කතා නොකරන ජෝඩු පහක් හිතේ හැටියට මඟුල් කෑ හැටි
ඒ පසුගිය අප්‍රේල් 29 වෙනිදාය. එදින බණ්ඩාරවෙල නාමල් හෝටල් පරිශ්‍රය පේවෙමින් තිබුණේ විවාහ මංගල්යයකටයි. එහෙත් වෙනත් මඟුල් ගෙවල්වල නැති මොකක්දෝ අමුතු නිහඬ බවක් එහි තිබූ බව ඒ මඟුල් ගෙදරට ගිය සියල්ලන්ටම දැකගන්නට ලැබුණි. එක් පසෙක අසාමාන්‍ය දිගකින් යුතු මංගල පෝරුවකි. අනෙක් පස එකක් වෙනුවට මඟුල් කේක් කීපයකි. ඒ අසළම ගජරාමෙට හැඳ පැළඳගත් හැඩකාර මනාල යුවළ පහකි. මංගල්‍යයේ විවාහ චාරිත්‍ර සිදුවූයේද අමුතුම පන්නකටය. ඒ හස්ත සංඥවලිනි. මඟුල් ගෙදර ආරාධිතයන්ට අමුතුම අත්දැකීමක් වූ එහි මුදු පැළඳවීමේ පටන් මනාලියන්ට සුදුවත ඇන්ඳීම, දෑඟිලි බැඳීම, අතපැන් වැඩීම යනාදී සියලුම පෝරුවේ චාරිත්‍ර සිදුවූයේද එසේය. ඊට හේතුව මේ මනාල ජෝඩු පහම කථන හා ශ්‍රවණාබාධිත සහිත තරුණ තරුණියන් වීමයි.
කථන හා ශ්‍රවණාබාධ සහිත මංගල යුවළ පහක් එකම පෝරුවකට නග්ගවා හස්ත බසින් සියලු මංගල චාරිත්‍ර ඉටුකර කසාද බැන්දවීම පිටුපස වැඩිම බරක් ඉහිලුවේ බණ්ඩාරවෙල සිංහ සමාජයේ ලේකම් විමලසිරි ආරියවංශ මහතාය.
‘‘අපි මුලින්ම කළේ ඒ තරුණ තරුණියන්ගේ දෙමව්පියන් එක්ක කතාබහ කරපු එක. මොකද එයාලගේ අකමැත්තෙන් අපිට මෙහෙම දෙයක් කරන්න බෑනේ. හැබැයි අපේ අරමුණ මොකක්ද කියලා තේරුම්ගත්ත එයාලා අපේ වැඩේට එකපයින්ම කැමති වුණා.’’
මෙලෙස විවාහ කරවූයේ බණ්ඩාරවෙල ආබාධිත පුහුණු ආයතනයේ පුහුණු සහතික ලබා දැනට පෞද්ගලික අංශයේ සමාගම් කීපයකම රැකියාවේ නියුතු තරුණ තරුණියන් දසදෙනෙකි.
‘‘ඔයා හරියන්නේ මෙයාට වගේ කියලා අපිට කැමති කෙනෙක් ඒ ඒ අයට තෝරලා දෙන්න බෑනේ. ඒක නිසා අපි හිතුවා ඒ ඒ ළමයි කැමති අයම විවාහ කරවන්න. ඉතින් අපි කළේ ළමයින්ව වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට කැඳවලා තම තමන්ට කැමති සහකරු සහකාරිය තෝරගන්න අවස්ථාවක් ලබාදුන්නු එක.’’
තම තමන්ගේ මනාපය පරිදි සහකරු සහකාරිය තෝරගත් පසු ඊළඟ ලොකුම රාජකාරිය වූයේ විවාහ මංගල්‍යයක් පවත්වන එකය. රට යන අතත් පවතින ආර්ථිකයත් හමුවේ එය පොඩි පහේ සෙල්ලමක් නොවේ. නමුත් කවදත් අභියෝගවලට බය නොවූ විමලසිරි මහතා ප්රමුඛ බණ්ඩාරවෙල සිංහ සමාජය ඊට අතගැසුවේම සිංහ සෙයියාවෙනි.
‘‘විවාහ මංගල්‍යයක තියෙන්න ඕන හැමදේම අඩුපාඩුවක් නැතුව කරන්නයි අපට ඕන වුණේ. ඒක නිසා හොඳ නැකතක් බලලා විවාහ මංගල්‍යයට දවසක් දා ගත්තා. එහි සුන්දරම වැඩ ටික කළේ මගේ දුව. ඇය අතින් තමයි මනාලියෝ පවා හැඩවුණේ.’’
