ධයාට අවුරුද්ද අලුත් වෙන්නේ වෙසක් පෝය නිසා. සිංහල බෞද්ධ අපි ආමිසයට ප්‍රතිපත්තියට මුල් තැන දීලා, කැවුම්, කොකිස්, කිරිබත් උයලා බුදුන්ට පූජා කරලා, රට පුරාම පන්සල්වල ඝාන්ඨාර ගහලා, රතිඤ්ඤා, නිලා, අහස්කූරු පත්තු කරලා අලුත් අවුරුදු කියලා සමරන්න ඕනේ වෙසක් පෝය දවස.
මොකද කෙලෙස් අරගලය දිනලා උප්පත්තිය නැති කරපු සර්වඥයන් වහන්සේගේ තෙමඟුල බෞද්ධයාට වචනයේ පරිසමාප්තියෙන්ම මංගල්‍යයක්. එහෙම කිව්වම ගොඩක් අය අපෙන් අහනවා පිරිනිවන කියන්නේ මරණයක් නිසා ඒක මංගල්‍යයක් විදිහට සමරන්නේ කොහොමද කියලා. එහෙම නෑ. දුකක් වෙන්නේ පෘතග්ජන මරණයක් විතරයි.
හැබැයි බුදු හාමුදුරුවෝ කොතැනකදිවත් වදාරලා නෑ වෛර්ණ වස්ත්‍ර ඇඳලා, උතුර දකුණ බලාගෙන නැකතට කන්න බොන්න, නෑගම් යන්න, වැඩ අල්ලන්න කියලා. බුදු හාමුදුරුවෝ කිව්වේ මහණෙනි, මේ ලෝකේ තියෙන හොඳම සහ සුබම නැකත, සුදුසු වෙලාවයි කියලා. චාරිත්‍ර වාරිත්‍ර පිළිපදින එකේවත්, ඒවා ගැන දැනුවත් වෙලා ඉන්න එකේවත් වරදක් නෑ. නමුත් අපි අපේ කියාගෙන අප්‍රේල් 13-14 සමරන මේ සිංහල හින්දු අලුත් අවුරුද්දක් ගැන මහාවංශයේවත්, ඉතිහාස ග්රන්ථවලවත්, අනගාරික ධර්මපාලතුමාගේ පොතපතකවත් කිසිම සඳහනක් නෑ. බෞද්ධ අපිට අපේ දේවල් පැටලිලා තිබුණට කාම්බෝජය, තායිලන්තය වැනි රටවල්වල අදටත් කරන්නේ බුද්ධ වර්ෂවලට අනුව.”
ඒ මොක වුණත් වෙනදාට රට පුරා දකින්න තිබුණ දන්සැල්, වෙසක් තොරණ්, බොදු බැති ගී වැනි විෂේශාංග මේ අවුරුදු දෙක තුනේම අපිට දකින්න, අහන්න ලැබුණේ නෑ. ඒ නිසා බෞද්ධයාගේ ආමිස පූජාව නැතිවෙලා යනවා කියලා ගොඩක් අය කණගාටු වුණා. ඒත් ඒ ගැන පැහැදිලි කරද්දි කථිකාචාර්යවරයා නම් කිව්වෙ වෙනස් විදිහේ කතාවක්.
“බෞද්ධ අපි කවදත් වෙසක් පෝය දවසට දාන, සීල, භාවනා ආදී කටයුතු කරමින් ප්‍රතිපත්ති පූජාවල නිරත වුණා. ඒ වගේම පන්සලට ගිහිල්ලා මල්, පහන්, ගිලන්පස, සුවඳ දුම් පූජා කරලා, සිල් සමාදන් වෙලා, ආමිස පූජාවෙත් නිරත වුණා. එහෙම බලනකොට පහුගිය අවුරුදු තුනේදි වගේම මේ අවුරුද්දෙත් මිනිස්සුන්ට අහිමි වුණේ වෙසක් මංගල්‍යයේ ආමිස පූජාව නෙවෙයි. මිනිස්සු වෙසක් කලාප විදිහට පවත්වගෙන ගියපු වෙසක් කානිවල්, ට්‍රැක්ටර්, බස්, බයිසිකල්වල නැගලා වෙස්මූණු දාගෙන ඔලුබක්කො නටලා, විසිල් ගහගෙන, කතුරු ඔංචිල්ලා පැදගෙන, හොල්මන් මන්දිර අස්සෙ රිංගගෙන නරඹපු වෙසක් සැණකෙළිය. මං අහන්නේ මේ දේවල් කරන්න කියලාවත්, ඒවා බෞද්ධයාගේ ආගමික චාරිත්‍ර කියලවත් කොයි දේශනාවෙද, කොයි පොතේද බුදුන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ?
