විශේෂාංග

ලැබුණු දේවල් ආපහු දෙන්නයි මට ඕන…

ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් අපිට විශේෂ වෙන්නේ ඇය ජනප්‍රිය බොලිවුඩ් නිලියක් වුණු නිසාම නෙවෙයි. ජැක්ලින්ට ලංකාව එක්ක තියන ලේ නෑකම නිසා අපේ එකියක් කියලා අපි නිතරම හරි ආඩම්බරෙන් කිව්වා. කොහොම නමුත් පහුගිය කාලේ ඉන්දීය රුපියල් කෝටි 200 මුදල් විශුද්ධිකරණ සිද්ධියකට අදාළව ජැක්ලින්ගේ ගිණුමක තැන්පත් කරලා තිබුණු ඉන්දීය රුපියල් කෝටි 7 ස්ථාවර තැන්පතුවක් අතිහිටුවන්න කටයුතු කරලා තිබුණා. සිද්ධියට අදාළ සුකේෂ් චන්ද්‍රසේකර් නමැති පුද්ගලයා සමඟ ඇගේ තිබුණු පෙම් පලහිලව්වක් නිසා එහෙම වුණා කියල තමයි මාධ්‍ය මගින් වාර්තා කරලා තිබුණේ. ඉතින් මේ සිද්ධිය ගැන කතාබහ කරන්න අපි ජැක්ලින්ට කතා කළත් ඇය ගැන අදහස් දක්වන්න වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ. නමුත් ඇය මේ දිනවල ටිකක් වැඩිපුර සමාජ සේවයට නැඹුරු වෙච්ච නිසා අපි ගැන ටිකක් කතා කළා. කතාබහේ සටහන තමයි මේ.

 

*ජැක්ලින් මේ දවස්වල ටිකක් වැඩිපුර සමාජ සත්කාරක වැඩසටහන්වලට බැහැලා කියලා අපිට දැනගන්න ලැබුණා. ඇත්තද ඒ?

මට මේ ජීවිතයේ ලැබුණු දේවල් ගැන මට තියෙන්නේ ලොකු කෘතවේදී හැඟීමක්. ඒ නිසා ඒ ලැබුණු දේවල් පෙරලා මේ සමාජයට දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. පුංචිම හරි දායකත්වයක් දීලා කාට හරි උදව්වක් කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ සතුට. ඒ වෙනුවෙන් පදනමක් ආරම්භ කරන්න මට සෑහෙන කාලෙක ඉඳල ලොකු ඕනකමක් තිබුණා. ඉන්දියාව මාරාන්තික covid 19 දෙවන රැල්ලෙන් දරුණු විදියට බැට කද්දී ඒක තමයි මිනිස්සුන්ට වැඩිපුරම උදව් අවශ්‍ය වෙලාව කියල මට දැනුණා. ඒ නිසයි මම YOLO පදනම (YOLO Foundation) ආරම්භ කළේ. නමුත් ඒ පදනම ආරම්භ කිරීමේ ලොකුම අරමුණ වුණේ කරුණාව, දයාව පැතිරවීම. අපිට මේ ලැබුණු කෙටි ජීවිත කාලය ඇතුළේ මැරෙන්න කලින් ලෝකෙට වැඩදායී වෙනසක් කරන්න මම කැමතියි.

 

*YOLO Foundation එක පටන්ගත්තේ ඒ වෙනස ඇති කරන්නද?

ලෝකය තුළ හැකිතාක් දුරට කරුණාව පැතිරවීම තමයි ඇත්තටම එහි ලොකුම අරමුණ වුණේ.

 

* කවුද මේ පදනමෙන් ප්‍රතිලාභ ලබන පිරිස?

උදව් අවැසි පිරිසට විවිධාකාරයෙන් උදව් කරන රාජ්‍ය නොවන සංවිධාන 10 කට වැඩි ප්‍රමාණයක් සමඟ මේ වනවිට අපි අත්වැල් බැඳගෙන තියෙනවා. සත්ව සුබසාධනය, අඩු වරප්‍රසාදිත දිළිඳු පවුල්වලට උපකාර කිරීම, අතිරික්ත ආහාර ආදිය කුසගින්නේ පෙළෙන ජනතාවට ලබාදීමට කටයුතු කිරීම, සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට සහාය වීම, එන්නත් කිරීමේ කටයුතු, වෙරළ පිරිසිදු කිරීම, නත්තල් උත්සව සංවිධානය කිරීමේ සහ දිළිඳු  දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීම ආදී බොහොමයක් කටයුතුවලට දායක වෙමින් මුළු මහත් සමාජය පුරාම හිනාව අතුරුදන් වුණු මිනිස්සුන්ගේ මුහුණුවල සිනහව පතුරුවන්න කලහැකි සෑම දේම මේ වනවිට YOLO පදනමින් සිදුකරනවා.

 

*ලැබෙන ප්‍රතිචාර කොහොමද?

අපට ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. තවදුරටත් මේ සමාජ සත්කාරක වැඩ කරගෙන යන්න අපිට තියෙන ලොකුම හයිය තමයි ඒ ලැබෙන සුබවාදී ප්‍රතිචාර. මෑතකදී YOLO පදනමේ පළමු සංවත්සරය සමරන්නත් අපිට පුළුවන් වුණා. එතැනදී රාජ්‍ය නොවන සංවිධාන විශාල ප්‍රමාණයකට අවස්ථාව ලැබුණා ඉදිරියේදී අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩකටයුතු කරන්න.

 

*YOLO Foundation එකට සම්බන්ධ සහ උදව් කරන අනිත් අය කවුද?

මේ වනවිට ඉන්දියාව පුරා සිටින තානාපතිවරුන් 150කට අධික පිරිසකගේ සහාය ඇතිව විශාල වැඩ කොටසක් කිරීමට YOLO පදනමට හැකියාව ලැබිල තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ රාජ්‍ය නොවන සංවිධානවල උපකාරය සහ කරුණාව නොතියෙන්න මටවත් YOLO පදනමටවත් මේ  කිසි දෙයක් කරගන්න බැරි වෙන්න තිබුණා.

 

*ජැකීට ලංකාවෙත් ලොකු රසික පිරිසක් ඉන්නවා. අනික ශ්‍රී ලංකාව එක්ක ඔබේ ඥාති සම්බන්ධයකූත් තියෙනවා. ලංකාවේ මිනිස්සු ආර්ථික වශයෙන් පීඩාවට පත්වෙච්ච මේ වගේ කාලෙක ලංකාවට උදව් කරන්න එහෙම අදහසක් නැද්ද?

ඇත්තටම මේ වෙනකොටත් අපි ඒ වෙනුවෙන් සැලසුමක් සකස් කරලා තියෙනවා. ලංකාවට උදව් කරන්න කැමති, ලෝකය පුරා ඉන්න සියලුම දෙනාට ඒ කටයුත්ත පහසු කරන්න #maddadsetu කියන හෑෂ් ටැග් එක හරහා අපි වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. ඒ නිසා එහෙම උදව් කරන්න කැමති කෙනෙකුට අපි මේ පදනම හරහා වේදිකාවක් සකස් කරල දෙනවා. ඒ වගේම YOLO පදනම විදියට ලංකාවේ ජනතාව වෙනුවෙන් කළ හැකි සියලුම දේවල් අපි කරනවා.

 

(සම්බන්ධීකරණය වෙනුවෙන් විශේෂ ස්තුතිය දිලංජන් සෙනෙවිරත්නට)