විමලසිරි මහතා එසේ කියද්දී අප හැරුණේ ඇගේ දියණිය වූ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නිලූකා කොඩිකාර දෙසටය. ඒ මොහොතේ ඇය දැඩි වෙහෙසකර කටයුත්තකින් පසු පුංචි විවේකයක් ලබා විවාහ මංගල්‍යයේ සිරි අසිරි විඳගනිමිනුයි සිටියේ.
‘‘එයාලා කවදාවත් රූපලාවණ්‍ය කරපු ගෑනු ළමයි නෙවෙයි. අඩුම තරමේ ක්‍රීම් ටිකක් ෂැම්පු ටිකක් ගාන්නවත් එයාලට තේරුමක් නෑ. ඉතින් ඇහිබැමි හදන එකේ ඉඳන් හැමදේම අපිට කරන්න වුණා. සාරි අන්දන්න කලින් නාවන්න පවා සිද්ධවුණා.’’
වරක් සිනාසෙමින් එහෙම කිව්වේ නිලූකාය. ඇයට මනාලියන් ඇන්ඳවීම අමුතු රාජකාරියක් නොවුණද විශේෂ අවශ්‍යතා සහිත මෙම තරුණියන් මනාලියන්ට ඇන්ඳවීම නම් නිලූකාට හිතූ තරම් පහසු වූයේ නැත.
‘‘එයාලට අන්ඳන්න තමයි ගොඩාක් අමාරු වුණේ. මොකද එයාලා කියන දේ අපට තේරුම් ගන්න බෑ. අපිට ඒ අයත් එක්ක කතා කරන්න තේරෙන්නේ නෑ. ගොඩාක්ම ඔය හේතුව නිසා ළමයින්ට අන්දන්න සෑහෙන වෙලාවක් ගියා. මට මතක විදිහට පාන්දර 2.00 විතර ඉඳන් උදේ 8.00 වගේ වෙනකල් ඇන්ඳුවා. ඇස් දෙකට මේකප් දාලා වහන්න එහෙම කිව්වට එයාලට තේරුමක් නෑ. ඉතින් එයාලා ඇස් අරිනවා. එතකොට ඇහේ හැමතැනම මේකප් ගෑවෙනවා.’’
ඒ මොහොතේ ඇය අතින් හැඩවූ මනාලියන් දෙස ඈ සිනාමුසු මුහුණුන් බලා සිටියද නිලූකා පවසන්නේ ඇයට ඒ වෙනුවෙන් කීපදෙනෙක්ම උදව් කළ බවකි.
‘‘මේ වැඩේ ගැන කිව්වම රුචිරා ලියනගමගේ සාරි කීපයක් දුන්නා. නිෂී හඳුන්නෙත්තිගෙන් සාරියක් ලැබුණා. නදී ඉහළනායක ජුවලරි සෙට් එකක් දුන්නා. ක්රිෂාංගනී සහ නීෂා මට අන්ඳන්න උදව් කළා. ඔය වගේ අපට උදව් කරපු පිරිසකුත් හිටියා.’’
රූපලාවණ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයෙකුට වුවද තනිවම මනාලියක් ඇන්ඳවීම හිතන තරම් පහසු නැත. ඊට අනිවාර්යයෙන්ම මනාලියට අඳින තරුණියගේ සහාය අවශ්‍යය. එහෙත් නිලූකලා හස්ත සංඥවන් ගැන දන්නේ නැත. මනාලියන්ට නිලූකලා කියන දෙයක් තේරුම් යන්නේ නැත. එනිසා දොගොල්ලන්ටම මෙය අලුත්ම අත්දැකීමක් වූවාය.
‘‘අමාරුවෙන් හරි අපිට එයාලගේ හස්ත භාෂාවට යම්තාක් දුරකට පුරුදු වෙන්න සිද්ධ වුණා. මොකද ඒ ළමයින්ට පොඩ්ඩක් ඇත්නම් හරියට කේන්ති යනවා. ඉතින් අපිට එතැනදි ගොඩාක් ඉවසන්න පවා සිද්ධ වුණා.’’
විවාහයේ සියල්ල සිදුවූයේ නොමිලේය. නිලූකා පවසන ආකාරයට මනාලියකට පිටින් ඇන්ඳුවා නම් ඒ එක් අයෙකුට යන මුදල පමණක් ලක්ෂ තුන හතරකි. එහෙත් සල්ලි යන්න ජීවිතයම නොවන බැව් දන්නා මිනිසුන් නිසා විශේෂ අවශ්‍යතා සහිත අහිංසක තරුණ තරුණියන්ට මංගල සීනූ හැඬවුණේ එහෙමය.