ඉතින් මේ මිනිස්සු අවුරුදු ගාණක ඉඳන් බෞද්ධයාට වෙසක් සමරන්න බැරි වුණා කියලා දුක් වෙන්නේ ඔලුබක්කො නටන්න බැරිවුණු එකටද? හින්දි සින්දුවලට පපරේ ගගහා අර ගෝල්ෆේස් පිට්ටනියේ පාටි දාන්න බැරි වෙලා තියෙන එකටද? මේවා නැති වුණා කියලා බුදුන් වහන්සේ දේශනා කරපු ආමිස පූජාවට අබමල් රේණුවකවත් හානියක් සිද්ධ වෙන්නේ කොහොමද? මේ වෙසක් කානිවල් ඇතුළේ තියෙන්නේ මාකටින් බුදුදහමක් මිසක් ලොවුතුරා බුදුන් වහන්සේ දේශනා කරපු ථේරවාදී බුදුදහම නෙවෙයි
ඔය අනේ අපොයි වෙසක් නෑ කියලා හූල්ලන හැමෝටම මම කියන්නේ වෙසක් පෝය දවසට සිහිඑළඹගෙන පන්සලකට ගොඩවෙලා හොඳට බලන්න ඒ පන්සලේ ආමිස පූජාවයි, ප්‍රතිපත්ති පූජාවයි දෙකම නැද්ද කියලා.
හැබැයි ඉතින් අද වෙනකොට පොල්තෙල් ටික ගණන් වැඩි නිසා එදා වගේ හිතේ හැටියට පහන් ටික පත්තු කරගන්න බැරි වෙයි. විදුලිය නැති නිසා ගෙදරට විදුලි රැහැන් ඇදලා ආලෝක කරන්න බැරිවෙයි. තොරණ නිර්මාණය කරන්න බැරි වෙයි. හැබැයි ඔබ හොඳට හිතලා බලන්න විදුලිය නොතිබුණ කාලේ කට්ට කළුවරේ පවා අපි දළදා මාලිගාවේ තේවාව කරේ නැද්ද? අද වගේ ෆ්ලෑෂ් ලයිට් නොතිබුණාට එදා අපි අපේ ඒ ආගමික වතාවත් කරන එක ගිලිහිලා යන්න දුන්නෙ නෑ. ඒ වගේම විදුලිය නැහැයි කියලා තොරණ් නිර්මාණ නතර කරන්න ඕනෙත් නෑ. මොකද තොරණක වැදගත් වෙන්නේ ජාතක කතා වස්තුවේ චිත්‍රය පණිවිඩය මිසක් ඒකේ තියෙන බල්බ් වැල් ගාණ නෙවෙයි. ඒ නිසා තොරණ් හදලා දහවල් කාලෙදී නරඹලා ඒකෙන් දෙන ධර්ම පණිවිඩය ජීවිතයට එකතු කරගන්න. මොකද කියනවානම් පොල්තෙල් ටිකෙන්වත්, විදුලි බුබුලෙන්වත් බුදුන් දැකලා නිවන් දකින්න බෑ. හැබැයි හොඳට තේරුම්ගන්න මම මේ කියන්නෙ කළුවරේ ඉඳපල්ලා කියලවත්, කළුවර හොඳයි කියන එකවත් නෙවෙයි. රටේ මොන වසංගත, අර්බුද නිර්මාණය වුණත් අපි අපේ ආගමික චාරිත්‍ර, වත් පිළිවෙත් අත් හැරෙන්න දෙන්න හොඳ නෑ කියන එකයි.
ඔබ නිකමට හිතන්න මොනයම් හේතුවක් නිසා හෝ මුළු රටටම වෙසක් පොහොයට එළියට බැහැගන්න බැරි වුණා කියලා. පහනක් පත්තු කරගන්න, වෙසක් කූඩුවක් හදාගන්න, පන්සලකට යන්න බැරි වුණා කියලා. ගෙදරට වෙලා ඉඳගෙන ජාතක කතා පොතේ කතා පහක් හයක් කියෙව්වොත් ඒ පුද්ගලයා බුදුන් දැක්කා හා සමානයි.
මොකද බුදුන් වහන්සේ කිව්වේ,
යෝ ධම්මන් පස්සති
සෝමන් පස්සති කියලා.
මහණෙනි, යමෙක් මගේ සිවුරු කොනේ එල්ලිලා හිටියත් ඔහු මගේ ධර්මය හරි හැටි අවබෝධ කරගෙන නැත්තම් ඔහු මට හුඟක් දුරයි කිව්වා. ඒ වගේම යමෙක් මාව නොපෙනන දුරක හිටියත් නිවැරදි ධර්මාවබෝධයෙන් කටයුතු කරන්නේ නම් ඔහු මට බොහොම ළඟයි කිව්වා.
අන්න ඒ නිසා හොඳට තේරුම්ගන්න වෙසක් කානිවල් නැති වුණාට හැමදාම වෙසක් ඒ විදිහටම තිබුණා කියන එක.”
මේ කාලයේ අපට නම් තාමත් පංච සීලය, අශ්ඨමක සීලය, උපෝසත සීලය සහ දස සීලය යන මේ ඕනෑම ආකරයකින් තවමත් ධර්මය ඇසිය දැකිය හැකියි. ඒ විදිහට අහන්න දකින්න තියෙන නිසාමද මන්දා දැන් ඉන්න ගොඩක් අයට ඒ ධර්මයේ වටිනාකමකුත් නැතිවෙලා. නමුත් ඉතිහාස ග්රන්ථවලින් පෙන්වලා දෙන විදිහට බුදුන්ගේ මේ ධර්මය, ධාතූන් වහන්සේලා, බෝධීන් වහන්සේලා මේ සේරම අතුරුදහන් වෙලා සංඝයා දකින්නවත් නොලැබෙන කාලයක් උදාවෙනවා. අන්න ඒ නිසා අපි වෙසක් කානිවල් බලමින්, මාකටින් බුදුදහමට රැවටෙමින් මුළු ජීවිත කාලයේම වෙසක් සැමරුවත් වෙසක් අර්ථයක් නැති බවයි ඔහු පවසන්නේ.
“බලන්න අද වෙනකොට තරුණ පරම්පාවෙන් කීයෙන් කී දෙනාද වෙසක් පෝයට සිල් සමාදන් වෙන්නේ? කීයෙන් කී දෙනාද ධර්මයේ අර්ථය දැනගෙන චාම් සංවර ඇඳුමකින් සැරසිලා පන්සලට යන්නේ? බහුතරයක් වෙසක් දවසට පන්සලට යන්නේ ගෙදර තියන හොඳම ඇඳුම ඇඳලා, හොඳම මේකප් එක දාලා. එහෙම ගිහින් ඔන්න බුදුන්, මෙන්න මල් කියලා සිහියක්පතක් නැතුව අනිත් පැත්තට දුවන්නේ අර මං කලින් කියපු වෙසක් කානිවල්වල සතුටු වෙන්න. අනේ දරුවනේ මේ දේවල් මෙහෙම පැහැදිලි කරන්නෙ තරුණ පරම්පාරාව ගැන තියන පුදුමාකාර කැක්කුමකින්. ඒ නිසා මේ ලිපිය කියවන තරුණ දූ දරුවන් වගේම වැඩිහිටියනුත් අද වෙනකන් වෙසක් පෝය ගැනත්, ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාව ගැනත් තිබුණ වැරදි අවබෝධ නැති කරගෙන, නිවැරදිව හැසිරෙයි කියලා මං හිතනවා.”