‘‘විවාහ වුණු ළමයින්ගේ ගෙවල්වලට මේ වෙනුවෙන් කිසිම වියදමක් ගියේ නෑ. මුදු පැළඳවීම, සුදුවත ඇන්දීම, දෑඟිලි බැඳීම, අතපැන් වැඩීම ඇතුළු පෝරුවේ චාරිත්‍ර අඩුවක් නැතුව කළා. මං හිතන්නේ එදා හාරසීයක විතර පිරිසක් හිටියා. ඒ හැමෝටම කෑමබීම පවා දුන්නා.’’
මේ ගෙවෙමින් තිබෙන්නේ කාටත් අමාරු කාලයකි. මෙවන් කාලයක මෙවන් කටයුත්තකට අතගැසීමම අගය කළ යුත්තකි. එහෙත් කෙනෙක්ට මෙහි කුමන හෝ යටි අරමුණක් තිබේද යන්න පැනයක් මතුවිය හැකිය. මේ ඊට නිලූකාගෙන් ලැබුණු පිළිතුරයි.
‘‘ඇත්තටම අපි මේක කළේ සමාජ සත්කාරයක් විදිහට. මොකද විශේෂ අවශ්‍යතා සහිත ළමයි සමාජයෙන් කොන්කරලයි තියෙන්නේ. ඒකයි ඇත්ත. සමහර ගෙවල්වල එහෙම දරුවෝ දංවැල් දාලා බැඳලා හිටපු අවස්ථාවන් පවා මං අහලා තියෙනවා. මොකද ගෙවල්වල මිනිස්සුට ලැජ්ජයි ඒ ළමයි සමාජය විසින් දකීවි කියලා. ඉතින් ඒ ළමයි අසරණයි. කොච්චර අසරණද කිව්වොත් එයාලට ඒ වේදනාව කෑ ගහලා පිටකර ගන්නවත් විදිහක් නෑ. ඒ නිසා අපි එහෙම දරුවන්ට විශේෂ සැළකිල්ලක් දක්වන්න ඕනේ. අපි කරපු මේ විවාහ මංගල්‍යය දැකලා හරි තව කෙනෙක් ඒකෙන් ආදර්ශයක් ගත්තොත් සතුටුයි.’’
සුන්දර මිනිසුන් පිරිසකගේ මැදිහත්වීමෙන් මේ විවාහ වූයේ ජීවිතයේ කිසිම මොහොතක ප්‍රේමණීය හැඟීම් අතර තනිවෙන්නට සමාජය වරම් අහිමිකළ අහිංසක තරුණ තරුණියන්ය. ඔවුන්ට කියාගන්නට බැරි ඒ සතුට නිලූකා වචන කළේ මෙහෙමය.
‘‘එයාලගේ සතුට දැකලා අපිට සතුටට ඇඬුණා. විවාහ මංගල්‍යය අවසාන වෙනකොට එයාලා අපිට වැඳලා එයාලට තේරෙන විදිහට පිං දුන්නා. සමහරු කතා කරන්න බැරි නිසා ලියලත් පෙන්නුවා. අන්තිමේ අපිව බදාගෙන ඇඬුවා. මං හිතන්නේ එයාලා ජීවිතේ වින්ඳ ලොකුම සතුට ඒ මොහොත වෙන්න ඇති.’’
විවාහ මංගල්‍යය පුරාවටම ඔවුන්ට තේරෙන අපට නොතේරෙන සන්නිවේදන කටයුතු සිදුකළේ ආබාධිත පුද්ගල උපදේශිකා රෝහිනීය. පෝරුවේ චාරිත්‍ර ගුරු උපදේශක තිලකරත්න සහ පාඨශාලාචාර්ය උපුල් සීලවංශ අතින් සිදුවිය.
‘‘අපි මේ වැඩේ මෙතැනින් නතර කරන්නේ නෑ. ලබන සැරේ අපි මෙවැනිම තරුණ තරුණියෝ පනහක් විවාහ කරන්න හිතාගෙන ඉන්නවා.’’
මිනිසුන් කවුද, මිනිසුන් අතර සිටින දෙවියන් කවුද යන්න තේරුම් ගැනීමට ඔවුන්ගේ ඒ සිතුවිල්ලත් ඇතිය. ඉතින් කොතැනකදී හෝ අපේ සමාජයට මඟහැරී ගිය විශේෂ අවශ්‍යතා සහිත තරුණ තරුණියන්ට ඒ සිතුවිල්ල උඩ නුදුරේදීම යළිත් මංගල සීනු හැඬවෙනු ඇත.
රුවන් එස්.සෙනවිරත්න