කථිකාචාර්වරයාගේ ඒ පැහැදිලි කිරීම ඒකාන්තයෙන්ම නිවැරදියැයි කිව හැකි පාතේගම ඤාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් රචිත කවි දෙකක් මෙම කාරණාවලට අදාළ නිසා ලිපියේ සඳහන් කරන්න හිතුවා.
නැටුමක් නැහැහේ බෝධිය ළඟ නටන්නට
එනිසා සුදෝ සුදු ඇඳුමෙන් සැරසෙන්න
කෙස් ටික සංවරව පීරාගෙන එන්න
එහි තරඟයක් නෑ ඔබෙ රුව තෝරන්න
බුදුවරු මාර දූවරු දෙස බැලුවෙ නැත
එනිසා නිරුවතින් නාවට කමක් නැත
බෝ මැඩ වටා සීතල මඳ පවන් ඇත
ඇඳුම්වල ජනෙල් නැතුවට කමක් නැත
දාන පාරමිතා කියන්නෙත් බුදුදහමෙන් ඉගැන්වෙන උතුම්ම පාරමිතාවන්ගෙන් එකක්. දන්සැල, වෙසක් මංගල්‍යයේ තවත් එක් සුවිශේෂීම අංගයක් වෙලා තියෙන්නේ අන්න ඒ නිසා. එහෙත් අද වනවිට දන්සැල, දන්දීම යන මුඛ්‍ය පරමාර්ථයෙන් බැහැරව සමාජයට හිරිහැරයක්ව පවතින බවකුයි ඔහු කියා සිටියේ.
“දන්සැලෙන් තමයි බුදුදහමේ ඉගැන්වෙන දාන පාරමිතාව ලෝකෙටම පෙන්නලා දුන්නේ. නමුත් ගැටලුව වෙලා තියෙන්නෙ අද කාලේ පවත්වන දන්සැලත් මං අර කලින් කිව්ව විදිහට ව්‍යාපාරයක් කරගෙන. ටිකක් හිතලා බලන්න අද කාලේ වෙසක් දන්සැලකට ආධාර එකතු කරන්න එනවා කිව්වම මිනිස්සු දොරක් ජනේලයක් අරිනවද? ඒ වගේම බලන්න අද කාලේ දන්සැල් ළඟින් යන වාහන නතර කරන්නේ බෞද්ධ කොඩිය පොල්ලක ගැටගහලා වනලා. ඉතින් අපේ වෙසක් කොතැනද තියෙන්නේ කියලා තේරුම්ගන්න, බෞද්ධයාගේ ආමිස පූජාව කොතැනද තියෙන්නේ කියලා තේරුම්ගන්න ඒකම මදිද?
අන්න ඒ නිසා වෙසක් කියලා වෙසක් කානිවල් දිහා බලන් ඉන්න එක දැන්වත් නතර කරන්න. මුලින්ම බෞද්ධයෙක් විදිහට ආමිස පූජාවෙයි, ප්‍රතිපත්ති පූජාවෙයි හරය තේරුම් අරන් ඒ විදිහට කටයුතු කරන්න. අපි මුළු ජීවිත කාලේම මැරෙනකම්ම වෙසක් කූඩු එල්ලුවත්, තොරණ් බල බල ගියත්, මල් පහන් පූජා කරත් වැඩක් වෙන්නේ නෑ, ධර්මය ජීවිතයට එකතු කරගත්තෙ නැත්තම්. ඒ වගේම කවදාවත් වෙසක් නැති වුණේ නෑ. වෙසක් තිබුණා. ඒ තිබුණට ව්‍යාපාරිකයන්ගේ මාකටින් බුදුදහම අස්සේ බුදුරජාණන් වහන්සේගේ ථේරවාදී බුදුදහම අඳුරගන්න අපිට බැරිවෙලා තිබුණා. අන්න ඒ නිසා මේ වෙසක් පෝයේ ඉඳලවත් වෙසක් පෝයේ නියම අර්ථය දැනගෙන කටයුතු කරන්න කියලයි මම ඔබට කියන්නේ.”
ලිහිණි මධුෂිකා